විජ්ජුලතා සහ මේඝලතා


කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්‍රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු.▪️


මේඝලතා:-

අපි ඔක්කොම හිටියේ අන්ත:පුරේ. ඔව්! ඔව්! කාශ්‍යප රජ්ජුරුවොන්ගේ අන්ත:පුරේ. දැන් මෙහෙමනේ වෙන්නේ. අවුරුදු තුනකට පාරක් පරණ අය අයින් කරලා අලුත් සුරූපිකාවෝ ගන්නවනේ. ඉතිං අන්තිම සතියේ මාළිගාව ඇතුළේ සන්නසක් අරන් රාජ පුරුසයෙක් ගියා. ඒකෙ තිබ්බෙ පර්වතේ උඩ මාලිගාවෙ චිත්‍ර වගයක් අඳිනවා. ඒකට ඉන්න ලෑස්ති වෙන්න කියලා. එහෙ තිබ්බ වැඩ වල හැටියට ඕක මහා දෙයක්ද ? චිත්‍රෙකට හිටියා කියලා ගෙවෙනවැයි ? ඒත් මම නම් පිටින් අකැමැතියි වගේ පෙන්නුවා. විජ්ජුලතා එහෙමනම් එකපයින්ම කැමති වුණා. ඒකි කොහොමත් හිතන් හිටියේ එයා තමයි සුර දූතිකාව; අපි නිකංම නිකං වැටකෙයියා මල් කියලානේ. චිත්‍ර අදින වෙලාවට අපිට කරන්න තිබ්බ දේවල් විස්තර කරලා දෙන්න රාජ පුරුසයෙක් එවලා තිබ්බා. ඒ අයියා නම් හරි කඩවසම් අනේ. නිල් ඇස්, කැරළි කොණ්ඩේ. හිනා වෙද්දි කම්මුලක් වල ගැහෙනවා. සමහර විස්තර හරියට හිතට ගියෙත් නෑ එයා දිහා බලන් හිටපු නිසා.

විජ්ජුයි-මායි තමයි එක කවුළුවක චිත්‍රෙකට තෝර ගත්තේ. විජ්ජුගේ අතේ මොකක්ද හිරියක් තියෙනවා. මල් වට්ටිය අල්ලන් ඉන්න බෑ, 'දෝං' ගාලා බිම අතාරිනවා. අන්තිමට මට තැන මාරු කරන්න වුණා එයාගේ මළ දිස්ටි නිසා. මලක් අල්ලන් ඉස්සරහා බලන් ඉන්න කියලයි අපිට කියලා තිබ්බේ. ඒත් එයාගෙ දකුණු ඇහේ පිං වපරේ නිසා වම් පැත්ත විතරක් පේන්න හැරිලා ඉන්න වුණා. ඔය කිව්වට එයාගේ ඇති රන්වන් පාටක් නෑ අනේ. පිපිහළු වෙලා වගේ සුදුමැලියි.

අපිට කියපු විදියට නම් පරණ කෙල්ලො පන්සීය දම්මලා චිත්‍ර පන්සීයක් අදින්න උන්නේ. ඒත් ඉතිං ප්‍රාකාරෙ ළඟ ඉඳන් පහළ ඉන්න රාජ පුරුෂයින්ට , අශ්වාරෝහකයින්ට , ඇත් ගොව්වන්ට උකුළු මුකුළු කරන්න ගිහින් හතළිහක් විතර ගලෙන් පහළට දෙරි ගහලා මළානෙ අයියෝ. පර්වතෙන් බැහැලා පසල් ජනපද ගාණේ කරක් ගහලා තව රූප සුන්දරියෝ හොයං එන්නයැ ? අන්තිමට එක්කෙනාට චිත්‍ර දෙක, තුනකට ඉන්න වුණා. මම මල් වට්ටිය අල්ලන් හිටපු විදිහ කාශ්‍යප රජ්ජුරුවො ඈත ඉදන් කෑදර විදියට බලං හිටියාලු. හැබැයි මම නං කාශ්‍යප නෙමෙයි ධාතුසේන රජ්ජුරුවෝ කිව්වත් හැට්ටෙ ගලවලා සිතුවම්වලට ඉන්න කැමති වුණේ නෑ. ඒකටත් එක්ක අර උඩැක්කිය - විජ්ජුලතා. ඔය පේන්නෙ නැද්ද කියන්නත් කලින්ම හැට්ටෙ ගලවලා ඉන්න විදිහ. අන්ත:පුරේ හිටියට අපිට නම් ඔය අසෝබන වැඩ පුරුදු නෑ.
ඔයාට කියන්න... මගේ හමේ නිල් පාට ගතිය සිතුවමේ මතු කරන්න නිල් කටරොලු මල් පෙති කරත්ත ගණන් ගෙනාවාලු . ඔය මම දාගෙන ඉන්න ශීර්ෂ පළදනාව හැදුවේ පදම් කරපු හා හමකට ඈත මුහුදෙන් ගෙනාපු සිප්පික‍ටු අල්ලලා. ඒ ටිකේ අපිට එළිමහනේ ඇවිදින්න යන්න දුන්නෙත් නෑ හමේ පාට වෙනස් වෙයි කියලා. කොච්චරද කියනවා නම් බටහිර අගලෙන් දිය නාන්නවත් යන්න වුණේ නෑ. ඉතිං අපි ඔක්කොම මැද මාලිගාවේ රන් පොකුණෙන් නෑවා. සේවිකාවෝ මැටි සෙම්බු, කළගෙඩි අරන් ඇවිත් සුවඳ තලප එහෙම ඇගේ තවරලා ආවතේව කළා. මේනුකාව රන් පොකුණේ ගිලෙන්නෙත් ගියේ ඔහොම දවසක. ඒක වෙන බිසවක් හිතාමතා කරපු එකක් කියලත් කසු කුසුවක් ගියා. මේ අස් කරන්න සතියක් තියෙද්දි ගිල්ලෝලා මරලා මොනවා ගන්නද හැබෑට. පර්වතයේ බටහිර නෙරුමෙනෙ චිත්‍ර ඇන්දේ. අපිට ටිකක් එහායින් මල් වට්ටියක් අරගෙන හිටපු ස්වර්ණලතා එක්ක විජ්ජුලතාට මොකක්දෝ ආරෝවක් තිබ්බා. එයාගෙ මල් වට්ටියට ලස්සනම මල් ටික දාලා, මගේ මාලෙට වඩා එයාගෙ මාලෙ දිගයි වගේ චරු චුරු යාන්තමට වගේ මටත් ඇහුණා. චිත්‍ර ඇඳලා ඉවර වුණාම ඒ මල් වට්ටි අපිටම තියා ගන්න දුන්නා.
චිත්‍ර කෙරුවාවෙන් පස්සේ රාජ පුරුසයෝ එක්ක අපිව අස්ස කරත්තවල දාලයි ගම්, රටවල් බලා පිටත් කළේ. අන්න රජවරු!! මාලිගාවෙ ඉදන් බ‍ටුයායට අස්ස කරත්තෙන් යනවා කියනෙක ලේසි වැඩක්ද? පාර දෙපැත්තෙ මල් අරගෙන සෙනග පිරිලා හිටියා. මං ඒ හැමෝටම අත වැනුවා. ගොඩක් අය මල් පොකුරු වීසි කළානේ මට අල්ල ගන්න. මගේ හදවත සතුටින් පිම්බිලා තිබ්බේ. ගම්වල මිනිස්සුන්ට මම චිත්‍ර වලට හිටි වග කොහොම ආරංචි වුණාද මන්දා. ගමට ඇවිත් නිස්කාංසුවේ ඉන්න ලැබුණේම නෑ. කී දෙනෙක් නම් මගෙ අත ගන්න ආවද? එක සෙනෙවියෙක් මගේ අත ගන්න කැමැත්තෙන් නිතර, නිතර එන්න ගත්තා. අම්මෝ !! එවපු තෑගි කන්දරාව. මගේ නම් එයාට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ. ඒ වුණාට උන්දැ නියගලා අල කාලා මැරෙනවාය කියලා නටන්න තියාගත්ත නිසා මං ඔහේ කැමැත්ත දුන්නා. ඊට පස්සේ මම ‍අතට පයට දැසි, දස්සෝ පිරිවරාගෙන රැජිනක් වගේ ජීවත් වුණා. අර මල් වට්ටියත් අපේ ගෙදර තාම තියෙනවා.
ආ...විජ්ජුලතා ද ? එයාට අස්ස කුලප්පුව හැදුනනේ. ඒ කාලෙම නහය මුක්කන් රාජ පුරුසයෙක් එක්ක ඔය පිදුරංගල දිහාට වහං වුණා. හේනක් වවාගෙන, ළමා, ළපටි රාසියක් එක්ක හොදටම වැහැරිලා ඉන්නවා කියලා අපේ දාසයෙක් කිව්ව. ඒ කාලෙම මම ඔය ටික එයාට කිව්වා. එයාට ඉතිං අං ඇවිල්ලනේ තිබ්බේ. සමයං!


----------------------------------------------------------------------------

විජ්ජුලතා : -
අපෝ මතක් කරන්න එපා ඔය දහජරා චිත්‍ර ටික. මොන නව නිංගිරාවක් ද මට වුණේ. අර කාශ්‍යප මගෙන් පළි ගන්නනේ ඕක කළේ. ඔව්!ඔව්! ඔහෙලා ඔය මහ උජාරුවෙන් අගේ කරන රජ්ජුරුවො තමයි. දැන් මෙහෙමයි. ඔටුන්න හිමි මුගලන් කුමාරයා මාව තමයි අග බිසව කරගන්න උන්නේ. කාශ්‍යප තක්කඩි කමෙන් නොවැ රජ වුණේ. නැත්නම් පල්ලව වංසේ ගෑනුන්ට ඉපදුණු කාශ්‍යප වගේ උන්ට රජකම් දෙනවද මේ රටේ ? මුගලන් කුමාරයා වහං වෙලා උන්නු කාලේ කාශ්‍යප ආවා මාව දැපනේ දාගන්න. කොහොමත් ඒ කාලේ වෙනකොට මගේ රූපශ්‍රියාව අසල්වාසී රටවල්වලටත් ආරංචි වෙලා තිබුණේ. උපන් නැකතේ තියෙන රාජ යෝගය ගැන දන්න නිසා මම වගේ කුමාරිකාවක් කරකාර ගත්තම කාශ්‍යපට රට වැසියො මෙල්ල කර ගන්න ලේසියිනේ. හහ් ! ඒවා කොහෙද මා එක්ක ? මම එකහෙළාම කිව්වා මුගලන් කුමාරයා ඇරෙන්න වෙන පුරුසයෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතය කියලා. අන්තිමට මේක තමයි මට දුන්නු දඬුවම.
කොහෙ හිටිය අන්ත:පුර බිසව්ද අනේ ? කාශ්‍යප ඔය ගල් පර්වතේ උඩ ලගින්න කලින් ඇන්න ආපු කල්ලකඩත්ත ගෑනු කීපදෙනෙක් නම් හිටියා තමයි. ඒ ඇරෙන්න මොන ගෑනිද ඔය වගේ හිතක් පපුවක් නැති මිනිහෙක්ට කැමති ? දන්නවනේ ඔය මිනිහා පිය රජ්ජුරුවන්ව මරපු හැටි. අනික මම දන්නෙ නෑ මේඝලතා කියලා කුමාරිකාවක් . අහ්හ් ! අර දැලි වළඳක් වගේ කළු සක්කරවට්ටමද ? මොකක්ද ඒ කියපු නම ? මේඝලතා ? හහ් .. හහ් .. හා .. ඔය අපේ මාලිගාවේ හිටපු දාසිය රනී. ඕකිගේ ලතාවක් කියලා තිබ්බා නම් ඉතිං ඔය මිනිහෙක්ව දැක්කම දාන ලතාවම විතරයි. හත් අවුරුද්දකින් නොනෑ කළුම කළු දෑවකටනේ මේ මහප්පරාණ නම් දාලා තියෙන්නේ.
ඔය විකාර නවත්තලා මම කියන එක හරියට අහගන්නකෝ. කාශ්‍යප මේ ඔක්කොම කළේ මම උන්දැව ප්‍රතික්ෂේප කරපු වයිරෙට. නැත්නම් අනේ මම වගේ කුමාරිකාවක්ව අර වගේ දාසියක් එක්ක සමතැන තියලා චිත්‍රයක් අඳියිද ? වෙනදා එළදෙන්නු වගේ බුරුල්ල එළියේ දාගෙන හිටපු දාසියට රෙද්දක් අන්දවද්දිත් මට තේරුණේ නැති හැටි? රනී නම් තන්තෝසේ වැඩි කමට නිල් වෙලා හිටියේ. ඉගිලුණේ නැති ටික විතරයි. උඩට රෙද්දකුත් ඇඳගෙන කුමාරිකාවත් එක්ක සමෝසමේ චිත්‍රෙකට හරි ඉන්න කොහෙ තිබ්බ වාසනාවක්ද ? හොඳට බලන්න , මම පැත්තට හැරිලා ලැජ්ජාවේ ඉද්දි ඒකි සිරික්කිය දාගෙන ඉන්න හැටි.
චිත්‍ර පන්සීයක් ඇන්දා කියලා කවුද කිව්වේ ? අර වළ පයයි ගොඩ පයයි තියාගෙන උන්නු නාකි සිත්තරා කවදා අඳින්නද එහෙව් රාසියක් ? අනේ ඒ වුණාට ඒ උන්දැ නම් හරිම කරුණාවන්තයි. හරිම ගෞරවයෙන් යටහත් පහත්ව කතා කළේ. මගේ තරාතිරම මොකක්ද කියලා දන්න නිසාම මා දිහා කෙළින් බැලුවෙත් නැති තරම්. ඒකටත් එක්ක අනිත් හිටපු තේඋඩිච්චියෝ ටික ! රෑ තිස්සේ මධු පානය කරන ඒ ගෑනුන්ටත් ඕනේ වුණා උන්ගේ රූපේ සිතුවම් කරගන්න. ඒක නිසා තමයි මගෙයි දාසියගෙයි රූපෙට අමතරව තව එක එක නෑම්බියන්ගේ රූප ඔතන තියෙන්නේ ? කාශ්‍යපට ඕනේ වුණා අපේ මුළු ඇඟම අඳින්න. ඒත් මගේ වෙලාවට හැම එකීගෙම කකුල් ඉදිමිලා තඩිස්සි වෙලා තිබ්බේ. නෙරෙංචි කටු ඇනගෙන ගල් දෙබුක්කාවල් අස්සෙන් ඔය තරම් දුරක් උඩට ඇවිද්දම මොන ඉස්තිරියටද දරා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය සිතුවම්වල උඩ කොටස විතරක්ම තියෙන්නේ.
චිත්‍ර ටික ඇඳලා ආයෙමත් මාව හිරකරලා තිබ්බා. අනිත් ගෑනු නම් රාජ පුරුසයෝ එක්ක පවා කොමල කර කර උන්නා. ඔක්කොටම හපං අර රනී. ඒ දවස් කීපයට ඒකි නටපු නාඩගම්වල හැටියට ඔය ගල් පර්වතේ පැලෙන්නේ නැතිව බේරුණු එකනේ පුදුමේ. අන්තිමට කාශ්‍යප මාව එක්කං ගිහිං ඒ චිත්‍ර ටික පෙන්නුවා. අනේ දෙයියනේ . මගෙ බඩ පපුව දාලා අළු වෙලා ගියා නොවැ. උඩු කයට හැට්ටයක් ඇඳගෙන හිටපු මගේ චිත්‍රවල උඩුකය සම්පූර්ණෙන්ම නිරුවත් කරලා. අර වනචර ගෑණු තං එළියට දාගෙන ඇඳපු සිතුවම්වලට මගෙ මූණ දාලා. හොඳට බලන්න. ඔය චිත්‍ර කීපයකම එකක් උඩින් එකක් ඇඳපු පරණ රේඛා තාමත් ඇති. අර සිත්තරා මට මූණ දෙන්න බැරිව බිම බලාගෙනයි උන්නේ. මට කේන්තිය ඉහලුම් නැතිව ගියා.
මෙන්න ඒ අතරේ කාශ්‍යප ආයෙමත්ම කියපි මට උගේ අගබිසව වෙන්න කියලා. මම ඒ යෝජනාවට කැමති උණොත් මේ චිත්‍ර ටික විනාශ කරලා දානවා කියලා ඌ කිව්වා. මම කාශ්‍යපගේ මූණටම කෙළ තැම්බක් ගැහුවා. ඔව් ! මේ මම තමයි. ඊට පස්සේ මුළු පර්වතේටම ඇහෙන්න කිව්වා " මුගලන්ට හැරෙන්න වෙන ඕනෙම රජෙක්ට ලැබෙන්නේ විජ්ජුලතා ගේ මළකඳ තමයි " කියලා. එහෙම කියපු මම එක මොහොතක් නොඉඳ බටහිර නෙරුමෙන් පැනලා මගේ මුගලන් කුමාරයා වෙනුවෙන් දිවි දුන්නා. මම වගේ කුමරි බඹසර රැකගත්ත වංශවත් කුමාරිකාවට මේ කැපකිරීම මහ දෙයක් නෙමෙයි.
මේඝලතා ? අහ්හ් .. රනී ද ? ඒකිට හුස්ම වැටෙනවානම් පාංකඩයක් හරි කමක් නෑ අනේ. කිසිම අංගපුලාවක් නැති එකීනේ. පොකුණේ දිය සෙවල අයින් කරන්න උන්නු එකැස් පොට්ට කේඬෑරි සේවකයෙක් එක්ක රනී වහං වුණා. මට මතක විදියට මම දිවි තොර කරගන්න කලින්දා වෙන්න ඕනේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. ඇත්ත වෙන්න බැරිකමක් නෑ.

    ඒකාලෙත් මැනුවල් ෆොටෝශොප්

    ReplyDelete
    Replies
    1. ඔව්. මහා බරපතල ප්‍රශ්න වලට කොන්ස්පිරසි තියරි ගේනවට වඩා පොඩි දේවල් වලට ඇප්ලයි කරන එක පොඩි ගැම්මක් තියෙනවා :D

      Delete
  2. මේක මරු. මෙහෙමත් වෙන්න පුළුවන් තමා.

    ReplyDelete
    Replies
    1. හ හා ... විය නොහැක්කක් නොමැත :D

      Delete