නිමාලි සූරියාරච්චි වෙත ලියමි
ශ්‍රියානි ධම්මිකා මැණිකේ හෝ සුසන්තිකා ජයසිංහ වෙත නොලියමි
යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මීටර 800 කාන්තා තරග ඉසව්ව විනාඩි 2.03.53 ක් ලෙස නිම කරමින් ජාතික වාර්තාව පිහිටවූයේ ඔබය. ඔබ පමණක්ම නොව, ඔබත් සමග සූරියවැව පාසල් විදුහලේ පුහුණුවීම් කරන ගයන්තිකා අබේරත්නද දෙවැනි තැනට පත් වූයේ ජාතික වාර්තාව ඉක්මවමින් බව ඇසීම සතුටට කරුණකි. වසර 24 ට පෙර විනාඩි 02.03.85 ක් ලෙස එම ජාතික වාර්තාව පිහිටුවා තිබුණේ 1992 බාසිලෝනා උළෙලේ මූලික තරගයේදී 6 වැනියා වූ ශ්‍රියානි ධම්මිකා මැණිකේ විසිනි. නමුත් අද වන විට ධම්මිකා මැණිකේ චෝදනා කරන්නේ ඔබ ජය ලැබූ තරගයේ කාලය ගණනය කරන ලද්දේ අතින් ක්‍රියාකරන කාල ගණක යන්ත්‍රයකින් වන බැවින් තම ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමූ බව පිළිගත නොහැකි බවයි. ඇය ඒ වෙනුවෙන් මළල ක්‍රීඩා සම්මේලනය සහ මාධ්‍ය දැනුවත් කරද්දී සුසන්තිකා ජයසිංහ ද ඇය සමග එක් වෙමින් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව පිළිගත නොහැකියැයි ප්‍රකාශ කරන්නීය. නමුත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සම්මේලනය මගින් පැහැදිලි හේතු දක්වමින් ඔවුන්ගේ විරෝධතාව නිෂ්ප්‍රභ කර තිබිණ.
නිමාලීට 2015 වසර මතක් කර දෙමි ,
1993 වසරේ පිලිපීනයේ මැනිලා ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී මේ ඉසව්ව වෙනුවෙන්ම විනාඩි 2:04.90 කින් ලෝකඩ පදක්කම දිනුවේ ධම්මිකා මැණිකේ ම ය. ඉන් වසර 22 ට පසු එනම් 2015 වසරේදී චීනයේ හුවෑන් නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී 2:03.94 ක් ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගන්නේ ඔබ ය. එතෙක් කලක් එම ඉසව්ව පැවතුණේ නිද්‍රෝපගතවය. 2015 වන විට මළල ක්‍රීඩා සම්මේලනයේ සභාපති වූයේ සුගත් තිලකරත්නය. 1993 ධම්මිකා මැණිකේ ආසියාව ජයගනිද්දී සුගත් යනු මීටර 400 තත්පර 48.50කින් සමස්ත ලංකා පාසල් වාර්තාව බිඳ දැමූ විදුලිපුර මහා විද්‍යාලයේ සිසුවෙක් වූ නමුදු ඔබේ යුගය වන විට ඒ සභාපති සුගත් යනු හිටපු ආසියානු සූරයෙකි. නමුත් ආසියානු පදක්කම තුරුළු කරගෙන ඔබට පුහුණුකරු ද සමග ගමරට වූ හම්බන්තොට සූරියවැවට එන්නට සිදු වන්නේ බසයකිනි. ධම්මිකා මැණිකේ හෝ සුසන්තිකා ජයසිංහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස මේ පිළිබඳව මාධ්‍ය වෙත කතා කරනු නොදුටුවෙමු. මළල ක්‍රීඩා සම්මේලනයට පැමිණිලි කළාදැයි නොදනිමු. නමුත් ඔබ එතැනින් නොනැවතී සූරියවැව පාසලේ පුහුණුවෙමින් 2016 දකුණු ආසියානු උළෙලේ රන් පදක්කමද පහසුවෙන්ම දිනා ගන්නීය. ජාතික ක්‍රීඩා උලෙලද ජය ගන්නීය.
1993 Asian Games - Manila |
නිමාලීට 2004 වසර මතක් කර දෙමි ,
2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ලංකා කණ්ඩායමේ 8 දෙනාගෙන් 5 දෙනෙක්ම මළල ක්‍රීඩකයින් ය. අනුරාධ ඉන්ද්‍රජිත්, රොහාන් ප්‍රදිප්, මංජුල කුමාර සහ දමයන්ති දර්ශා තරග සඳහා සහභාගී වූ අතර සමාරම්භක උළෙලේ ලංකා ධජය දරූ සුසන්තිකා ජයසිංහ තරග වැදීමෙන් වැළකිණ. එවකට මෙරට අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ද සිඩ්නි නුවර සිටි අතර ඔහු පුද්ගලිකව හමු වී තරග කරන්නැයි කළ ඉල්ලීම පවා සුසන්තිකා ප්‍රතික්ෂේප කරන ලදි. සුසන්තිකා ඔලිම්පික් පදක්කම් ලාභිනියක නිසා ලංකා ධජය දැරීමට ඇයව කැඳවූ බව පවසමින් බලධාරීන් ඇඟ බේරා ගැන්මට තැත් කළහ. එම තර්කයට අනුව නම් 1952 සිට 1996 වසර දක්වාම සෑම ඔලිම්පික් උළෙලකම ලංකා ධජය දැරිය යුත්තේ ඩන්කන් වයිට්ය . සුසන්තිකා ගේ ඔලිම්පික් රිදී පදක්කමේ දීප්තියෙන් වැසීගිය වැදගත් ම කරුණ එය නොවේ. 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට සුසන්තිකා සහභාගී වන්නේ වයිල්ඩ් කාර්ඩ් පදනමෙනි. ඒ උළෙලට පෙර අදාල ඔලිම්පික් පරිසාධන මට්ටම් සපුරාගන්නට අසමත් වූ නිසා ය. තුන්වැනි ලෝකයේ රටවල් සඳහා පිරිනමන එම වරප්‍රසාදය ද රැගෙන ඔලිම්පික් ගිය ඇය එහිදී තරග වැදීමෙන් වැළකීම නවක ක්‍රීඩකයින්ට කරන ලද බලවත් අසාධාරණයකි. නවකයෙක් හට අත්දැකීම් ලබාගැනීමට ඇති අවස්ථාව උදුරාගෙන සංචාර වල යෙදුණු , ගොස් තරග වැදීමෙන් වැලකුණු සුසන්තිකා ජයසිංහ ම නවක පෙළක් බිහි වී නැතැයි බලධාරීන්ට චෝදනා කිරීම හාස්‍යයට කරුණක් වන්නේ එබැවිනි. ඔබගේ ජාතික වාර්තාවේ පිරුවට පරීක්ෂාවට සුසන්තිකා පැමිණීම ලොකුම විහිළුවක් වන්නේ ඇයගේ එම අතීතය දන්නා , ක්‍රීඩා ඉතිහාසය හදාරා ඇති මිනිසුන්ට ය.
ඉදින් නිමාලි ,
ආසියානු පදක්කම හෝ දකුණු ආසියානු පදක්කම ඉදිරියට දමා රටෙන් බාගයක් ඉල්ලූ ක්‍රීඩිකාවක නොවන ඔබට තව බොහෝ දුරක් යායුතුව තිබේ. ගමේ කොස් , පොළොස් , දෙල් කා දුවන බවටත් , මව්කිරේ බලයෙන් දුවන බවටත් වගාඩම්බර දොඩන ක්‍රීඩිකාවන් ගේ සැබෑ මුහුණුවර අනෙක් ක්‍රීඩිකාවකගේ කුසලතා දුටුවිට හෙළිදරව් වන ආකාරය ඔබ ද දකින්නට ඇත. ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාවේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් තමා ම විය යුතුයැයි සිතන ක්‍රිඩිකාවන් පිළිබඳව ඔබ දැනුවත් වන්නට ද ඇත. තාක්ෂණික මෙවලම් සැපයීම ක්‍රීඩිකාවකගේ රාජකාරිය නොවන බවත් , ඒවා නිසියාකාරව සිදු කිරීම තම රාජකාරිය බවත් බලධාරීන් ද වටහා ගන්නට ඇත.
ඔබගේ රාජකාරිය සූරියවැව ඉස්කෝල බිමේ වෙනදා මෙන් පුහුණුවීම සහ රට වෙනුවෙන් දිවීම පමණකි.
සදා ජය !
2016 ඔක්තෝබර් 16
0 comments:
Post a Comment