මාර්තු 25 : ජෝන් ලෙනන් තම බිරිඳ සමග Bed -In සාමකාමී විරෝධතාව දියත් කරයි


1969 වසරේ අද වැනි දවසක ජෝන් ලෙනන් තම බිරිඳ යොකෝ ඔනෝ සමග වියට්නාම යුද්ධයට එරෙහි Bed -In සාමකාමී විරෝධතාව දියත් කළේය.
1969 මාර්තු මස 20 වැනිදා ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ විවාහප්‍රාප්ත වූහ අතර නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩැම් හි හිල්ටන් හෝටලයේ කාමර අංක 702 යනු ඔවුන්ගේ මධුසමය ගත වන ස්ථානය ය. ඔවුන් එම මාර්තු මස 25 සිට 31 වැනිදා දක්වා පෙ.ව. 09.00 සිට ප.ව. 09.00 දක්වා කාලය තුළ තම හෝටල් කාමරය වෙත පැමිණෙන ලෙස මාධ්‍ය වෙත ඇරියුම් කර තිබිණ. ඒ අනුව සියලුම මාධ්‍ය කරුවන් මේ නව මංගල යුවළගේ මධුසමය ගතවන කාමරය වෙත ඇදෙන්නේ තවත් උණුසුම් සහ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තාකරනු අටියෙනි.
දේවදූතයන් සේ සාමකාමීව ; ලෙනන් සිතූ ලෙස 

මෙම කුතුහලයට හේතු වන්නේ මෙයට පෙර ලෙනන් සහ ඔනෝ දායකත්වය සැපයූ සිමා විරහිත කලා ප්‍රකාශනයන් වල ස්වරූපය ය. විවාහ වීමට පෙර , එනම් 1968 වසරේදී .Two Virgins යන ගීත ඇල්බමයේ කවරය සඳහා භාවිත කරන්නේ ඔවුන් දෙදෙනාගේ ම නිරුවත ය. ඇල්බමයේ ඉදිරිපස කවරය සඳහා ලෙනන් සහ ඔනෝ නිරුවතින් සිටගෙන සිටින සේයාරුවක් භාවිත කරන අතර පසුපස කවරය සඳහා එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ පසුපසින් ගත් නිරුවත් සේයාරුවක් යොදාගෙන තිබිණ. මේ සේයාරූ වැසෙන්නට දුඹුරු පැහැ කඩදාසියකින් අමතර ආවරණයක් යොදා වෙළඳ පොළට නිකුත් කරන්නට වූ Two Virgins ඇල්බමය අශ්ශීල නිර්මාණයක් යැයි නොයෙක් චෝදනා ද නැගිණ. විවිධ ප්‍රදේශ වල දී නෛතික තීන්දු මත පිටපත් පරිරෝධනය වන මට්ටමට එම විරෝධතාව බලවත් වුවද ඇල්බමය සහ කවරය සඳහා වූ මහජන අවධානය පරිරෝධනය කිරීමට කිසිම බලවේගයකට නොහැකි විය.
Two Virgins : කලාත්මක නිරුවත සහ ආන්දෝලනාත්මක පිටකවරය
එබඳු ඉතිහාසයක් ඇති ලෙනන් සහ ඔනෝ යුවළ මධුසමය ගතකරන අතරතුර හෝටල් කාමරයටම මාධ්‍ය කැඳවන කල්හි බොහෝ දෙනා උපකල්පනය කර තිබුණේ වැරදි අදහසකි. නමුත් හෝටල් කාමර අංක 702 වෙත යන ඔවුන්ට දක්නට ලැබෙන්නේ සයනය මත පිජාමා ඇඳුමෙන් සැරසීගෙන ශාන්ත දාන්තව , ජෝන් ලෙනන් ම පසුකාලීනව හැඳින්වූ පරිදි " දේවදූතයින් සේ " බලා සිටින නව යුවතිපති යුවළ ය. ඔවුන් එසේ හිඳ අදහස් හුවමාරු කරන්නේ සාමය පිළිබඳව ය. ඇඳට උඩින් පුවරු දෙකකි. එහි Hair Peace සහ Bed Peace සඳහන් වී තිබිණ. මේ Bed -In විරෝධතාව පුරා සතියක් තිස්සේ නොකඩවා පැවැත්විණ. ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ වී තිබුණේ යුද්ධය ට එරෙහිව ත් සාමයට පක්ෂව ත් නවමු ආකාරයක සාමකාමී විරෝධතාවක් වඩාත් නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීමය . මන්ද යත් ඒ යුගය වියට්නාම යුද්ධයේ අමානුෂික ම සහ ප්‍රවේගකරම කාලවකවානුව වී තිබූ බැවිනි.
ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ : යුද ගිනි මැද මනුෂ්‍යත්වයේ සුවඳ සොයා 

ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ ලොව ඉදිරියේ දී නිරුවත් වන්නේ කලාව උදෙසා ය. දේශපාලනික අදහස් ප්‍රකාශය උදෙසා ඔවුන් විරෝධතාව සඳහා ඔවුන් තෝරාගන්නේ නව වේදිකාවකි. යුද්ධය සහ පිළිමළුන් මැඩීමට එරෙහිව ඔවුන් විරෝධය පළ කළහ. කලාව වෙනුවෙන් නිරුවත් වූ නුමුදු දේශපාලනය යන විෂයයේ දී කිසිදිනෙක නිරුවත් නොවූහ. එසඳ පිජාමා ද හැඳ සයනාරූඩව දේවදූතයින් සේ සංවරව හැසිරුණ හ.
නමුත් අපි දකින්නේ මෙයට සහමුලින්ම වෙනස් වාතාවරණයකි. මෙය පුද්ගලික අභිවෘද්ධිය උදෙසා පිජාමා හඳින , යුද්ධය ට පිළිමළුන් මැඩීමට ආවඩන , අවසන දේවදූතයන් ලෙස හැසිරෙන මනුෂ්‍ය කොට්ඨාසයකි. දේශපාලන විෂයයෙහි සදාකාලිකවම සළු පිළි උණා දමා නිරුවත් වන පුද්ගලික වැරදි වසා ගන්නට නිරුවතින් මාධ්‍ය කැඳවන ජනතා නියෝජිතයින් ය. පිටකවර දහසක් යොදා හෝ වසාලන්නට නොහැකි ඒ නිරුවත ඉදිරිපස , පිටුපස පමණක් නොව කුමන දිශාවකින් බැලූවද පෙනෙන බව ඔවුන් නොදනිති.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. සුපුරුදු පරිදි නියම ලිපියක්.
    ජය !

    ReplyDelete
  2. ආ දැං කමෙන්ට් කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ගිය සතියේ හැදුවේ අයියේ - ග්‍රීක් වගේ මේ සෙටිංස්. තේරෙන්නෙම නෑ

      Delete