මාර්තු 27 : මාලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරයි


1973 වසරේ  අද වැනි දවසක සුපිරි හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝ තමාට හිමි වූ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළේය.
එම 45 වැනි ඇකඩමි සම්මාන උළෙල පැවතුණේ 1972 වසර සඳහා ය. හොඳම නළුවා සඳහා නිර්දේශිත නම් අතර The Godfather චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ ගේ නම ද සඳහන් විණි. එවකට නෝර්වීජියානු නිළියක වූ ලිව් උල්මන් (Liv Ullmann) විසින් ජයග්‍රාහකයාගේ නම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් විය. The winner is ......... මුද්‍රා තැබූ ප්‍රතිඵල සටහන විවර කෙරිණි. Marlon Brando in The Godfather ......."ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ" යන නම ප්‍රකාශ වෙනවාත් සමගම සභාවේ ප්‍රීතිඝෝෂා නැගෙන්නට විය. සභාව අතරින් නැගී සිටියේ ඇමරිකානු ස්වදේශික සම්භවයකින් යුතු නිළියක වන සචීන් ලිට්ල්ෆෙදර් ය.(Sacheen Littlefeather) ඇය තම ස්වදේශික ගෝත්‍රය නියෝජනය කරන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද සැරසී සංසුන්ව වේදිකාව මතට පිවිසෙන්නීය. බ්‍රිතාන්‍ය නළු රොජර් මුවර් (Roger Moore) ඉදිරිපත් වී ඇය වෙත මාලන් බ්‍රැන්ඩෝ ගේ සම්මානය පිරිනමන නුමුදු ඇය එය භාර නොගනී. 
එපා යැයි අතින් සන් කරන සචීන් ලිට්ල්ෆෙදර් මයික්‍රෆෝනය ඉදිරිපස තම හඬ අවදි කරයි.
Sacheen Littlefeather | සචීන්  ලිට්ල්ෆෙදර්  : ලේ ගලන ස්වදේශික හදවත 

Hello. My name is Sacheen Littlefeather. I'm Apache and I am president of the National Native American Affirmative Image Committee. ....... 
" හෙලෝ ! මම සචීන් ලිට්ල්ෆෙදර්. මම (අ)පැචී රතු ඉන්දියානු ගෝත්‍රිකයෙක්. එමෙන්ම ජාතික ස්වදේශික ඇමරිකානු සත්‍යාර්ථ ප්‍රතිරූප කමිටුවේ සභාපතිනියයි" දුක්මුසු ස්වරයකින් කථාව අරඹන ඇය තමන් මාලන් බ්‍රැන්ඩෝ නියෝජනය කරමින් පැමිණි බවත් ඔහු තමාට ලබා දුන් දීර්ඝ කතාව කාලවේලාව මද බැවින් ඉදිරිපත් කිරීම අපහසු බවත් දන්වා සිටියාය. අනතුරුව ඇය පැවසුවේ මෙවැනි උදාර සම්මානයක් භාර ගැනීමට නොහැකි බව බ්‍රැන්ඩෝ කණගාටුවෙන් වුවද දන්වා සිටි බව ය.
"එයට හේතුව වන්නේ අද සිනමා ක්ෂේත්‍රය විසින් ඇමරිකානු ස්වදේශික ජනතාවට කරනු ලබන සංග්‍රහයයි" හිස ඔසවා සභාව දෙස බලා එලෙස තෙපලූ සචීන් හිස නැඹුරු කර "කණගාටුයි" යනුවෙන් තෙපලුවාය. එසැණින් සභාව මධ්‍යයෙන් අත්පොළසන් සහ ඝෝෂා ඇසෙන්නට විය. "ඒ වගේම රූපවාහිනිය විසින් ඒ චිත්‍රපට , වූන්ඩඩ් නී යේ (Wounded Knee) මෑතකදී සිදු වූ සිදුවීම් නැවත නැවතත් ප්‍රදර්ශනය කරයි" එසේ පවසන ඇය මේ සන්ධ්‍යාව ට බාධා කරන්නට කිසිදු අරමුණක් නොමැති බව පවසන්නීය. අප හදවත් සහ අවබෝධතා මුණගැසෙන්නේ එකිනෙකා කෙරෙහි වූ ප්‍රේමය සහ උදාරත්වය සමගයැයි තෙපළන්නීය. අනතුරුව මාලන් බ්‍රැන්ඩෝ වෙනුවට සුභ පතන සචීන් ලිට්ල්ෆෙදර් වේදිකාවෙන් බැස යන්නීය.
The Godfather : සම්මානයෙන් අවසඟ හෘද සාක්ෂිය  
මාලන් බ්‍රැන්ඩෝ මීට පෙර සිව් වතාවක් , එනම් 1951 - A Streetcar Named Desire , 1953 - Julius Caesar , 1954 - On the Waterfront , 1957 - Sayonara වසර වල දී හොඳම නළුවා සඳහා ඔස්කාර් සම්මානයට නිර්දේශ වී සිටි අතර 1954 දී On the Waterfront සඳහා සම්මානය හිමි වූයේ ඔහුට ය. දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව වසර දහසයකට පසුව ඔහු 1972 වසර සඳහා සම්මානයට පාත්‍ර වුවද එය ප්‍රතික්ෂේප කරන්නට තරම් සංවේදී සහ නිර්භීත සිත් ඇත්තෙක් වන්නේය. 1972 වසරේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව 1973 දී ද යළිත් වරක් සම්මානයට නිර්දේශ වන නමුදු ඔහුට එය හිමි වන්නේ නැත. ඉනික්බිති  2001 වසරේ අවසාන සිනමා නිර්මාණය දක්වාම බ්‍රැන්ඩෝ කිසි දිනෙක ඔස්කාර් සම්මාන උළෙලක හොඳම නළුවා සඳහා නිර්දේශ වන්නේ ද නැත.
"අපි සිනමාවේ දකින ස්වදේශිකයා නිතරම ම්ලේච්ඡයෙකි, ලේ පිපාසිතයෙකි.එය නරඹන රතු ඉන්දියානු දරුවන්ගේ හදවත් තුවාල වී ලේ ගලා යනු දැක දැක මට මේ සම්මානය පිළි ගැනීමට නොහැකිය" ඒ හදවත් තුවාල වීමට එරෙහිව ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළ මාලන් බ්‍රැන්ඩෝගේ අදහසයි.
බ්‍රැන්ඩෝ තරමට ලෝකප්‍රකට නොවුණද එවැනි ප්‍රතික්ෂේප කිරීම් අප අතර නැතුවා නොවේ. 2005 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී "මේ මගේ සඳයි" චිත්‍රපටයට හිමි වන ජනාධිපති සම්මානය අශෝක හඳගම විසින් ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි. කළු ජූලියේ 22 වැනි සංවත්සරය දිනයේම පැවති ජනාධිපති සම්මාන උළෙල ප්‍රතික්ෂේප කළ ඔහු තමාට හිමි එක් ලක්ෂ පනස්දාහක ත්‍යාග මුදල යාපනය පුස්තකාල සංවර්ධන කටයුතු සඳහා යොදාගන්න ලෙස දන්වා සිටියේ ය. 1983 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය "මුහුදු ලිහිණි" චිත්‍රපටය වෙනුවෙන් එච්.එම්. ජයවර්ධනට හිමි වුවද ඔහු එය ප්‍රතික්ෂේප කලේ ය. ඒ "තුන්වෙනි යාමය" චිත්‍රපටයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට තම නිර්මාණයට වඩා විශිෂ්ඨ යැයි ප්‍රකාශ කරමිනි.
බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මාන දිනුවේය. නුමුදු හදවත් තුවාල වීමට එරෙහිව ඒවා ප්‍රතික්ෂේප කළේය. ඔස්කාර් දිනන්නට නොහැකි වූ අපි , හදවත් තුළ තුවාල සඟවාගෙන තවත් හදවත් තුවාල වනු දැක දැකම සමහර දෑ ප්‍රතික්ෂේප කරනු නොහී බලා හිඳින්නෙමු.



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. සම්මාන ප්‍රතික්ෂේප කිරීම සද්භාවයෙනුත් සිද්ද වෙනවා ඒ කියන්නේ

    ReplyDelete
  2. සම්මාන ප්‍රතික්ෂේප කිරීම සද්භාවයෙනුත් සිද්ද වෙනවා ඒ කියන්නේ X 2 :))

    ReplyDelete