සුගත් තිලකරත්න වෙත ලියමි


එහි ඡායාරූප තුනකි. එක කතාවකි.

ඇය නිමාලි ලියනාරච්චිය. චීනයේ හුවෑන් නුවර පැවති ආසියානු උළෙලේ දී මීටර 800 ඉසවුව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නේ ඇය ය. ඒ ලෝකඩ පදක්කම ඉතිහාසගත වන්නේ එම උළෙලේ දී ශ්‍රි ලංකාවේ නිරුවත වසා ලූ එකම පදක්කම ලෙසින් පමණක් නොව වසර 22 ට පසු අදාල ඉසවුව වෙනුවෙන් හිමි වූ ප්‍රථම ආසියාතික පදක්කම ලෙසින්ය. හම්බන්තොට සූරියවැව ග්‍රාමයේ උපත ලද ඇය , දිනූ පදක්කමත් තුරුළු කරගෙන තම පුහුණුකරු සමග නැවත ගම් රට බලා එන්නේ බස් රථයෙනි. ඒ ඇගේ ඉරණමය. ආසියාතික පදක්කමකට ශ්‍රී ලංකාවේ ලංසුව එපමණය.


2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය උළෙල හම්බන්තොට පවත්වන්නට වලි කෑවේ රාජපක්ෂ ආණ්ඩුවය. 2011 වසරේදී ශාන්ත කිට්ස් සහ නෙවිල්ස් දූපතේ පැවති සත්කාරක රාජ්‍ය තේරීමේ උළෙලට ශ්‍රී ලංකාවෙන් 160 දෙනෙකුට අධික කණ්ඩායමක් සහභාගි විය. ඒ අතර අනර්කලී ආකර්ෂා නම් වූ ක්‍රීඩිකාවකද වූවාය. අවසානයේදී වරම් හිමිවන්නේ නියෝජිතයින් 20 ක් පමණක් සහභාගී කළ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරයටය. හම්බන්තොටට ලෝකය ගෙන එන්නට වලි කෑ ඇත්තන් සතියක් තිස්සේ ශාන්ත කිට්ස් සහ නෙවිල්ස් දූපතේ විනෝද වූ අතර හම්බන්තොටින් ලෝකයට ගිය නිමාලි සූරිය වැව යනු පිණිස බස් රථයකට නගින්නීය.


ඉදින් , මා අමතන්නේ ඔබටය . සුගත් ... ඔබ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ

සභාපති ධූරයට පත් වූ බව අසා අප වැනිම දම්මිලා ලක්ෂ ගණනක් සතුටුවන්නට ඇත. නිමාලි ලියනාරච්චිට පෙර මේ හපන්කම කළේ ශ්‍රියානි ධම්මිකා මැණිකේ බව අසද්දී ඔබට ඔබේ අතීතය සිහියට නැගෙතැයි අනුමාන කරමි. 1993 මැනිලා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී ධම්මිකා මැණිකේ මීටර 800 ලෝකඩ පදක්කම දිනා ගන්නීය. එම වසරේදීම විදුලිපුර මහා විද්‍යාලයේ සුගත් තිලකරත්න නම් යොවුන් ක්‍රීඩකයෙක් මීටර 400 තත්පර 48.50කින් නිම කර සමස්ත ලංකා පාසල් වාර්තාව බිඳ දැමූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. මේ පදක්කම හරහා නිමාලි සිහියට නගන්නේ , එවන් ස්වර්ණමය මතකයකි.

සුගත්.... විදුලිපුරයෙන් පැමිණි ඔබ සාෆ් ,ආසියානු තරග රනින් සරසද්දී අප උද්දාමයට පත් වීමු. 1998 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනද්දී , 1996 ඔලිම්පික් උළෙලේ මූලික වටයක දී ලෝක ශූර මයිකල් ජොන්සන් පරාජය කරද්දී අප ඔල්වරසන් දුන්නෙමු. අද අපි ඒ බලාපොරොත්තු තබා සිටින්නේ නිමාලිලාගේ පරපුර දෙසය.ගෙල වට පදක්කම රැඳෙද්දී ඔබ අත් විඳි අභිමානවත් හැඟීම නිමාලිටත් දැණුනා යැයි සිතමි. ක්‍රීඩකයෙක් පරිපාලනයට පත් වීමේ සැබෑ වාසිය එය බව අපි දනිමු. අදටත් විශ්වාස කරමු.

නමුත් අද අපි නිමාලිට සිදු වූ දෙය ගැන ලැජ්ජාවට පත්ව සිටින බව නොකියාම බැරිය. ලෝක ශූර මයිකල් ජොන්සන් පරාජය කළ පසු ඔහු සමග ඡායාරූපයක් ගන්නට ඔබ කළ අහිංසක ඇරියුම ඔහු ප්‍රතික්ෂේප කළ හැටි මතකද ? එදා ලැජ්ජාවට පත්වූයේ සුගත් තිලකරත්න පමණක් නොවේ. ඔබට තනිවන්නට ඉඩ නොදී සමස්ත ශ්‍රී ලංකාවම ජොන්සන්ගේ උද්ධච්ච හැසිරීමෙන් ලැජ්ජාවට පත් වූහ. එතැනින් නොනැවතී ඔවුන් ඔබ වෙනුවෙන් ජොන්සන් පිළිබඳව රොස් උපදවා ගත්හ. ඒ පිළිබඳව කණගාටුවක් ඇත්තේම නැත. කනගාටුවට කරුණ වන්නේ , දෙවැනි වතාවටත් එවැනි ලැජ්ජාවක් සිත් තුළ ඉපදීම පිළිබඳවය. නිමාලි බස් රියකින් සූරියවැවට යද්දී , අපට ලැජ්ජා සිතීම සාධාරණ යැයි ඔබ තේරුම් ගනු ඇතැයි සිතමි. විශේෂයෙන්ම ඔබ මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයේ රැඳෙද්දී මෙවැන්නක් සිදු වීම ලැජ්ජාවෙන් මූණ රතුවන්නට සාධාරණ හේතුවක් යැයි විශ්වාස කරමි.
නමුත් එදා මයිකල් ජොන්සන් කෙරේ රොස් උපදවා ගත්තාක් මෙන් අද අප ඔබ කෙරේ රොසින් නොබලන්නෙමු. මන්ද මේ ඔබගේ ධාවනය ඇරඹුවා පමණක් ම වන බැවිනි. නිමාලිට සිදු වූ දෙය නින්දාසහගත බව යළිත් පවසමි. ඔබ කෙරේ බලාපොරොත්තු බිඳ වැටී නැතයි නැවත නැවතත් සිහිපත් කරමි.

2015 ජූනි 12 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment