ප්‍රමාදය නිසා චිත්‍රපටකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා : ප්‍රසන්න ජයකොඩි



සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න ජයකොඩි ගේ නවතම සිනමා නිර්මාණය "28" පසුගිය 02 වැනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිත ය. 2007 වසරේ දී 'සංකාරා" චිත්‍රපටය සමගින් අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රසන්න ජයකොඩි , ජාත්‍යන්තර සහ දේශීය ඇගයුමට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි. ඔහුගේ නව නිර්මාණය වන "28" චිත්‍රපටය 2014 වසරේ දී නෙදර්ලන්තය , කැනඩාව , රුසියාව, ජර්මනිය , පෝලන්තය , එස්තෝනියාව, ඕස්ට්‍රේලියාව , ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් වල පැවති ජාත්‍යන්තර සිනමා උළෙල 09 ක් සඳහා සහභාගී විය. 28 සමග යළිත් රිදී තිරයට පිවිසෙන ප්‍රසන්න සමග ඉරිදා ලක්බිම සුහද පිළිසඳරක නිරත විය.

# ඔබගේ නවතම සිනමා නිර්මාණය "28" තව දින කිහිපයකින් පසුව ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. නමුත් මේ චිත්‍රපටය අද ඊයේ නිර්මාණය කළ එකක් නෙමෙයි නේද ?
මම 28 චිත්‍රපටයේ වැඩ ඉවර කළේ අවුරුදු 04 ට කලින්. ඒත් ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශන වැඩපිළිවෙලේ තියෙන අවිධිමත් බව නිසා මෙච්චර කාලයක් ගත වුණා. මම 2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ ඉක්මණින්ම ලංකාවේ පෙන්නන්න අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසයත් එක්ක. ඒත් අන්තිමට 2017 අවුරුද්දේ මැද වෙනකම්ම බලා ඉන්න වුණා. මේ වගේ ප්‍රමාදයන් නිසා නිර්මාණකරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා.
# ඔබගේ චිත්‍රපට වල නළුනිළිවරණය තරමක් වෙනස් බවක් පෙනෙනවා. මෙවර ඔබ තෝරාගන්නේ සේමිණි ඉද්දමල්ගොඩව. ඒ ඇයි ?
මම නිර්මාණයක් කරනකොට ප්‍රසිද්ධ නළු නිළියන් අරගන්න උත්සාහ කරන්නේ නැහැ. මට උවමනා කරන්නේ චිත්‍රපටයේ චරිතයට වඩාත් සුදුසු කෙනෙක්ව තෝරා ගන්න එක. 28 ගැන කතා කරනවා නම් සේමිණි ඉද්දමල්ගොඩගේ රූප ස්වභාවය සහ ස්ථූල ස්වභාවය ඒ චරිතයට උවමනා විදියටම තිබුණා. මහේන්ද්‍ර පෙරේරාගේ සහ සරත් කොතලවලගේ රංගන පරාසය නිසාම තමයි ඔවුන්ව ඒ චරිතවලට තෝරා ගත්තේ. "සංකාරා" චිත්‍රපටයේ දී මට වඩාත් ඉස්මතු කරන්න ඕනෑ වුණේ "සචිනි අයේන්ද්‍රා" ගේ රූපය මිසක් එයාගේ රංගනය නෙමෙයි. ඒ චිත්‍රපටයේම තුමිඳු දොඩම්තැන්න්නගේ මුහුණේ හැඩතල සහ වෙනස් මුහුණුවර මට ඒ චරිතය ගෙනියන්න උදව් වුණා. තුමිඳු , සචිනි කොයි තරම් දක්ෂ නළු නිළියෝ වුණත් ඒ අයගේ බාහිර පෙනුමත් අදාල චරිත වල ප්‍රධාන සාධකයක් විදියට මම තීරණය කළා.
# නමුත් ඔබගේ "සංකාරා" සහ "කර්ම" වැනි චිත්‍රපට එකවර තේරුම් ගැනීමට අපහසු බවක් තිබුණා නේද ? රසිකයින් 28 ගැනත් මෙ පූර්ව නිගමනයටම එළැඹෙයි ද ?
මගේ නිර්මාණ වල ආකෘතික ස්වභාවය වෙනස්. මම නිර්මාණ ඉදිරිපත් කරන විදියත් වෙනස්. මම චිත්‍රපටයක් ආධ්‍යාත්මික ස්වරූපයකින් ඉදිරිපත් කරනවා මිසක් කතන්දර ස්වරූපයකින් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒත් සංකාරා සහ කර්ම චිත්‍රපට වලට දේශීයව වගේම විදේශීයව හොඳ ප්‍රතිචාර ලැබුණා. 28 ගැන කියනවා නම් ඒක කලින් චිත්‍රපට වලට වඩා වෙනස් විදියක නිර්මාණයක්. සේමිණි මේ චිත්‍රපටයේ කරන්නේ වෙනස්ම විදියක චරිතයක්. මම 28 චිත්‍රපටය කළේ දේශීය රසිකයින්ගේ රසවින්දනයටමයි කියලා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. 28 හරහා දේශපාලන ප්‍රස්තුතයක් වගේම භාවාත්මක සන්දර්භයක් එක්ක සුඛ දුක්ඛාන්තයක් ගැන සාකච්ඡා වෙනවා.
# ඔබගේ චිත්‍රපට වල පමණක් නෙමෙයි. රූපවාහිනී නාට්‍ය, වෙළඳ දැන්වීම් වල පවා මේ ආධ්‍යත්මික ධාරාව ස්පර්ශ වෙන බවක් දකින්න පුළුවන්. ඒ ඇයි ?
අධ්‍යක්ෂවරයෙක්ට ජීවන දැක්මක් තියෙන්න ඕනේ. මම දකින විදියට මේ ලෝකේ හැම දේම දේශපාලනිකයි. ඒත් මම ආධ්‍යාත්මික හරය සාකච්ඡා කළාට මගේ නිර්මාණ වලින් ආගම ගැන කතා කරන්නේ නෑ. ආගම කියන්නේ තවත් එක දේශපාලනික සංස්ථාවක් විතරයි. අධ්‍යක්ෂවරයාගේ රීතියට දැක්මට නිර්මාණයක් ඇතුළේ හුඟක් දේවල් කරන්න පුළුවන්. මට මගේම කියලා දර්ශනයාක් තියෙනවා. මගේ චිත්‍රපට තුනම ස්වභාවික රීතිය ට යටත් වෙලා නැහැ. ඒවාගේ ආඛ්හ්‍යානයන් ස්වභාවිකත්වය ඉක්මවා යනවා. නමුත් ඒ ඒ චිත්‍රපට වල ආකෘතිය ඇතුළේදි ඒවා ස්වභාවිකව ගලා යනවා.
# ඔබගේ නවතම නිර්මාණය "28" නිකුත් වෙන්නේ තරමක තරගකාරී පසුබිමක. බූඩි කීර්තිසේන , විමුක්ති ජයසුන්දර ගේ වෙනස් ආකෘතියේ නිර්මාණත්, සෝමරත්න දිසානායකගේ ළමා චිත්‍රපටයකුත් ආරියවංශ සොහොයුරන්ගේ සහ චත්‍ර වීරමන්ගේ කුළුඳුල් නිර්මාණත් ඔබට පෙර තිරගත වුණා. ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද ?
එක හුඟක් හොඳ දෙයක් කියලා මම හිතනවා. කාලයක් රජ කතා රැල්ලක් ආවාම ඒවා නැතුව සිනමාව පවතින්නේ නැහැ කියලා සිනමා ශාලා හිමියෝ හිතාගෙන හිටියා. අන්තිමට වුණේ හොඳ චිත්‍රපටයකට ඉඩක් නැථි වුණු එක. හඳගම ගේ "ඇගේ ඇස අග" පවා පෙන්නුවේ අතරමැදි දර්ශනයක් විදිය මිසක් ප්‍රධාන දර්ශනයක් විදියට නෙමෙයි. හුඟක් නිර්මාණකරුවන්ට ඒ ඉරණමට මූණ පාන්න වුණා. ඒත් එහෙම හරි විවිධ ආකෘති වල හොඳ නිර්මාණ ප්‍රදර්ශනය වීම හරහා රසිකයින්ට හොඳ අත්දැකීමක් ලැබුණා. ඒ අය සිනමාව සම්බන්ධව තියෙන උනන්දුව වැඩි වුණා. ඒ වගේ පසුබිමක 28 ප්‍රධාන දර්ශන වාර වල පෙන්වන චිත්‍රපටයක් විදියට එනකොට ඒක මේ චිත්‍රපටයට එක්තරා වාසියක් කියලා හිතෙනවා.
# සයිමන් නවගත්තේගමයන්ගේ නවකතාවක් ඇසුරින් ඔබ අධ්‍යක්ෂණය කළ " දඩයක්කාරයාගේ කතාව" ට මොකද වුණේ ?
" දඩයක්කාරයාගේ කතාව" ට රංගනයෙන් දායක වුණේ සංජීව උපේන්ද්‍ර , හේමසිරි ලියනගේ සහ ක්‍රිස්ටිනා බ්‍රිටෝ. ඒකේ වැඩත් ඉවර කරලා අවුරුදු එකහමාරකට වැඩියි. සවුන්ඩ් මික්සින්ග් වගේ පොඩි දේවල් ටිකක් කරන්න තියනවා. ඒ ටික මේ දවස්වල කරගෙන යනවා. අවුරුදු 4 ට කලින් කරපු චිත්‍රපටයක පෝලිමේ තියාගෙන තව එකක් එක්ක ඔට්ටු වෙන එක ප්‍රායෝගික නැති නිසා මම මේක ටිකක් තියාගෙන හිටියා. දැන් ඉතින් 28 ප්‍රදර්ශනය වෙන නිසා " දඩයක්කාරයාගේ කතාව" පැත්තට අවධානය යොමු කරන්න පුළුවන්.
# ඔබගේ පියා ජයසේන ජයකොඩි කියන්නේ රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක්. ඔබගේ නිර්මාණ වලට ආභාසය ලැබෙන්නේ පියාගේ කෘති වලින්ද ?
නැහැ. තාත්තගෙයි මගෙයි නිර්මාණාත්මක ගනුදෙනුවක් තිබුණෙම නැති තරම්. මම තාත්තගේ "අරලියමල් ආරාමය" පොත "නිසල විල" නමින් ටෙලි නාට්‍යයකට නැගුවා. ඒ ඇරෙන්නට අපි දෙන්නාගෙම සම්බන්ධයක් තියෙන වෙන නිර්මාණයක් නැහැ. අපි දෙන්න හිටියේ ආස්ථාන දෙකක. අපිට වෙන වෙන මතවාදයන් තිබුණා. ඒත් මම මේ හිතන විදියට සහ මම නැඹුරු වන දාර්ශනිකමය සිතිවිලි වලට තාත්තගේ ඇසුර ආභාසයක් වුණා කියලා කියන්න පුළුවන්. තාත්තා හින්දා මට පොඩි කාලේ ඉඳන්ම ඇති තරම් පොත් කියවන්න , හදාරන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මම තේරුම්ගත්ත ජීවිතය තමයි මේ.
සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව | 2017 ජූනි 11

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment