සුසන්තිකා ජයසිංහ වෙත ආදරයෙන් ලියමි


සුසන්තිකා ජයසිංහ වෙත ආදරයෙන් ලියමි,

2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ගෙන එන්නේ ඔබ ය. ඒ 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඩන්කන් වයිට් දිනූ රිදී පදක්කමට පසුව අප රටට හිමි වූ පළමු සහ එකම ඔලිම්පික් පදක්කම ලෙසිනි. ඔබගේ හැකියාව සහ කුසලතාව පැසසිය යුතුම වන අතර මීටර 200 වැනි අතිශය තරගකාරී ඉසව්වක නොකඩවා රැඳී සිටීමම ප්‍රශංසා සහගත කරුණකි. මේ ලියන්නේ ඔබ ගේ පදක්කම වෙන්දේසි කිරීමට සිදු වන බවත් , ඔබට රජයෙන් ලැබෙන දීමනාව අහිමි කර ඇති බවටත් පුවත්පතකට ලබා දුන් සාකච්ඡාව සම්බන්ධයෙනි. ඔබ අදටත් කතා කරන්නේ ඔබ රටට ගෙනා ගෞරවයට සරිලන ඇගයීමක් හෝ පිළිගැනීමක් නොලැබෙන බවකි. ලංකාවේ මළල ක්‍රීඩාවට ඔබගෙන් නිසි උපදේශනයක් හෝ සේවාවක් ලබා නොගන්නා බව පවසන ඔබ අද වන විට ඔබව නොසලකා හැර ඇති බවත් එනිසා පදක්කම විකුණා හෝ ජීවත් වන්නට සිදු වී ඇති බවත් පවසයි. ඔබ දිනූ ඔලිම්පික් පදක්කම එක්තරා පදක්කමක් නොව මේ කුඩා කොදෙව්වටම හිමි වූ අභිමානනීය පදක්කමකි.

ආදරණීය සුසන්තිකා , මේ මතක් කරන්නේ සිදුවීම් කිහිපයක් පමණය.
1994 හිරෝෂිමා ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්වේ රිදී පදක්කම ඔබට හිමි වන විට දමයන්ති දර්ශාට හිමි වූයේ ලෝකඩ පදක්කමය. 1994 වසරේදි මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබට සහ දර්ශා ට නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයේ "C" කාණ්ඩයේ ගෙවල් දෙකක් හිමිවන අතර දමයන්ති දර්ශා හිඟ මුදල ගෙවා "C" කාණ්ඩයේ නිවෙස වෙනුවට "B" කාණ්ඩයේ නිවසක් ලබා ගන්නීය. ආදරණීය සුසන්තිකා, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ඉන්නට හිටින්නට වහලක් නොමැති, තවමත් දියුණු වෙමින් පවතින රටක ඔබට නාරාහේන්පිට නිවාසයක් ලැබෙන්නේ ආසියානු මට්ටමේ රිදී පදක්කමකට ය. ඔබ කිසි දිනෙක ඒ නිවෙස ගැන ස්තුති පූර්වකව කතා කර තිබේ ද ?

හිතාදර සුසන්තිකා , 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමක් දිනූ නුමුදු ඔබ 2004 ඇතන්ස් ඔලිම්පික් මීටර 200 ඉසව්වේ පරිසාධන මට්ටම ට සුදුසුකම් ලබන්නේ නැත. මතකය නිවැරදි නම් ඔබගේ ක්‍රීඩා දිවිය ඒ කාලයේ අඩාලව තිබුණේ දරු ප්‍රසූතිය හේතුවෙනි. නමුත් ඇතන්ස් වෙත යන ඔබ තරග වැදීම ප්‍රතික්ෂේප කළ අතර එවකට මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඔබව මුණ ගැසී තරග වදින්නට ඇරියුම් කළේය. නමුත් ඔබ තරග වැදුණේ නැත. ඒ පිළිබඳව විනය පරීක්ෂණයක් නොතබන ක්‍රීඩා බලධාරීන් පවසන්නේ සුසන්තිකා ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ "ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩිකාව ලෙස" සමාරම්භක උළෙලේ ධජය දැරීමට බවය. එම තර්කයට අනුව නම් 1952 හෙල්සින්කි උළෙලේ සිට 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල දක්වා ලංකා ධජය රැගෙන යා යුත්තේ ඩන්කන් වයිට් විසිනි. නමුත් මේ සියලුම කාරණා නිහඬ කරවීමට සමත් වූයේ අද ඔබ වෙන්දේසි කරන බව පවසන පදක්කමේ ආනුභාවය ය.

ප්‍රවීණ ක්‍රීඩිකා සුසන්තිකා , 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට සහභාගී වී තරග නොවැදීම හරහා ඔබ ගේ ඔලිම්පික් පදක්කමේ ගෞරවය රැකිණිද ? ඔබ එදා අහිමි කළේ ලංකාවේ වෙනත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට ලැබෙන්නට තිබූ වයිල්ඩ් කාර්ඩ් අවස්ථාව බව ඔබට අමතකද? ඔලිම්පික් පදක්කමට මුවා වී අනෙක් ක්‍රීඩකයින් හට ලැබෙන්නට තිබුණු අවස්ථාව සිත් පිත් නොමැතිව උදුරාගත් ඔබ අද චෝදනා කරන්නේ නව පරපුරට ඔබගේ දැනුම ලබා නොදෙන බවයි. ඔබ නව පරපුරට ලබා දෙන්නට යන්නේ මෙබඳු දැනුමක් නම් එය ලබා නොදීමම අගනේයැයි ආදරයෙන් සිහිපත් කරමි.

ඔලිම්පික් ක්‍රීඩිකාවක ලෙස ලංකාවේ මළල ක්‍රීඩාවට සේවය සැලසිය යුතු බව ඔබට මේ හදිසියේ සිහිපත් වී ඇත. 2011 වසරේ සාන්ත කිට්ස් දූපතේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගෙන ඒමේ අසාර්ථක වන්දනා නඩයේ එක් ගෞරවනීය සාමාජිකාවක් වන්නේ ඔබ ය. අජිත් නිවාඩ් කබ්රාල් , නාමල් රාජපක්ෂ ,අනර්කලී ආකර්ෂා සහ අනර්කලීගේ මව ඇතුළු ක්‍රීඩාවට අත්‍යන්තයෙන්ම අදාල විශාල සේනාවක් සමග එදා නාස්ති කරනු ලැබුවේ ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කළ යුතු මුදල් බව ඔබට සිහිපත් නොවිණිද ? ඔලිම්පික් පදක්කම් ලාභිනිය ලෙස ආරධනා කරන ඕනෑම දිල්ලියකට ගොස් ජොලි කර පැමිණීම හැරෙන්නට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද ?

ආදරණීය සුසන්තිකා , කැමති පක්ෂයකින් දේශපාලනයට පිවිසීම හෝ දේශපාලන ලෝකයේ දියබුං ගැසීම ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. නමුත් ඔබට දේශපාලනයට පිවිසීමට තිබුණු සුදුසුකම කුමක්දැයි ඔබ හෘද සාක්ෂිය අමතා විමසා බැලුවේ නම් ඔබගේ ඔලිම්පික් පදක්කම මුලින්ම වෙන්දේසි කළේ කවදා ද යන පැණයට ඔබට පිළිතුරු ලැබෙනු ඇත. ගම , වෙල , ඉපනැල්ල , කොස් , පොළොස් ම මාර්කට් කළ ඔබ දේශපාලනික වේදිකා මත හිඳ යශෝධරා දේවිය කණවැන්දුම් වූවා වැනි අඳබාල කතා පවසා වෙන්දේසි කළේ මේ ඔලිම්පික් පදක්කමේ ගෞරවයම නොවේද ?

හිතවත් සුසන්තිකා, ඔබ ක්‍රීඩාවට සේවය කරන ආකාරය සහ ක්‍රීඩාව වෙනුවෙන් හඬ නගන ආකාරය පසු ගිය දසක ගණනාවක් තිස්සේ අප බලා සිටියෙමු. 2015 වසරේ චීනයේ හුවෑන් නුවර ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත් නිමාලි සූරියාරච්චි ලංකාවට පැමිණ පදක්කමද රැගෙන හම්බන්තොට සූරියවැවට යන්නේ බස් රථයෙනි. ඇයට පෙර ඒ ඉසව්ව ආසියානු මට්ටමෙන් ජය ලබා තිබූ (1993 මැනිලා - ලෝකඩ ) ශ්‍රියානි ධම්මිකා මැණිකේ හෝ ඔලිම්පික් පදක්කම්ලාභී ඔබ නිමාලි වෙනුවෙන් කිසිඳු හඬක් නගන්නේ නැත. නමුත් නිමාලි 2016 වසරේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදි අදාල ඉසව්වේ ජාතික වාර්තාව පිහිටුවන්නීය. අතින් ක්‍රියාකරන කාල ගණක යන්ත්‍රයකින් විනිශ්චය ලබාදුන් නිසා නිමාලිගේ ජාතික වාර්තාව පිළිගැනීමට නොහැකි බව පවසමින් ධම්මිකා මැණිකේ සමග එක්ව මළල ක්‍රීඩා සංගමයට එරෙහිව අරගල කළේ සුසන්තිකා ජයසිංහ වන ඔබය. ඔලිම්පික් පදක්කම් ලාභිනියක් යැයි පුන පුනා සඳහන් කළ ද ඔබ අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයන් සහ නියමයන් පිළිබඳ දන්නේ නැත. නමුත් දන්නවාක් මෙන් කෑ ගසන්නට දන්නේය. ඔබගේ ක්‍රීඩා උපදේශනය යනු නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයෙන් සහ මාධ්‍ය මගින් ලැබෙන අවධානය නවත්වන්නට පමණක් ඉදිරිපත් වීම නම් මසකට රුපියල් 60,000/- ක් ඒ සඳහා ඕනෑවටත් වඩා වැඩි නැතිද ?

මැතිනිය සුසන්තිකා , වසර 5 ට පමණ පෙර තරුණි පත්තරයක මැද පිටුවේ ඔබගේ බොරලැස්ගමුවේ වැව් ඉවුරක් ආසන්නව නිමකළ විශාල නිවසක් ගැන වරුනණාවක් පල වූ බව ඔබට මතක්ද ? තේක්ක වලින් සෑදූ ටීපෝ සහ පුතා වෙනුවෙන් වත්තේ වැවූ ඖෂධ වගාවන් මෙන්ම වැවේ බෝට්ටු පැදීමේ පහසුකම ගැන පවා ඔබ කතා කළා මතකද ? ඔබ පැවසූ පරිදි එනිවසේ තබා ඇත්තේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් ත්‍යාග කළ විශාල බුදු පිළිමයකි. සාමාන්‍ය අමුත්තන්ට සහ වී.අයි.පී අමුත්තන්ට වෙන් කළ විසිත්ත කාමර දෙකකි. එලෙස සකසන්නේ ඔබ හමුවට එන වී.අයි.පී අමුත්තන්ට බාධා නොවන පිණිසය. හිතවත් සුසන්තිකා , මගේ මතකයේ අවුලක් නිසාදෝ එම ලිපියේ කොතැනකවත් ඔබගේ සේවයට නිසි තැන නොලැබීමක් හෝ පදක්කම් වෙන්දේසියක් ගැන කිසිම සඳහනක් තිබූ බව මතක නැත.

හිතවත් සුසන්තිකා , එදා අප මල් මාලා දමා, තොරණ ගසා උත්සව තබා පිළිගත්තේ, ඕපන් ට්‍රක් එකකින් රැගෙන පාර දෙපස හිඳ අත් වනා පිළිගත්තේ ඔබව ය. පළමුව ලෝකඩ පදක්කමක් දිනා පසුව එය රිදී පදක්කම බවට පත් වූ සුසන්තිකා ජයසිංහවය. නමුත් මේ යනාකාරයට කණගාටුවෙන් වුවද මෙසේ පවසමි.

එදා අපට පිළිගන්නට තිබ්බේ ඔබව නොව 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 රන් පදක්කම දිනූ බහාමාස් ක්‍රීඩිකාව ය. එදා පෝලින් ඩේවිස් තොම්ප්සන් රන් පදක්කම නොදින්නා නම් ලංකාවෙන් බාගයක්ම ඔබේ නමට ලියා දෙන්නට වෙන බවට සැක නැත. එදා ඔබ රන් පදක්කම දින්නා නම් අද සාග් මට්ටමෙන් දුවන්නට දෙවැනි පෙළක් වත් ඉතිරි වන්නේ නැත.

මන්ද යත් , ඔබගේ රිදී පදක්කම හිඟන්නාගේ තුවාලයක් වී ඇති බැවිනි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

13 comments:

  1. Replies
    1. ලිවිය යුතු නිසාම ලිවීමි. ස්තුතියි !!!

      Delete
  2. හොද විග්ග්‍රයක් මචං,
    ගෙයට අමතරව ලක්ෂ 50 ක් දුන්නා වගේ මතකයි.

    ඔලිම්පික් පදක්කමක් දිනුවත් ක්‍රිඩාවේන්,ජීවිත්යට එකතු කරතයුතු, උත්සහය, භාධක හමුවේ නොසැලි හිදිම දිරියෙන් දිරියට යාම ආදි ගුණාන්ග ඇයගේ ජිවිතයට එකතු කරනොගෙන ඇතු බව පැහැදිලියි

    ඇයට උවමනාවක් තිබුනානම් අවශ්‍ය කරණ පුහුනුව ලබා, පුහුනුකාරිණියක ලේසට දේශියව හෝ විදේශිය
    සේවය කරන්න හොදින්ම පුළුවන්මක තිබුනා.ඇයගේ සමකාලිනයකු වන ශ්‍රියානු කුලවංශ දැනට විදේශිය රටක පුහුනුකාරිනියක වශයෙන් සේවය කරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. පුහුණුකාරිනියක් වෙන්න අවශ්‍ය ප්‍රධානම දේවල් ඇය සතුව නෑ.
      ඒ එක්කම ශ්‍රියානි කුලවංශ නම් විදේශයක පුහුණුකාරිනියක් විදියට වැඩ කරන්නේ නෑ මම දන්න විදියට, ඇය පොඩි වැටුපකට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ උපදේශිකාවක් විදියට වැඩ කළා මෑතක් වෙනකම්.

      Delete
  3. Oba hariyatama hari!Hingannage thuwalema thama.

    ReplyDelete
    Replies
    1. ලිවිය යුතු නිසාම ලිවීමි. ස්තුතියි !!!

      Delete
  4. මේක උන්දැට පෙන්නන්න එකෙක් නෑනෙ අම්මපා
    දිව හපා ගෙන මැරෙදැක්කොත්

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. ඩර්වින් පෙරේරට බැන්න වචනය කියලා බනීවි. එච්චරයි :P

      Delete
  5. ela...........lipiya...

    lankawee ganiyek kilaa hithaneth ammmarui.... family background ekenne ohomma wenne...60000 wadi meyata....Dayasiri kiwee atha..

    meya me hinga kanne apppe badu gewanna apee salli nnedha............

    Lajaii Lajaiii

    makeup danna eke nawath wannna...salli ithurukarannna puluwan

    ReplyDelete
  6. නියම විග්‍රහයක්! අද තමා මුලින්ම බ්ලොග් එකට අවේ. ජය වේවා !

    ReplyDelete
  7. මීටර් 200ක් උඩ වීසිකරල අත ඇරපි... බිමට....

    ReplyDelete
    Replies
    1. මීටර 10,000 ක දේවල් තියෙනවා. පුද්ගලික නොවන - වඩාත් වැදගත්ම දේවල් විතරක් ලිව්වේ. ස්තුතියි

      Delete