According to Mathew : අනුරාගිනී


ඔහු සිටියේ තහනම් ගහ අසලය. පසෙකින් සර්පයා ද මිහිරි ඵලය ද විය. නමුත් සර්පයා මා රැවටුවේයැයි නිදහසට කරුණු පවසන්නට මැතිව් ජෝර්ජ් ෆෙඩ්‍රික් පීරිස් හට අවසරයක් නොවීය. 1984 පෙබරවාරි 15 වැනිදා ලබා දුන් නඩු තීන්දුවකට අනුව ඔහු ට මරණීය දණ්ඩනය නියම විය. ඒ තම භාර්යාවගේත් , අනියම් පෙම්වතියගේ ස්වාමි පුරුෂයාගේත් ජීවිත සැලසුම් සහගතව උදුරාගැනීමේ චෝදනාවට වැරදිකරු වෙමිනි. දේවගැති වරයෙකු වූ මැතිව් පීරිස් තහනම් ගහ අද්දරින් එල්ලුම් ගහට නියම විය. සර්පයා ද මිහිරි ඵලය ද එතැනමය. චන්ද්‍රන් රත්නම් නම් වූ ප්‍රවීණ සිනමාකරු " According to Mathew " හෙවත් " අනුරාගිනී " නම් වූ චිත්‍රපටය නිර්මාණය කරන්නේ මේ සිදුවීම ඇසුරෙනි.
චන්ද්‍රන් රත්නම් ප්‍රතිනිර්මාණය කරන්නේ මෑත ඉතිහාසයේ වාර්තා වූ නිර්දය සහ ඇදහිය නොහැකි මට්ටමට සැලසුම් සහගත ඝාතනයන් පිළිබඳ කතා පුවතකි. දේවගැතිවරයෙකු වූ මැතිව් පීරිස් තම බැතිමතියක වූ ඩැල්රින් ඉන්ග්‍රම් සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ අතර තම සිවිල් ප්‍රතිරූපය ඔස්සේ ඩැල්රින් ගේ පවුලේම අණසක සියතට ගැනීමට දේවගැතිවරයා සමත් වී තිබිණ. අවසානයේ දී සිදුවන්නේ ඩැල්රින්ගේ සැමියා වූ රසල් ඉන්ග්‍රම් 1978 අගෝස්තු 10 වන දා තෙක් වරින් වර රෝගාතුරව , රෝහල්ගතව ජීවිතයෙන් සමු ගැනීමය. මරණයට හේතු වූයේ රුධිරයේ සීනි සාන්ද්‍රණය පහළ යාම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි මට්ටමට මොළයට හානි සිදු වීමය. ඒ හරහා දීර්ඝකාලීනව සිහි මූර්ඡා වීමත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස නිව්මෝනියාව වැළඳුණු බව වෛද්‍යවරුන්ගේ මතය විය. මේ මරණය සිදුවන විට ඉන්ග්‍රම් යුවළ වෙසෙන්නේ දේවගැති නිවසේම එක් කොටසකය.
මැතිව් පීරිස්ගේ දරුවන් තිදෙනාම විදෙස්ගත ව සිටි අතර බිරිඳ ඉන් එක් දියණියකගේ නිවසේ රඳවා එන්නේ ද දේවගැතිවරයා විසින්මය. අවසානයේ සැක තැන් ඉතිරි කරමින් රසල් ඉන්ග්‍රම් මෙලොවින් සමුගනී. ඔහුගේ නීත්‍යානුකූල භාර්යාව වන ඩැල්රින් මේ දේවගැතිවරයා දෙස දක්වන භක්තිවන්ත ඇල්ම සහ විශ්වාසය නිසාම රසල් ගේ මරණය පිළිබඳ සැක සංකා වලට හිස ඔසවන්නට ලැබුණේ නැත. අනතුරුව ලංකාවට පැමිණෙන දේවගැති බිරිඳ ඉයුනිස් ෆිලිෂියා ලොයිස් පීරිස් ද එක්වරම රෝගාතුර වේ. එංගලන්තයේ දී යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය රසල් ගේ රෝග ලක්ෂණම එනම් , අප්‍රාණික භාවය , අධික නිදිමත ස්වභාවය පෙන්වා වරින්වර රෝගාතුරව 1979 මාර්තු 19  වැනිදා ජීවිතයෙන් සමු ගනී. මරණයට හේතු වන්නේ රසල් ගේ මරණයට හේතුවම ය. මේ දෙදෙනාවම ප්‍රතිකාර වලට යොමු කිරීමේදී දේවගැතිවරයා දැක්වූ අත්තනෝමතික හැසිරීම සහ ඔහු විසින් වරින් වර ලබා දුන් ඖෂධ පිළිබඳ සැකයේ දළු ලියලා වැඩෙන්නට විය. මේ සිදුවීම් ද්විත්වය අතර අන්තර් සබඳතාවක් ඇතැයි වෛද්‍යවරුන් සැක පහළ කර අතර දේවගැතිවරයා පැමිණි අවස්ථාවන්හි දී රසල් ගේ රෝගී තත්ත්වය උත්සන්න වූ බව අවට ඇඳ වල සිටි රෝගීන් නිරීක්ෂණය කර තිබිණ. එමෙන්ම මැතිව් පීරිස් පැමිණි පසුව සේලයින් සැපයුම අඩාල වීමක් හෝ කාන්දු වීමක් වැනි අවහිරතා වාර්තා වූ බව හෙදියන් ද නිරීක්ෂණය කර තිබිණ. අවසානයේ දී 1979 වසරේ දී සැක පිට අත් අඩංගුවට පත්වන මැතිව් පීරිස් සහ ඩැල්රින් ඉන්ග්‍රම් ට එරෙහි තීන්දුව ලැබෙන්නේ 1984 වසරේ දී ය. මැතිව් ගේ දරුවන් ද තම මවගේ මරණය සම්බන්ධව පියාගේ හැසිරීම ට එරෙහිව සාක්ෂි සැපයූහ. දේවගැති මැතිව් පීරිස් හට මරණීය දණ්ඩනය නියම වද්දී ඩැල්රින් ඉන්ග්‍රම් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. පසුව විධායක ජනපති බලතල හරහා ජේ ආර් ජයවර්ධන මහතා මැතිව් පීරිස් ගේ මරණ දඬුවම ද ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කර තිබිණ. සැකකරුවෙක් ලෙස දෙවසරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ද වැරදිකරුවෙක් ලෙස දහතුන් වසරක් සිරගතව ද සිටි දේවගැතිවරයා 1997 දී දඬුවම් කාලය ගෙවා නිදහස ලැබූ අතර වසරකින් පමණ ජීවිතක්ෂයට පත් විය. පළමු නඩු විභාගයට පසුව ඇපෑලක් ඉදිරිපත් කළ ඩැල්රින් ඉන්ග්‍රම් චෝදනා වලින් නිදහස ලබන්නී එසැණින් විදෙස් ගත වූවාය.
" According to Mathew " චිත්‍රපටය රූගත වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට අමතරව සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් හඬ කවනවා. මේ චිත්‍රපට තුනම එකම දවසේ එක වර තිරගත කෙරෙනවා ". එසේ පවසන්නේ චන්ද්‍රන් රත්නම් ගේ නිෂ්පාදන කණ්ඩායම යි. අධ්‍යක්ෂවරයා මේ දිනවල අතිශය කාර්‍යබහුල ව සිටින්නේ මේ අමතර ද්විභාෂා හඬකැවීම් කටයුතු සමගය. දැනට තිරගත වන " බන්ධනය" චිත්‍රපටයටත් තවත් එක් චිත්‍රපටයකටත් පසුව රිදී තිරය වෙන්වන්නේ මැතිව් ගේ කතා පුවතටය. "මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පාන්නේ ජැකලීන් ෆර්නැන්ඩස් සහ ඇල්ස්ටන් කෝච් " යැයි පවසන චිත්‍රපට කණ්ඩායම ජැකලීන් රඟන ඩැල්රීන් ගේ භූමිකාව සිනමා නිර්මාණය තුළ ඩැෆ්නි ලෙස නම් වන බව පැවසූහ. එසේ වන්නේ ඩැල්රින් ගේ නම භාවිතා කිරීම සම්බන්ධව එම පාර්ශවයේ නොකැමැත්‍ත හේතුවෙනි. " රසල් ගේ චරිතය රයන් යන නමින් රඟ පාන්නේ චියෑන් ඕ'ග්‍රේඩි. දේවගැති බිරිඳව මේ චිත්‍රපටයේ දී මිසිස් පීරිස් විදියට හැඳින්වෙනවා. ඒ චරිතේ කරන්නේ බිම්සරා ප්‍රේමරත්න " නිෂ්පාදක කණ්ඩායම එසේ පවසද්දී මේ නිර්මාණය වටා දිවෙන රහස් පරීක්ෂක චරිතය අමතක කරනු නොහැකිය. ඒ රහස් පරීක්ෂක කෘස් ය. ඔහුට පණ පොවන්නේ ගැවින් ලුඩ්වික්ය. ප්‍රධාන දර්ශන තලය ලෙස භාවිත කර ඇත්තේ හොරණ කුඹුක වලව්ව වන අතර කළුතර රිච්මන්ඩ් කාසල් හැරෙන්නට අනෙක් සියලුම රූගත කිරීම් සිදු වී ඇත්තේ කොළඹ අවට වටපිටාවේ ය.

සර්පයා සහ මිහිරි ඵලය : ජැකලීන් සමග ඇල්ස්ටයාර්
ලක් රූ රැජණ ලෙස අබිසෙස් ලබා අද වන විට බොලිවුඩ් තිරය අතික්‍රමණය කර සිටින ජැකලීන් ෆර්නැන්ඩස් මෙරට සිනමා නිර්මාණයකට දායක වන මුල්ම අවස්ථාව වන්නේද " According to Mathew " චිත්‍රපටයෙනි. සිංහල නිර්මාණයේදී එනම් " අනුරාගිනී " හි ජැකලීන් වෙනුවෙන් හඬ කවන්නේ යුරේනි නොෂිකා ය.
මැතිව් පීරිස් නම් වූ දේවගැතිවරයාගේ කතා පුවත රැගත් සිනමා නිර්මාණයක් චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරන ලද පුවත පැතිරෙත්ම මාධ්‍ය ආයතන වෙත ලැබෙන්නේ රෝමානු කතෝලික සභාවේ මාධ්‍ය නිවේදනයකි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි මෙම දේවගැතිවරයා කතෝලික පූජකයෙකු නොවන අතර එය වරදවා වටහා නොගත යුතු වේ. මැතිව් පීරිස් යනු විවාහයට අවසර ඇති ආගමික නිකායක දේවගැතිවරයෙක් වන අතර මේ සිදුවීම සහ නඩුවිභාගය ගොඩ නැගෙන්නේ ඔහුගේ ආගමික ජීවිතය අරභයා නොව නින්දා සහගත පුද්ගලික ජීවිතය පිළිබඳවය. එබැවින් සහෘද ප්‍රජාව ද මෙය සත්‍ය නඩු තීන්දුවක් ඇසුරින් ප්‍රතිනිර්මාණය වන මේ සිනමා නිර්මාණයක් ලෙස සිනමාරූපි දැක්මෙන් භාර ගන්නා බවට සැක නැත. මන්ද යත් එවැනි නඩු තීන්දු ඇසුරින් කළ විශිෂ්‍ට සිනමා නිර්මාණ ලාංකේය සිනමා ඉතිහාසය තුළ විරල නොවන බැවිනි. ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව ඇසුරින් වසන්ත ඔබේසේකර ගේ " දඩයම " චිත්‍රපටය (1983) නිමැවුණු අතර ප්‍රසන්න විතානගේ " සිසිල ගිනි ගනී " නිර්මාණය කරන්නේ (1992) ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව ඇසුරෙනි. " දඩයම" ට අදාල ඝාතන නඩුවේ ප්‍රධාන කාන්තා පාර්ශවය වූ ඇඩ්ලින් විතාරණ තරුණිය ආනන්ද විලේගොඩ අතින් මරණයට පත් වූ අතර " සිසිල ගිනි ගනී" කතාවට පාදක වූ නඩු විභාගයේ විත්තිකාරිය වන්නේ පෝලීන් ඩි කෘස් නම් යුවතියයි. ඇය දීර්ඝකාලීන සිරදඬුවමකින් පසුව නිදහස ලබා විදේශගත ව පූජකවරියක වූ බව සඳහන් වේ. චන්ද්‍රන් රත්නම් ගේ සිනමා නිර්මාණයට අදාල කාන්තාව වන ඩැල්රින් ඉන්ග්‍රම් විදෙස්ගතව සිටියද මේ දිනවල ලංකාවේ වෙසෙන බව පැවසේ. එබැවින් තව සති කිහිපයකින් තම දෛවය වෙනස් කළ ඒ කතා පුවත රූ රැජණක ,බොලිවුඩ් තාරකාවක දායකත්වයෙන් රිදී තිරයට නැගෙන අයුරු දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව ඇයට හිමි වනු ඇත.
මාගම් සෝලිය ට පෙර  : ජනක මල්ලිමාරච්චි සමග මැතිව් පීරිස් 
මැතිව් පීරිස් නඩු විභාගය , චන්ද්‍රන් රත්නම් සිනමා නිර්මාණය සහ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශය යනු එකිනෙක හා බැඳෙන සිදුවීම් සමුදායකි. මේ සමග සිහි නංවනු වැළැක්විය නොහැකි අතීත සිනමා නිර්මාණයක් ද වේ. ඒ ජනක මල්ලිමාරච්චි විසින් මැතිව් පීරිස් නඩුව ඇසුරින් නිර්මාණය කරන්නට උත්සාහ කළ "මාගම් සෝලිය" නම් සිනමා නිර්මාණයයි. 1992 වසරේ දී ජනක මල්ලිමාරච්චි "මාගම් සෝලිය" සඳහා සූදානම් වන විට මැතිව් පීරිස් මිනීමැරුම් සඳහා දඬුවම් ලබන සිරකරුවෙකි. නමුත් එම චිත්‍රපටය ආරම්භක අදියරෙහිම නවතී. ඒ පිළිබඳව ජනක පවසන්නේ මෙවැන්නකි. "මම හිරගෙදරට ගිහිං මැතිව් පීරිස් ව හමුවුණා. එයා ගැන ෆිල්ම් එකක් කරන්න හිතංඉන්නවා කියලා කිව්ව්ම කේන්ති ගිහිං බැණලා ඇඟට කඩා පැන්නා" මුල් දිනයේ නොසරුප් වදන් සංග්‍රහයකින් සැලකුම් ලැබුවද පසුව දේවගැතිවරයා අවසානයේදී ඔහු සමග කතා බහ කරන්නට එකඟ වේ. "මම දිගටම හිරගෙදරට ගිහිං සාකච්ඡා කළා . එයාගේ චරිතය එයාම රඟපාන්න කැමතියි කියලාත් මැතිව් පීරිස් කිව්වා. මොකද එයා තමන් නිදහස් වෙනවා කියන විශ්වාසයේ හිටියේ" අවසානයේ මැතිව් පීරිස්ගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියත් , ඩැල්රින් ඉන්ග්‍රම් ලෙස අනෝජා වීරසිංහත් , දේවගැති බිරිඳ ලෙස වසන්ති චතුරාණිත් යෝජනා විය. තිරපිටපත සුගතපාල ද සිල්වාගෙනි. "අර්නස්ට් පෝරුතොට පියතුමාට තිර පිටපත පෙන්නලා එතුමාගේ අනුමැතිය සහ අදහස් ලබා ගත්තේ මේ නිර්මාණයෙන් ආගමික පාර්ශවයන්ට අගතියක් වෙන එක නවත්තන්නයි. රවීන්ද්‍රට මේකප් ටෙස්ට් එකක් පවා කළා. ඒක පත්තර වලත් පළ වුණා" චිත්‍රපටයට කණකොකා හඬන්නේ ඉන් අනතුරුවය. එක්තරා පුද්ගලයෙක් ජනක මල්ලිමාරච්චි හමුවට එයි. ඔහු එවකට ජනපති වූ රණසිංහ ප්‍රේමදාස ගේ සමීපතමයෙකි. කලා පවුලකට ද සම්බන්ධ ඔහු අද ජීවතුන් අතර නැත " ඒ පුද්ගලයා ඇවිල්ලා කිව්වා ජනාධිපති තුමා මේ ෆිල්ම් එක හදනවට කැමති නැහැ. මේක අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කිරීමක් කියලා. මම ප්‍රේමදාස මහත්තයට හුඟක් ගෞරව කරනවා. ඒ නිසා මම එතුමාගෙන් අහන්න ගියේවත් නැහැ. වැඩේ නැවැත්තුවා" එලෙස "මාගම් සෝලිය" ට නැවතීමේ තිත තබන ජනක තම සිහිනය අත් හැරියේද යන්න විමසා බැලීමු. ඔහු පවසන්නේ කෙදිනක හෝ තම චිත්‍රපටය නිර්මාණය කරන බවකි. "මොකද මා ගාව තියෙන්නේ මැතිව් පීරිස්ම කියපු කතාව. එයා මට එක වෙලාවකදි ආන්දෝලානාත්මක කතාවක් කිව්වා"
තහනම් ගස එතැනය. රසල් ඉන්ග්‍රම් ද ඉයුනිස් ෆිලිෂියා ලොයිස් ද මරු වැළඳ ගොසිනි. සර්පයාට ආසක්ත වූ මැතිව් පීරිස් ද මිහිරි ඵලයක අමිහිරි බව පසක් කර ඔවුනතරට ගොස් ඇත. මාගම් සෝලිය යටපත් වුවද අනුරාගිනිය ජීවමානය. අප බලා සිටින්නේ එදවස දෙසය.

අනුරාගිනී පමා වී එයි 
ලක්බිම| 2017 අප්‍රේල් 30 | මංජුසාව
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. හොඳ සටහනක් කසීර.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඉතාමත් හොඳ වියමනක්.
    කසීර ඔය සිසිල ගිනි ගනී සිනමා පටය ගැන නම් මත කීපයක්ම තියනවා. මෙහි තිර පිටපත පිළිබඳවද කසුකුසුවක් එය තිරගත වූ දිනවලම ඇති වුණා. එය ඒ එල් කේ පෙරේරා නම් මාධ්‍ය කරුවෙක් කලකට ඉහත ලියන ලද්දක් වගට. ඒ අනුසාරයෙන් තැනූ සිනමා පටයක් විදියටත්. එයිටත් වඩා විවේචනයට ලක් වුණේ මෙය Fatal Attraction නම් බටහිර සිනමාපටයේ කොපියක් ලෙසයි. සබිතා පෙරේරා සමග සනත් ගුණතිලක තමා සිසිල ගිනි ගනී හි ප්‍රධාන භූමිකා රග දැක්වූයේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන් අයියේ. සිසිල ගිනි ගනී එක ගැන ඔය කතාව අහලම තිබුණේ නෑ. ඒක මරු ඔත්තුවක්. ස්තුතියි ඒකටත්

      Delete