1977 වසරේ අදවැනි දවසක දකුණු අප්‍රිකානු සුදු ජාතික මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි. දේශපාලන රැකවරණ මත බිරිඳ සහ දරුවන් පස්දෙනා සමග ගැට්වික් ගුවන්තොටුපොළින් ලන්ඩනයට පිවිසෙන මේ නිර්භීත මාධ්‍යවේදියා තම සටන අත්නොහැර ඉදිරියටම ගෙන යයි. ඔහු ලොවම හඳුනා ගන්නේ කළු ජාතික දකුණු අප්‍රිකානු ශිෂ්‍ය සංගම් නායක ස්ටීව් බිකෝ වෙනුවෙන් සටන්වැදි සුදු ජාතික පත්තර කරුවා ලෙසය.


ඉන් පසු එළඹෙන්නේ මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ගේ දුර්ගාන්ත යුගයයි. පස් වසරකක තහනමකට ලක් වන ඔහු තනතුරෙන් ද නෙරපා දමන ලද අතර රැකියාවක යෙදීම ද තහනම් විය. ලිවීමට , පොදු ස්ථාන වල කථා පැවැත්වීමට සහ නිවසෙන් පිටවීමට තහනම් වූ ඩොනල්ඩ් ගේ දුරකථනයද පටිගත කිරීම් වලට භාජනය කර තිබිණ. ජීවිත ආරක්ෂාව කෙතරම් පහත වැටුණේද පවසන්නේ නම් තැපෑලෙන් තෑගි ලද කමිසයක් ඇඳ බලන්නට ගිය ඩොනල්ඩ් වුඩ්ස් ගේ දියණිය දරුණු ලෙස පිළිස්සීමට ලක් විය. එම කමිසයට ඇසිඩ් යොදා තිබූ බව හෙළි වූයේ පසුවය.
පලා යාමට කාලය එළඹිණ. "ඩේවිඩ් D කරන්" යන ආරූඪ නාමයෙන් ඇන්ග්ලිකන් පියතුමෙක් ලෙස දකුණු අප්‍රිකා - ලෙසොතෝ දේශ සීමාවට ළඟා වන ඩොනල්ඩ් වුඩ්ස් ලෙසෝතෝ හිදී තම පවුලේ සාමාජිකයින්ද හමුවේ. එහි අගනුවර මසෙරු හි පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ලන්ඩනයට ගොඩ බසින වුඩ්ස් පවුල ජීවිත ආශාව පිළිබඳ සංතෘප්ත වන්නාහ. " මාධ්‍යවේදියෙක් විදියට තව දුරටත් එහේ කිරීමට දෙයක් නැහැ " ඩොනල්ඩ් වුඩ්ස් මාධ්‍ය හමුවකදී පැවසීය. දකුණු අප්‍රිකාවෙන් පලා ඒමේදී ඔහු අමතක නොකළ දෙයක් විය. ඒ ස්ටීව් බිකෝ සම්බන්ධව ඔහු සතුව පැවති සාක්ෂි සහ මතකයන් ය. ඉන් අනතුරුව බිකෝ ගේ ඝාතනය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ලියා පල කරන ඩොනල්ඩ් වුඩ්ස් 1978 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටුව අමතන්නට තෝරාගන්නේ දකුණු අප්‍රිකාව තුළ පවතින දේශපාලනික සහ සමාජයීය තත්ත්වය නිර්භයව හෙළි කළ නිසාය. 1987 දී Cry Freedom යනුවෙන් සිනමා නිර්මාණයක් බිහිවන්නේ ස්ටීව් බිකෝ සහ ඩොනල්ඩ් වුඩ්ස් ගේ මානුෂික මෙහෙවර පිළිබඳව ලොවටම හෙළි කරමිනි. එම නිර්මාණයට පාදක වන්නේ ඩොනල්ඩ් වුඩ්ස් ගේ කෘති සහ පුවත්පත් ලිපිය. සුනිල් මාධව ප්‍රේමතිලක විසින් 1992 වසරීදී " හඬනු මැන නිදහස" යනුවෙන් කෘතියක් ලෙස සිංහලයට නගන්නේද එම සිනමා නිර්මාණයම ය.
තම ජනතාව වෙනුවෙන් බොහෝ දෑ අහිමිකරගෙන ජීවිතයෙන් වන්දි ගෙවූ ස්ටීව් බිකෝ වීරයෙක් ලෙසත් ඩොනල්ඩ් වුඩ්ස් නිර්භීත මාධ්‍යවේදියෙකු ලෙසත් ඉතිහාසයට එක් විය. ඒ හැරෙන්නට ඩොනල්ඩ් වුඩ්ස් අභිනන්දන ප්‍රණාම උළෙලවල් හෝ "ආදරණීය ඩොනල්ඩ් අයියා" යනාදී උපහාර විසූක දස්සන පැවැත්වූ බවට ඉතිහාසයේ කොතැනක හෝ සඳහන් වී නොමැත. 1993 වසරේදී පිළිකාවක් හේතුවෙන් මෙලොවින් සමුගන්නා ඩොනල්ඩ් වුඩ්ස් ට සමාදානයේ සැතපීමට ඉඩ හරින්නේ භාවතීශ කෙළතොල්ලන් නොවන ඔහුගේ බුද්ධිමත් රසික ප්‍රජාවමය.
නමුත් ලංකාවේ එසේ වන්නේ නැත. විප්ලවවාදීන්ගේ කතා සිංහලයට නැගූ සැණින් , නිර්භීත පුවත් සිරස්තලයක් යෙදූ පමණින් මාධ්‍යවේදියා වීරයෙක් කරන්නටත් ඔහුව දේවත්වයට ගෙන යන්නටත් සැදී පැහැදුණු අඳබාල රසික ප්‍රජාවක් සිටී. වියපත් මාධ්‍යවේදියෙක් ට ජීවිතයේ සැඳෑසමය නිදහසේ ගත කරන්නට ඉඩ නොදෙන , ඔවුන්ගේ නැතිබැරිකම් ඕනෑවටත් වඩා උලුප්පමින් තරු වන්නට දත කන සමාජ සේවකයින් එකල සිටි දකුණු අප්‍රිකානු පාලකයින්ටත් වඩා අනතුරුදායක ය. ස්ටීව් බිකෝ ගේ මරණය තරමක් සුවදායක එකක්යැයි සිතෙන්නේ ඔහුට උපහාර පුදන්නට ගොස් ඔහුගේ රෙදි ලිහා දැමූ කිසිවෙක් ගැන හෝ , තම වාසියට ඔහුට වීරයා යැයි අමතා වාසි අවසන් වූ තැන ඔහුට දෙපත් නයා යනුවෙන් බැණ වැදුණු කිසිවෙක් ගැන අසන්නට නැති හෙයිනි.
ස්ටීව් බිකෝ මරා දැම්මේ දකුණු අප්‍රිකානු පොලිසියය. ඩොනල්ඩ් වුඩ්ස් මරා දැම්මේ පිළිකා වෛරසය ය. "හඬනු මැන නිදහස " යනුවෙන් ඔවුන් දෙදෙනා ගැන ලියූ සුනිල් මාධව ප්‍රේමතිලක මෑතකදී උපහාරයකට ලක් විය.
0 comments:
Post a Comment