අප්‍රේල් 10 : ඇමරිකා - චීන ශීතල යුද්ධය නිමා කරමින් Ping-pong Diplomacy ක්‍රියාත්මක වෙයි



1971 වසරේ අද වැනි දවසක ඇමරිකා-චීන ශීතල යුද්ධය නිමා කරමින් Ping-pong Diplomacy හෙවත් මේසපන්දු උපාය ක්‍රියාත්මක විණ.
එහි ප්‍රතිඵලයක් ලෙස 1971 වසරේ අප්‍රේල් 10 වැනිදා ඇමරිකානු මේසපන්දු කණ්ඩායම දින දහයක සංචාරයක් සඳහා චීනයට පැමිණෙන්නේ ලෝක ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමිනි. මාර්තු 28 සිට අප්‍රේල් 07 වැනිදා දක්වා ජපානයේ නගොයා හි පැවති ලෝක සූරතා මේසපන්දු තරගාවලියේදී චීනයෙන් ඇරියුම් ලබන ඇමරිකානුවන් දින තුනකින් පසුව චීනය වෙත ළඟා විය. ඒ 1949 මඕ සේදුන්ග් ගේ කොමියුනිස්ට් විප්ලවයෙන් පසුව චීනයට නිල වශයෙන් සංචාරය කළ පළමු ඇමරිකානු කණ්ඩායමයි. චීන - ඇමරිකානු උණුසුම පහ කළ ශීතල යුද්ධයේ ශීතල පළවා හැරි ක්‍රීඩාව හරහා ක්‍රියාවට නැංවුණු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයයි.
ඇමරිකාව චීනයට 
එය සිනමා පටයක් බඳු සිදුවීමකි. දෙරටක සබඳතා සඳහා දොරටු විවර වන්නේ ජපානයේ නගොයා හි පැවති ලෝක සූරතා මේසපන්දු උළෙල අතරතුර සිදු වූ අත්වැරදීමක් හේතුවෙනි. දහනම හැවිරිදි ඇමරිකානු ක්‍රීඩක ග්ලෙන් කොවන් (Glenn Cowan) පුහුණුවීම් අවසානයේ ඇමරිකානු කණ්ඩායමේ රථය යැයි සිතා ගොඩවන්නේ චීන කණ්ඩායම රැගත් බස් රථයට ය. රතු පැහැයෙන් සැරසුණු චීන ක්‍රීඩකයින්, මේ හිසකෙස් වවාගෙන හිපි ආරට සිටි ඇමරිකානුවා දෙස බලන්නේ සැකමුසුව ය. නමුත් ලෝක සූර චීන කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා ෂුවාන් සේදුන්ග් (Zhuang Zedong) වහා ඉදිරිපත් වේ. ග්ලෙන් කොවන් හට අතට අත දී මිත්‍රශීලීව පිළි ගන්නා සේදුන්ග් චීනයේ හ්වන්ග්ෂාන් කඳුවැටියේ රුව රැගත් සේද සිතුවම්ක් ද තෑගි කළේ ය. පසු දින ග්ලෙන් කොවන් පැමිණ සේදුන්ග් වෙත ටී ෂර්ටයක් තෑගි කළේය. එහි Beatles කණ්ඩායමේ ගී පදයක් වන Let It Be යන්න සහ සාමයේ සංකේතය මුද්‍රණය කර තිබිණ. එතැන් සිට තරගාවලිය පුරා දෙකණ්ඩායම් මිත්‍රශීලිව කතා බස් කරන අයුරු දක්නට ලැබිණ.

පිංපොං බෝලයේ දේශපාලනය 
ලෝක සූරතා උළෙලට පසුව ඇමරිකානුවන් හට චීනයට පැමිණෙන්නට ඇරියුම් ලැබෙන්නේ මේ හටගත් අහඹු මිතුදම නිසා වුවද ඒ පිටුපස අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් වූ දේශපාලනික අවශ්‍යතා රැසක් ද විය. 1949 කොමියුනිස්ට් විප්ලවයෙන් පසු චීනය සහ බටහිර රටවල් අතර ශීතල යුද්ධයක් හටගෙන තිබිණ. කොමියුනිස්ට් පිලේ රටවල් සහ ධනවාදී රටවල් අතර පැවතියේ නුරුස්නා බවකි. තම කලාපයේ දුර්වල රටවල් ද පාලනය කරමින් චීනය ගෙනියන කොමියුනිස්ට්මය ආවරණය එකල හැඳින්වූයේ Behind the Bamboo Curtain ලෙසිනි. ඒ වන විට සෝවියට් දේශය චීනයේ මිත්‍රපාක්ෂික රටක් සහ ඇමරිකාවේ සතුරු කඳවුරක් ලෙස පැවතිණ. දේශ සීමා ගැටළු වලදී සෝවියට් දේශය ක්‍රියා කළ ආකාරය පිළිබඳව චීන රජය බලවත් කළකිරීමකට පත්ව තිබිණ. ඉන් අනතුරුව චීනය තම සහාය පිණිස සෝවියට් දේශයේ සතුරා වන ඇමරිකාවේ සහාය සහ මිත්‍රත්වයේ දෑත පතන්නට වූ අතර දෙපාර්ශවයම ලිපි හුවමාරු කරගනිමින් සිටි බව පැවසේ. දෙරටටම එකිනෙකා සමග සම්බන්ධ වන්නට වුවමනා ව තිබූ අතර , පිං පොං බිමේ සිදු වූ සිදුවීම අඬන්නට සිටි චීනයට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

මහපවුරෙන් මෙතෙර වූ ඇමරිකාව 
මේසපන්දු උපාය සාර්ථක වූ අතර 1971 මස ජූනි 10 වැනිදා ඇමරිකාව විසින් චීනයට එරෙහිව පනවනු ලැබ තිබූ නෞරෝධන නියෝගය හෙවත් නැව් වැරුම ඉවත් කරන ලදි. 1972 පෙබරවාරි මස 28 වැනිදා ඇමරිකානු ජනපති රොබර්ට් නික්සන් ෂැංහයි වෙත පැමිණි අතර ඇමරිකා - චීන සබඳතා පිළිබඳ ෂැංහයි ප්‍රකාශය ද නිකුත් විය. එම වසරේම අප්‍රේල් මාසයේ දී ෂුවාන් සේදුන්ග් ප්‍රමුඛ චීන මේසපන්දු කණ්ඩායම ඇමරිකාවේ සංචාරයක නිරත විය. මේ අතර චීනය මේසපන්දු හරහා අනෙකුත් රටවල් සමගද සම්බන්ධ වීමට උත්සාහ කළත් ඉන්දුනීසියාව එය ප්‍රතික්ෂේප කළේ ඇරියුම පිළිගැනීම තුළින්ම චීනයේ ප්‍රතිරූපය ඉහළ නැංවෙන බව පවසමිනි. ඒ හැරෙන්නට ඇමරිකානු කණ්ඩායම සංචාරය කළ පසු අදාල කාලවකවානුව තුළ සෝවියට් දේශයේ කිසිදු ක්‍රීඩකයෙක් හෝ මාධ්‍යවේදියෙක් චීනයට පය නොතැබීමට වග බලා ගත්හ.
පිං පොං හරහා දේශපාලනික ඉතිහාසයක් බිහිකළ චීන ක්‍රීඩක ෂුවාන් සේදුන්ග් 2013 වසරේ දී පිළිකාවකින් මිය යන විට හැත්තෑ දෙහැවිරිදි විය. අත් වැරදීමකින් චීන බස් රථයට ගොඩ නැගුණු 19 හැවිරිදි ඇමරිකානු හිපියා ග්ලෙන් කොවන් මිය යන්නේ 2004 දී ය. පනස් දෙහැවිරිදි ඔහු බයිපාස් සැත්කමකට පසුව හෘදයාබාධයකින් මිය ගියේය. ෂුවාන් සේදුන්ග් 2007 වසරේ දී ඇමරිකාවේ සංචාරයක් අතරතුර ග්ලෙන් කොවන් ගේ මව මුණ ගැසී තම ශෝකය පළ කළේය. 1972 ඇමරිකානු සංචාරයෙන් පසුව ග්ලෙන් කොවන්ව දකින්නට නොලැබීම තම ජීවිතයේ විශාලතම පසුතැවිල්ල යැයි පැවසීය.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: