ඉක්බිති එතුමාණෝ රුසියාව වෙත වැඩම කළහ


"මොකක් ??? ඔයා මේ මහ රෑ එකපාරටම කොහෙද යන්නේ ?"
දුරකතනයට පිළිතුරු දෙමින් සිටි තරුණයා විස්මයෙන් ඇසුවේය. අනෙක් පසින් ඇසුණේ යුවතියකගේ කලබලකාරී හඬකි.
"තාම හිතලා නෑ. රොමින්ස්කා කැළේපැත්ත ට යන්නත් හිතෙනවා" ඇය එසේ පවසා තරමක් රහසින් මෙන් මෙසේ අසන්නීය "ඔයා මොකද හිතන්නේ ? අපිට අසර්බයිජාන් වලට පැනගන්න වෙලාවක් තියෙයිද ?"
"මරියා !" තරුණයා ඉවසුම් නැතිව උස් හඬින් කෑගසයි. "දෙයියන්ගේ නාමෙට ඔයාට මොකද වෙලා තියෙන්නේ ? ගහෙන් ගෙඩි එන්නා වගේ කෑම්පිං යන්න ?" ඔහු නොසන්සුන්ව ඒ මේ අත ඇවිදින්නට විය.
යුවතිය ද කෝප වූ හැඩය. "පිස්සු හැදීගෙන එනවද ? කවුද අනේ කෑම්පිං යන්නේ ? අපි මේ හැංගෙන්න තැනක් හොයන ගමං" ඇය කතාව මදකට නවත්වයි ............ "ඇත්ත කියන්න ඇලෙක්සියි. ඔයා මම නැති අතරේ අර විස්කි බෝතලේ බිව්වා නේද ?"
ඒ අසා තරුණයා අන්දමන්ද වේ. "මොන මඟුලක් කියනවද ගෑණියේ. මම බීපු විස්කියක් නෑ....." ඔහු වේගයෙන් හුස්මක් ගනියි. "මරියා අල්යෝකිනා .... මට කරුණාකරලා පැහැදිලිව කියන්න.ඔයා කාට බයේද හැංගෙන්නේ කියලා?" නැවතත් පහත් හඬින් , නමුත් තද ස්වරයෙන් ප්‍රශ්න කරයි. "ඇයි ඔයා මට කිව්වේ නැත්තේ එයාලා ආයෙමත් ඔයාලා පස්සේ එනවා කියලා. ඒක කියන්න මේ අන්තිම මොහොත වෙනකං හිටියේ ඇයි ?"
"පිස්සුද ඕයි !" යුවතිය වචන වලින් දමා ගැසුවාය. "මගෙ පස්සෙන් එන පොලිසියක් නෑ මනුස්සයෝ. අපි කට්ටිය මේ වැඩි ආරක්ෂාවට හැංගෙන්නේ "
"කට්ටියම හැංගෙනවා ?" තරුණයා විස්මයෙන් මුරගෑවේය."දේවමෑණියනේ ! මට මේ ගෑණු කරන වැඩ කිසිදෙයක් තේරෙන්නේ නෑ"
"නිව්ස් බලන්නේ නැතිව දෙයියන්ට අඬගහලා වැඩක් නෑ මිනිහෝ" ඇය එසැණින් පැවසුවාය. "අන්න අර ශ්‍රී ලංකාවේ ජනාධිපතියි උන්දැගේ නෝනයි මෙහෙට ගොඩ බැහැලා"
"ශ්‍රී ලංකාවේ ?" තරුණයා කෝපාවිෂ්ටව අඩි පොළවේ ගසයි. "මරියා ! ..... උඹ අමුතුම අඩව්වක් අල්ලන්නයි යන්නේ . . . . . . පූටින් එක්ක දාන සෙල්ලම් මා එක්ක දාන්න එපා ගෑණියේ . . . උඹ හිතුවද මම ඕවට අහුවෙයි කියලා? " ඔහු අසල තිබූ කනප්පුවකට පයින් ගැසුවේය. "යකෝ . . . .  රුසියාවේ ජනාධිපති ට බය නැති ගෑණු අර මාලදිවයින පැත්තේ තියෙන හුණ්ඩුවක් විතර රටක ජනාධිපති එනකොට කැළේ හැංගෙනවා. . . . රෙද්ද !"
"මේහ් ! ! . . . මුලින්ම අහගන්නවා මම කියන දේ " යුවතිය මෙල්ල වූ බවක් පෙනුණ ද තරුණයා මෙල්ල වන ලකුණු පෙනෙන්නට නැත.
"මොනව අහන්නද ! උඹලා මහ ලෝක ප්‍රසිද්ධ පුසි රයට්ස්ලා නේද ? පුටින්ට ගේම ඉල්ලගෙන පල්ලි වලට පැනලා තන් එළියේ දාගෙන කෑගහපු චන්ඩි නේද ? " ඔහු හුස්ම නාල්ලා කෑ ගසයි "පුටින් ට පාට් දාලා අවුරුදු ගාණක් හිරේ ලැග්ග මහ ලොකු වීරවරියෝ නේද ? ඇම්නෙස්ටි එක ඇවිල්ලා නිදහස් කරගත්ත ලෝකෙම දන්න විප්ලවකාරියො නේද ? කෑ ගැසීම මදකට නතර විය.
"එහෙව් උඹලා තමයි මේ ශ්‍රී ලංකාවේ ලොක්කා ආවම බයේ හැංගෙන්නේ ? අනේ පලයන් මරියා" තරුණයා නගරයම දෙවනත් වන සේ කෑ ගැසුවේය. "උඹ අසර්බයිජානෙට තොලොංචි වෙයන් "
එවර යුවතිය ගුරුවරියක් සේ ඉවසීමෙන් කතා කරන්නට වූවාය. 
"ඇලෙක්සියි . . . . . දවස තිස්සෙම කෙල්ලෝ එක්ක චැට් කරනකොට රටේ ලෝකේ වෙන්නේ මොකද කියලා දන්නේ නැති එක අහන්න දෙයක්ද ?" එය ඇසූ තරුණයා මදකට නිහඬ වෙයි.

"අපි බ්ලවුස් ගලවගෙන කෑ ගැහුවට පූටින්ට වගේ වගක් තිබ්බේ නෑනේ අනේ . පොලිස් කාරයින්ටනේ ඔය පූටීන්ටවත් නැති ඇම්මක් තියෙන්නේ . . . ." ඇය පැහැදිලි කරන්නට වූවාය. " ඒ යකාට තියෙන්නේ ලෝකෙට ලොක්කා වෙන්නයි ඇමරිකාවට පාඩම් උගන්නන්නයි වගේ මෝඩ ආතල් නේ "
"හරි හත්වලාමේ ! තමුසේ මොකෝ එහෙනම් අර කොහෙද දූපතක ජනාධිපති එනකොට හැංගෙන්නේ ?" තරුණයා අවඥාවෙන් සහ අවිශ්වාසයෙන් සිනාසුණි. " තමුසේ ණයක් වත් දෙන්න තියෙනවද ඒ මිනිහගෙන් ගත්තු ?"
"ඔය ඉතින් තමුසේ දන්න ටික තමයි" යුවතිය සැණෙකින් වාග් ප්‍රහාර එල්ල කළාය. "ඔය රටෙන් ණයට ගන්න දෙයක් හොයලා දෙනවා පුළුවන් නම්. ......... ඔය යක්කුන්ට වැලේ වැල් නෑ. ඒ වුණාට ජනාධිපති ඔක්කෝම වැඩ නවත්තලා හොයන්නේ මේ ගෑණුන්ගේ බ්‍රෙෂියර් ගලවන ඒවා ගැන .. අර එන්රිකේ ආපු වෙලාවේ කෙල්ලෙක් බ්‍රෙෂියර් එකකින් ගහපු එකට ලොක්කට හොඳටම කේන්ති ගිහිං" කාන්තාව සැනසුම් සුසුමක් හෙළුවාය. "එක අතකට බලනකොට පුටීන් දෙයියෙක් හලෝ ! කෝ මෙච්චර දේවල් කරලත් අපිට මඩු වල්ගෙන් තලනවා කියලා කටක් ඇරලා කිව්වයැ ?"
තරුණයා දැන් දමනය වී ඇත. ඔහු සෝපාවේ දිගා වී කාරුණික ස්වරයෙන් කතා කරයි. "ඔය කියන තාලේ මනුස්සයෙක් නම් මරියා ටිකක් වහං වෙලා ඉන්න එක හොඳයි. සමහර විට ඔය රටවල් වල ව්‍යවස්ථාවේ හැටියට රට දියුණු කරන්න ඕනේ ලෝක බැංකුව වෙන්න ඇති" තරුණයා පැහැදිලි කළේය. " එහෙම වුණාම ජනාධිපති කෙනෙක්ටත් වැඩක් තියෙන්න එපැයි දෙයියනේ. ඉතින් මේ වගේ . . . .  " ඔහු කතාව අතරමග එක්වරම උඩ පැන්නේය 

"හෝව් ! හෝව් . . . . . ඔයා වලිගේ පාගගෙන නේ මරියා " තරුණයා ආඩම්බරෙන් සිනාසෙන්නට විය "මොකටද හලෝ බය වෙන්නේ. ඒ මනුස්සයා ආවේ එයාගේ නෝනා එක්ක කියලා දැන් ඔයාම කිව්වා නේද ?" ඔහු සතුටින් පැහැදිලි කරයි."ඉතින් මොකටද බය වෙන්නේ. ඕවා හොයන්න එන එකක් නෑ නෝනා ආවා නම් "

"වලිගේ පාගගෙන ඉන්නේ තමුසේ ඕයි !" යුවතියගේ කෝපාවිෂ්ඨ කටහඬින් තරුණයාට විදුලි සැර වැදිණාක් මෙනි. "ඔය රටේ ගෑණුන්වත් තඹ සතේකට විශ්වාස කරන්න බෑ" ඇය කේන්තියෙන් දොඩවන්නට වූවාය. "කලින් හිටිය ලොක්කගේ නෝනා පොඩි උන්ගේ කටට ටෝච් ගහලා ලෙඩ බැලුව කියලා මිනිස්සු කියන්නේ" . . . . . . .  එවර ඇයගේ කටහඬ තරමක් මිත්‍රශීලී ය. "කවුද දන්නේ ඔය විකාර ආර්යාවගෙන් ආර්යාවට බෝ වෙනවද කියලා "
යුවතිය , මරියා අල්යෝකිනා දුරකතනය විසන්ධි කළාය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: