ජූනි 17 : රුඩොල්ෆ් නියුරේව් ප්‍රංශ ගුවන්තොටුපොළකදී දේශපාලන රැකවරණ උදෙසා පලා යයි


1961 වසරේ අද වැනි දවසක රුසියානු බැලේ නර්තන ශිල්පී රුඩොල්ෆ් නියුරේව් ප්‍රංශ ගුවන්තොටුපොළකදී දේශපාලන රැකවරණ උදෙසා පලා ගියේය.
එවකට විසි තුන් හැවිරිදි රුඩොල්ෆ් නියුරේව් (Rudolf Nureyev) සැලකුණේ විසිවෙනි සියවසේ විශිෂ්ටතම බැලේ නර්තන ශිල්පියා ලෙසිනි. සෝවියට් රුසියාවට ආභරණයක් වූ හෙතෙම එරට කීරෝෆ් (Kirov) නර්තන කණ්ඩායමේ ප්‍රධාන නර්තන ශිල්පියා ලෙස ද කටයුතු කළේය. ජාත්‍යන්‍තරය නියෝජනය කරන සෝවියට් තාරකාවන්ට විදේශිකයින් සහ පිටස්තරයින් සමග ආශ්‍රය , කතාබහ සීමා කර තිබිණ. නමුත් මෙම සීමාවන් නොතැකූ නියුරේව් විදේශිකයින් සහ පිටස්තරයින් සමග නිදහසේ ආශ්‍රය කළ අතර තමාගේ හැසිරීම් බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වන බව ද දැන සිටියේය.
1961 ජූනි මාසය වන විට කීරෝෆ් නර්තන කණ්ඩායම යුරෝපා සංචාරයක යෙදී සිටි අතර ඔවුන් ප්‍රංශයේ Le Bourget ගුවන්තොටුපොළෙහි රැඳී සිටියේ ලන්ඩන් වෙත ගමන් කිරීමේ අරමුණෙනි. නමුත් හදිසියේම කණ්ඩායම් නිළධාරීන්ගෙන් නියුරේව් වෙත ලැබෙන පණිවුඩයකි. පළමුව එයින් කියැවෙන්නේ ඔහු ක්‍රෙමිලීනයේ විශේෂ රඟදැක්වීමක් සඳහා ආපසු මව් රට බලා යායුතු බවය. නියුරේව් එ පණිවුඩය පිළිගන්නට මැළි වේ. එවර බලධාරීන් පවසන්නේ ඔහුගේ මව රෝගාතුරව සිටින නිසා ඔහු ආපසු රුසියාවට යා යුතු බවය. ප්‍රධාන නර්තන ශිල්පියා ආපසු රුසියාවට යන විට අනෙක් කණ්ඩායම ලන්ඩන් වෙත යා යුතු බවය.
රුසියාව බලා පිටත්වන ගුවන් යානය එන තෙක් Le Bourget ගුවන්තොටුපොළේ නියුරේව් ව රඳවා තබන්නේ ආරක්ෂකයින් දෙදෙනෙක් සමගිනි. එක්වරම ආරක්ෂකයින් දෙදෙනාගෙන් මිදී පලා යන මේ ලෝක පූජිත බැලේ නර්තන ශිල්පියා I want to be free යනුවෙන් ඉංග්‍රීසි බසින් කෑගසමින් ගුවන්තොටුපොළ ආරක්ෂකයින් වෙත භාර විය. ඔහු තමාට නැවතත් රුසියාවට යාමට උවමනා නොවන බව පවසා ප්‍රංශයේ රැකවරණ ඉල්ලා සිටියි. පැය කිහිපයකින් ප්‍රංශයේ තාවකාලික දේශපාලන රැකවරණ ලබන නියුරේව් එතැනින් ඇරඹි ස්වයං විප්‍රවාසය ඔස්සේ දිගු ගමනකට මංපෙත පාදා ගනියි. එතෙක් කල් බලහත්කාරයෙන් සෝවියට් අහසේ රඳවාගෙන සිටි තාරකාව යුරෝපා අහසේ නිදහසේ ආලෝකමත් වන්නේ එලෙසිනි.
නියුරේව් රුසියාවෙන් මිදුණේය. ඔහු එදා තම මව රෝගාතුර බවට සෝවියට් බලධාරීන් පැවසූ බොරුව පිළිනොගත් හෙයින් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය උදා කරගත්තේය. ඔහු යුරෝපය පුරා රඟමින් නිදහසේ සැරිසැරීය. විටෙක තරුණියන් සහ තවත් විටෙක තරුණයන් සමඟ පෙමින් බැඳෙමින් රිසි ලෙස ජීවිතය ගත කළේය. තම මව සැබැවින්ම රෝගාතුර වූ විට ඇය වෙත යාමට නියුරේව් අවසර ඉල්ලා සිටියද සෝවියට් පාලකයින් දරඳඩු ලෙස එය ප්‍රතික්ෂේප කරන ලදි. 1987 වසරේ දී නියුරේව් මුල්වරට රුසියාව වෙත සංචාරය කිරීමට අවසර ලැබීය. නමුත් ඒ වන විට ඔහුගේ මව ජීවතුන් අතර සිටියේ නැත.

විසි තුන් හැවිරිදි නොසන්සුන් තරුණයෙක් ලෙස ප්‍රංශ ගුවන්තොටුපළකදී අහඹු ලෙස ඉතිහාසගත තීරණයකට එළැඹෙන විට ඔහු විසිවෙනි සියවසේ විශිෂ්ටතම බැලේ නර්තන ශිල්පියා විය. 1993 වසරේ දී ඒඩ්ස් රෝගය ආශ්‍රිත ව්‍යාධියකින් මෙලොව අතැර ගොස් පැරිස් නුවර රුසියානු සුසාන භූමියක වියපත් රුඩොල්ෆ් නියුරේව් මිහිදන් වන්නේ ද විසිවෙනි සියවසේ විශිෂ්ටතම බැලේ නර්තන ශිල්පියා ලෙසිනි. ඔහු තමා මියගිය ද ඒ විශිෂ්ටත්වය ජීවමානව පවතින බව දැන සිටි අතර වරක් මෙසේ පැවසීය. 

"මගේ රැඟුම් මිහිමත පවතින තුරුම මා එමිහිතලයේම ජීවත් වනු ඇත"
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment