විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන යනු අනූව දශකයේ අභිනව සිනමා ප්‍රවණතාව ඔස්සේ සාම්ප්‍රදායික රිදී තිරය වෙනස් මගකට හැරවූ නිර්මාණකරුවෙකි. සිහින දේශයෙන් (1996), මිල්ලේ සොයා (2004), මාතා (2012) යන සිනමා නිර්මාණ ත්‍රිත්වයට අනතුරුව බූඩි යළිත් වරක් කරළියට පිවිසෙයි. ඒ නිම්නයක හුදෙකලාව නම් වූ සිනමා නිර්මාණයද සමගිනි.
රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, සචිනි අයේන්ද්‍රා, සමනලී ෆොන්සේකා, සෞම්‍ය ලියනගේ, ජයලාල් රෝහණ, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි නළු නිළි කැලකගේ දායකත්වයෙන් එළිදකින නිම්නයක හුදෙකලාව ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ අවසාන රංග දායකත්වය ලෙස ඉතිහාසගත වේ. එමෙන්ම සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර සහ ජනප්‍රිය නිවේදක කිංස්ලි රත්නායකගේ ද කුළුඳුල් සිනමා රංගනය වන බූඩිගේ නවතම සිනමා පටයේ සංගීතය ලක්ෂ්මන් ජෝසප් ද සේරම් විසිනි. 2015 වසරේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙත්, 2016 වසරේ ඔකිනවා ජාත්‍යන්තර සිනමා උළෙලත්, 2016 වසරේම ජෝජා-නෙට්පැක් ආසියානු සිනමා උළෙලත් නියෝජනය කළ නිම්නයක හුදෙකලාව සමග ලාංකේය සිනමාවට යළි පිවිසෙන බූඩි ලක්බිම ඉරිදා සංග්‍රහය සමග කළ අදහස් දැක්වීමයි මේ.
# ඔබගේ නවතම සිනමා නිර්මාණය වන “නිම්නයක හුදෙකලාව “ මෙරට පළමු ඩිජිටල් සිංහල චිත්‍රපටය ලෙස හැඳින්වෙනවා. එය පැහැදිලි කළ හැකිද ?
ඔව්. නිම්නයක හුදෙකලාව තමයි ලංකාවේ මුල්වරට සිනමා තාක්ෂණයෙන් බැහැරව ඩිජිටල් තාක්ෂණයෙන් කරපු සිංහල චිත්‍රපටය. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවේ අද වෙනතුරුම ඩිජිටල් තාක්ෂණයෙන්ම කරපු එක චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වෙලා නෑ කියන එක. මේ චිත්‍රපටය තමයි මුලින්ම කළේ. ඒත් අපිට පස්සේ කරපු චිත්‍රපට අපට කලින් තිරගත වුණා. ඔය වගේ දේවල් මේ ක්ෂේත්‍රය ඇතුළේ වෙනවා. උදාහරණයක් විදියට "මිල්ලේ සොයා" තමයි ලංකාවේ මුල්ම වතාවට සරවුන්ඩින්ග් සවුන්ඩ්ස් තාක්ෂණයෙන් කරපු චිත්‍රපටය. ඒත්මිල්‍ලේ සොයාට කලින් ඒ තාක්ෂණයෙන් කරපු වෙන චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණා. ඒ නිසා නිම්නයක හුදෙකලාව කියන්නේ සිංහල සිනමාවේ ඩිජිටල්තා තාක්ෂණයෙන් කරපු මුල්ම චිත්‍රපටය විදියට හඳුන්වන්න පුළුවන්.
# 1996 වසරේ දී සිනමාවට පිවිසෙන බූඩි කීර්තිසේන සැලකිය යුතු මට්ටමේ අවධානයට පාත්‍ර වූ නිර්මාණකරුවෙක්. නමුත් ඔබ එක නිර්මාණයක් කරන්න ගන්න කාලය වැඩියි නේද?
ඒක ඉතින් මෙහෙම කියන්න පුළුවන්. මම "සිහින දේශයෙන්" හැදුවාම ඒ කාලේ ලංකාවේ විචාරකයෝ කිව්වා ඒක තමයි සිංහල සිනමාව වෙනස් කරපු චිත්‍රපටය කියලා. ඊට පස්සේ මම හැදුවේ "මිල්ලේ සොයා". ඒක ලංකාවේ පළමු වරට ශ්‍රී ලාංකික චිත්‍රපට කණ්ඩායමක් යුරෝපයට ගිහින් රටවල් අටක කණ්ඩායමක් එක්ක කරපු නිර්මාණයක්. "මාතා" කියන්නේ ලංකාවේ මුල්ම වරට කරන යුද චිත්‍රපටය. එහෙම බලනකොට මගේ අතින් ප්‍රමාණවත් දෙයක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. හරි ඇගයීමක් ලැබුණද කියන එක සහ වෙන රටක හිටියා නම් කොයි වගේ වෙයිද කියන එක වෙනම කාරණයක්. ඒත් වෙනස් දෙයක් කරන්න උත්සාහ කළා කියන හැඟීමම මට ප්‍රමාණවත්. තව කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.
# අනූව දශකයේ ලාංකේය සිනමාව වෙනස් කළ දෙවනි තරුණයා ලෙස ඔබව එකල විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවා. නමුත් ඔබගේ සිනමා රීතිය තේරුම් ගැනීම හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද ?
කතාවක් තියෙනවා කාලයට ඉස්සරහින් ගිහින් වැඩ කරනකොට මෙහෙම දේවල් වෙනවා කියා. හිතන්න මේ කාලේ හැමෝම අහන්නේ ලම්බාඩා සිංදුව කියලා. අපි එක පාරටම නදී ගංගා තරණයේ ගහනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. හැබැයි ටික කාලෙකින් හැමෝම නදී ගංගා අහනවා. එතකොට අපි මිරිඟුව පරදා ගහනවා. එතනත් වෙන්නේ ඒ ප්‍රතිඵලයමයි. මගේ නිර්මාණ ගැනත් ඔය මතය විචාරකයන් පළ කරනවා. මම ඒක හිතලා කරන්නේම නැති වුණත් මම ඒ චැලෙන්ජ් එකට ආසයි.
# “මාතා චිත්‍රපටය තේරෙන්නේ අද නෙමෙයි. තව අවුරුදු දහයකට වත් පස්සේ” කියලා ඔබ වරක් ප්‍රකාශ කළා. ඒ දක්වන්නේත් මේ අදහසමයි නේද?
"මාතා" චිත්‍රපටයේ තියෙන තාක්ෂණය මතෛක් අනෙක් යම් මට්ටමේ හෝ යුද්ධය ගැන තිබුණු සිනමා නිර්මාණවල තිබුණේ නැහැ. ඒ වගේම "මාතා" චිත්‍රපටයේ තිබුණු විෂුවල් ඉෆෙක්ට්ස් සහ ස්පෙෂල් ඉෆෙක්ට්ස් නිසා ඒ නිර්මාණය අදාළ කාලයට වඩා ඉස්සරහින් තිබුණු චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්.
# ඔබ පෙරදී සඳහන් කළා වගේම “සිහින දේශය” සහ “මිල්ලේ සොයා” හරහා කියවූ බූඩි කීර්තිසේන “මාතා” චිත්‍රපටය හරහා වෙනත්ම කියවීමකට ලක් වෙනවා. සිනමාවට දේශපාලනයෙන් වියුක්ත විය හැකියි කියලා ඔබ විශ්වාස කරනවාද?
චිත්‍රපට ඇතුළේ දේශපාලනය තියෙන්නම ඕනෑ නෑ. නමුත් "මිල්ලේ සොයා" ඇතුළෙත් දේශපාලනය තියෙනවා. ඒකේ තේමාව වුණු වීසා නැති යෞවනයේ කතන්දරය කියන තැනම දේශපාලනික කියවීමක් තියෙනවා. අනිත් එක මම හිතුවා ඒ චිත්‍රපටයේ තිබුණ " අපේ දවසක් එනවාමයි " සිංදුව වාමාංශික දේශපාලන ප්‍රවාහය ආදරෙන් වැළඳගනියි කියලා. ඒත් එහෙම වුණේ නෑ. එයාලා ඒක ප්‍රතික්ෂේප කළා. නිර්මාණයක් ඇතුළේ දේශපාලනයේ ස්වභාවය ඒකයි. නිර්මාණයක් ඇතුළට දේශපාලනය ඇතුළත් කළොත් සමහර වෙලාවට ඒ දේශපාලනයට කැමැති අය විතරක් නිර්මාණයට කැමැති වෙන එක ශ්‍රී ලංකාව වගේ රටක වෙන්න පුළුවන්. "මාතා" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම කළේ මම නෙමෙයි. ඒක මුළුමනින්ම දේශපාලනික වීම හරහා නිර්මාණයට වක්‍රාකාරව හානියක් වුණා. මම චිත්‍රපටය වෙනුවෙන් කරලා තිබුණේ වෙන ප්‍රචාරක පටයක්.
# ඔබ අත්හදාබැලීම්වලට නිර්භීතයි වගේම සෑහීමකට පත් වෙනතුරුම වෙනස්කම් කරන්නට නොපැකිළෙන නිර්මාණ කරුවෙක් කියලා හඳුන්වනවා. ඒ ඇයි?
මම තෘප්තිමත් වෙන්නේ නිර්මාණයක් කරන අවස්ථාවේදී මිසක් නිර්මාණය කළාට පස්සේ නෙමෙයි. ඒ නිසා මම නිර්මාණයක් කරන වෙලාවට ඒක පුළුවන් තරම් හොඳින් විඳිමින් කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට පිටපතක් නැතිව නළු නිළියන් ලවා අවශ්‍ය දර්ශන ගත්ත වෙලාවල් තිබුණා.
# අනූව දශකය වැනි යුගයක නිව්යෝර්ක් නගරයෙන් සිනමා උපාධියක් හිමිකරගත් ඔබ නැවතත් ලංකාවට පැමිණීමට පෙළඹවූ හේතුව කුමක්ද ?
මම සිනමාව හදාරන්න නිව්යෝර්ක් නගරයට ගියා තමයි. ඒත් ඒ යන්නේ ලංකාවේ සිනමාව අත්විඳලා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර, ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම සිල්වාගේ සෙවණැලි ඇද මිනිස්සු, ඩී.බි. නිහාල්සිංහගේ වැලිකතර වගේම ලෙනින් මොරායස් වගේ නිර්මාණකරුවන් මම හුඟක් රස වින්දා. "මිල්ලේ සොයා" හදනකොට මට ඕනේ කළේ :හතර දෙනාම සූරයෝ" වගේ හැඟීමක් දැනෙන්න හදන්නයි. එක විචාරකයෙක් චිත්‍රපටය බලලා එහෙම හැඟීමක් දැනුණා කිව්වම මට ලොකු තෘප්තියක් දැනුණා.
# බූඩි කීර්තිසේන චිත්‍රපට කරන්නේ සල්ලි තියෙන තාත්තා කෙනෙක් ඉන්න නිසාද ?
ඔබම සඳහන් කළා මම 1996 ඉඳන් අද වෙනකම් කරලා තියෙන්නේ චිත්‍රපට 4යි කියලා. එහෙම දෙයක් තියනවා නම් මම අවුරුදු දෙකකට එක චිත්‍රපටය ගාණේ හැදුවත් චිත්‍රපට දහයක් වත් හදන්න ඕනේ. මුල් චිත්‍රපට දෙක හදන්න තාත්තා උදව් කළාට බූඩි කීර්තිසේන චිත්‍රපට හදන්නේ බුද්ධි කීර්තිසේනගේ සල්ලිවලින්ම නෙමෙයි.
# නිර්මාණ ඇතුළේ කොතරම් වෙනස්කම් කළත් ඔබ “නිම්නයක හුදෙකලාවේ”දී පවා නළු නිළිවරණයේ දී, සංගීතයේ දී එකම පිරිසක් සමග ,එකම රවුමක කැරකෙන බවක් පේනවා. ඒ ඇයි ?
නිර්මාණය ඇතුළේ වෙනසක් කරන්න නම් ඒ වෙනස කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕනේ. මා එක්ක වැඩ කරන අය දන්නවා මට ඕනේ දේ. ඒ වගේම මම දන්නවා ඒ අයගෙන් ගන්න පුළුවන් උපරිමය. ඒ වගේම මම අලුත් අයවත් දායක කරගත්තා. හොඳම උදාහරණය රොජර් සෙනෙවිරත්නත් සිනමාවට එන්නේ මගේ 'සිහින දේශයෙන්' චිත්‍රපටයෙන්.
වෙනස් දෙයක් කරන්න උත්සාහ කළා කියන කාරණයම මට ප්‍රමාණවත්
ලක්බිම| 2017 මැයි 07 | මංජුසාව
http://www.lakbima.lk/oldpapers/daliylakbima/2017/May/last_07_05_17/manjusawa.pdf
ලක්බිම| 2017 මැයි 07 | මංජුසාව
http://www.lakbima.lk/oldpapers/daliylakbima/2017/May/last_07_05_17/manjusawa.pdf
ReplyDeleteනවය වසරේදී මාරිස්ටෙලා විද්‍යාලයේ සිට බුද්ධි කීරිතිසේන ( වර්තමානයේ යෙදුම අනුව බූඩි ) නාලන්දේ අපගේ පන්තියට අළුතින් ආවේය. බුද්ධි කීරිතිසේන ශරීර ප්‍රමාණයෙන් උස මහත වූවද වරක් මම ඔහු සමග ගෝරියක් දාගත්තෙමි. එහෙත් සාමාන්‍ය පෙළ විභාගය කිරීමටත් පෙර ඔහු නාලන්දාවෙන් අස්ව ගියේය. බුද්ධි කීරිතිසේන හෙවත් බූඩි තම නාලන් දා ඉතිහාසය ගැන කතා කරන්නට කැමති නැත. ඒ මන්ද යත් ඔහු සිංහල සිනමාවට අවතීර්ණ වූයේ කෙලින්ම ඇමරිකාවේ සිට යන කල්පිතය බිඳෙන නිසාදෝ විය හැකිය. එහෙත් 2008 වසරේදී මම බූඩිව දුරකථනයෙන් ඇමතුවෙමි.