අප්‍රේල් 30 : ටෙනිස් තරගයක් අතරතුර මොනිකා සෙලෙස් පිහි ඇණුමකට ලක් වේ

1993 වසරේ අද වැනි දවසක ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා මොනිකා සෙලෙස් තරගයක් අතරතුර දී පිහි ඇණුමකට ලක් විය.
එවකට 19 හැවිරිදි වූ මොනිකා සෙලෙස් (Monica Seles) ඒ වන විටත් විස්මයජනක ලෙස ලෝක කාන්තා ටෙනිස් පිටියේ අණසක තමා නතු කරගෙන සිටියාය. ඇය ඒ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරතා 8 ක ද එක් අනු සූරතාවක ද හිමිකාරිය වන්නීය. එහි ප්‍රංශ විවෘත සූරතා 3 ක් , ඕස්ට්‍රේලියානු විවෘත සූරතා 3 ක් සහ ඇමරිකානු විවෘත සූරතා 2 ක් විය. එක් විම්බල්ඩන් අනු සූරතාවක් ද විය. සෙලෙස් වයස අවුරුදු 16 ක් වැනි ලාබාල වයසක දී 1990 ප්‍රංශ විවෘත සූරතා දිනා ගැනීමට සමත් වූ අතර 90,91,92 යන වසර වල දී පිටපිටම ප්‍රංශ විවෘත සූරතාව දිනා ගන්නීය. 91,92 වසර වල දී පිට පිටම ඕස්ට්‍රේලියානු විවෘත සූරතාව සහ ඇමරිකානු විවෘත සූරතාව ද දිනා ගනිමි මොනිකා සෙලෙස් ලෝක ටෙනිස් ඉතිහාසය අලුතෙන් ලියමින් සිටියාය. එවකට ඇයගේ ප්‍රධානතම ප්‍රතිවාදිනිය වන්නේ ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ් ( Steffi Graf)ය.
පිහි පහරකින් බිම හෙළූ විජයග්‍රාහී ගමන : මොනිකා සෙලෙස් 
1993 අප්‍රේල් මස 30 වැනිදා ජර්මනියේ පැවතියේ එම වසරේ Citizen Cup තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයයි. තරගාවලියේ පූර්ව ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක 1 ක්‍රීඩිකාව ලෙස මොනිකා සෙලෙස් ද අංක 2 ක්‍රීඩිකාව ලෙස ස්ටෙෆී ග්‍රාෆ් ද නම් කර තිබූ අතර ඔවුන් දෙදෙනා මුණ ගැසීමට නියමිත වන්නේ අවසාන මහා තරගයේ දී ය. මොනිකා සෙලෙස් සහ බල්ගේරියාවේ මග්දලීනා මාලිව් (Magdalena Maleeva) අතර පැවති තරගයේ පළමු වටය සෙලෙස් විසින් ජය ලබා දෙවැනි වටය ද 4-3 ක් ලෙස ඉදිරියෙන් සිටියාය. මේ මොහොතේ ක්‍රීඩිකාවන් දෙදෙනා හට කෙටි විරාමයක් ලැබිණ. ලෝක ටෙනිස් ඉතිහාසය වෙනස් වන්නේ ඒ මිනිත්තුවක ඉසිඹුව ඔස්සේය.
" මට වාඩිවුණා මතකයි. තුවායෙන් දාඩිය පිහ දැම්මා. ඒ එක්කම වතුර උගුරක් බොන්න ඉස්සරහට පාත් වුණා. විරාමය ඉවරවෙමින් තිබුණේ. තොල කටත් හොඳටම වේලිලා තිබුණ නිසා වතුර බොන්න ඕනේ කළා " පසුකාලීනව මොනිකා සෙලෙස් ඒ අමිහිරි මතකය එලෙස අවදි කළාය. " කෝප්පයේ කට මගේ තොල් වල ගෑවෙනවත් එක්කම මට පිටේ දරුණු වේදනාවක් දැනුණා " ඒ වේදනාව ගෙන එන්නේ ඇය ගේ පිට ප්‍රදේශයට එල්ල වූ පිහි පහරයි. " මම ඔළුව හරවලා මේ වේදනාව මොකක්ද කියලා බලනකොට දැක්කා බේස්බෝල් තොප්පියක් දාපු මිනිහෙක් මගේ දිහා නියවගෙන ඉන්නවා. ඔලුවටත් උඩින් අත් උස්සගෙන හිටිය ඒ මිනිහා අතේ දිග පිහියක්" සෙලෙස් තමා ගේ ප්‍රහාරකයා හඳුනා ගත් එ මොහොත විස්තර කරන්නීය " එක පාරටම මට ආයෙමත් පහර දෙන්න පැන්නා. මට හිතා ගන්න බැරි වුණා මේ මොනවද වෙන්නේ කියලා"
ටෙනිස් ඉතිහාසය වෙනස් කළ නිමේෂය : පිහි පහර 
ප්‍රහාරය එල්ල වන්නේ මුළුතැන්ගෙයි පිහියකිනි. තුවාලයේ ගැඹුර සෙන්ටිමීටර 1.5 කි. තුවාල ලද මොනිකා සෙලෙස් වහා ප්‍රතිකාර වෙත යොමු කරන ලද අතර ප්‍රහාරකයා වූ Günter Parche අත් අඩංගුවට ගැනේ. එවිට හෙළිවන්නේ ඔහු සෙලෙස් ගේ ප්‍රතිවාදිනිය වූ ස්ටේෆී ග්‍රාෆ් ගේ උමතු රසිකයෙක් බව ය. නමුත් සෙලෙස් නොමැතිව පවත්වන තරගාවලියේ අවසන් වටයේ දී ස්ටේෆී ග්‍රාෆ් ජය ලබන්නේ ද නැත. සෙලෙස් ගේ අන්තයෙන් පැමිණි ස්පාඥ්ඥයේ අරෙන්චා සන්චස් වකාරියෝ (Arantxa Sánchez Vicario) විසින් Citizen Cup සූරතාව දිනා ගන්නීය. සෙලෙස්ගේ මව්බිම වන යුගොස්ලෝවියාව ඒ වන විට දරුණු යුද්ධයකට පැටලී හුන් නිසා මේ ප්‍රහාරය දේශපාලනික ක්‍රියාවක් විය හැකියැයි මතවාදයක් ඇති විය. නමුත් වහා ඉදිරිපත් වන ජර්මානු රජය මේ ප්‍රහාරය උමතු රසිකයෙක් ගේ මානසික වියවුලක් පමණක් බව ප්‍රකාශ කළහ. අත් අඩංගුවට පත් වන Günter Parche වෙත දඬුවම් ලබා නොදී වසර දෙකක පරිවාස කාලයකට යටත් කරනේ ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන බව හෙළි වූ නිසාය.
ප්‍රාහාරයෙන් පසුව : ක්ෂණික ප්‍රතිචාර 
මේ සිදුවීමත් සමගම ක්‍රීඩක ආරක්ෂාව පිළිබඳ දැඩි ප්‍රතිපත්ති වලට එළැඹිමට ටෙනිස් තරග සංවිධායකයින් පියවර ගත්හ. මාස කිහිපයකට පසුව පැවති ප්‍රංශ සූරතාවලියේ කුසලාන ප්‍රදානය වෙනදා මෙන් නරඹන්නන් ඉදිරියේ නොපවත්වා පිටිය මධ්‍යයෙහි පැවැත්වීමට කටයුතු සැලසිණ. සාමාන්‍යයෙන් නරඹන්නන් දෙස ට පසුපස හරවා වාඩි වන ක්‍රීඩක ආසන එවර විම්බල්ඩන් සූරතාවලියේ දී විනිසුරුවන් ට ඉදිරියෙන් පෙළ ගස්වා තිබිණ. නමුත් මේ කිසිවක් මොනිකා සෙලෙස් ගේ කම්පනය පහ කරන්නට සමත් නොවේ. මාස කිහිපයක් ඇතුළත මුළුමනින්ම සුව ලැබුවද ඇය වසර 2 ට වැඩි කාලයක් ටෙනිස් පිටියෙන් දුරස් ව සිටියාය. තම ප්‍රහාරකයාට ජර්මානු රජය දඬුවම් නොකරනු දැක යළි කිසි දිනෙක ජර්මනියේ දී ක්‍රීඩා නොකරන බවට පිළිණ දුන්නාය.
මේ දක්ෂ ක්‍රීඩිකාවට තරගයක් අතරතුර සිදු වූ අනර්ථය නිසා ඇයගේ ක්‍රීඩා ජීවිතය බිඳ වැටෙන්නට ඉඩ නොදිය යුතුයැයි විචාරකයින් පවසන්නට විය. ලෝක ටෙනිස් සම්මේලනය මේ කරුණු සැලකිල්ලට ගෙන මොනිකා සෙලෙස් නැවත පිටියට අවතීර්ණ වන තෙක් ඇයගේ ශ්‍රේණිගත කිරීම අංක 1 ලෙසින්ම ( ස්ටෙෆී ග්‍රාෆ් හා සමව ) පැවතීමට යෝජනා කළහ. එමෙන්ම වසරකට තරගාවලි 12 ක් අවම වශයෙන් ක්‍රීඩා කළ යුතුය යන නීතියෙන් ඇයට සහනයක් ලබා දීමට යෝජනා කළහ. ලොව අංක 1-10 දක්වා වූ ක්‍රීඩිකාවන් සමග පැවති සාකච්ඡාවේ දී මේ යෝජනා ද්විත්වයටම එකඟ වූයේ ආර්ජන්ටිනාවේ Gabriela Sabatini පමණි. ස්ටෙෆී ග්‍රාෆ් ශ්‍රේණිගත කිරීම අංක 1 ලෙස සමව පැවතීමට එකඟ වූ නුමුදු අනෙක් යෝජනාව සෙලෙස් හට අනවශ්‍ය වාසියක් අත් කර දෙන බව පවසා ප්‍රතික්ෂේප කළාය. අනෙකුත් සියලුම ක්‍රීඩිකාවන් මෙම යෝජනා ද්විත්වයටම විරුද්ධ වන බැවින් මොනිකා සෙලෙස් ගේ ශ්‍රේණිගත කිරීම අංක 8 ලෙස නම් කිරීමට ලෝක ටෙනිස් සම්මේලනයට සිදු විය.
1994 වසරේ දී ඇමරිකානු පුරවැසි බව ලබන මොනිකා සෙලෙස් එම ධජය යටතේ ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරතාවක් සහ අනු සූරතා 3 ක් ද 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගන්නීය. පසු කාලීනව ක්‍රීඩාවෙන් සමුගන්නීය.
මොනිකා සෙලෙස් වසර තුනක් තුළ දී ලෝක ටෙනිස් ඉතිහාසයේ වර්ණවත් පිටු රාසියක් ලියමින් සිටියාය. එක් උමතු මිනිසෙක් ගේ පිහි පහරක් එම ඉතිහාසය ඉදිරියෙන් එල්ල විය.. ඇය ගේ ඉතිහාසය මදකට නැවතිණ. මොනිකා සෙලෙස් වසර ගණනකට පසුව නැවතත් ඉතිහාසය ලිවීම ආරම්භ කළාය. නුමුදු ඒ එක ඉතිහාස පිටුවක් වත් පෙර තරම් වර්ණවත් නොවීය. උමතු බව හමුවේ ක්‍රීඩාශීලිත්වය පරාජය විය. ටෙනිස් පිත්ත පරදවා මුළුතැන්ගෙයි පිහිය ජය ගත්තේය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment