දෙසැම්බර් 08 : ජෝන් ලෙනන් වෙඩි තබා ඝාතනය වේ


1980 වසරේ අද වැනි දවසක බීට්ල්ස් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ජෝන් ලෙනන් මැන්හැට්න් නුවර දී වෙඩි තබා ඝාතනය කෙරිණ. තම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට ඇතුළුවන්නට යන මේ හතළිස් හැවිරිදි ගායකයාට පසුපසින් එල්ල වන වෙඩි උණ්ඩ පහකි. හතරක් ජෝන් ලෙනන්ගේ සිරුර තුළ කිඳා බසියි. ඝාතකයා බෝර තුවක්කුවක් අතැති මාර්ක් ඩේවිඩ් චැප්මන්ය. ඔහු ලෙනන් ගේ උමතු රසිකයෙකි.

බටහිර සංගීතය නවමු ඉවුරකට කැඳවාගෙන ගිය ජෝන් ලෙනන් ගේ සංගීත තැටි මිලියන දහ හතරක්වත් ඇමරිකාව තුල අලෙවි වන්නට ඇත. ස්වකීය ජපන් - ඇමරිකානු බිරිඳ යූකෝ ඌනෝ සමග 1971 දී නිව්යෝර්ක්හි පදිංචියට පැමිණෙන ලෙනන් වියට්නාමය ආක්‍රමණය කිරීමට එරෙහිව හඬ නගන්නේ තම සංගීතයෙනි. Give Peace a Chance ගීතය සමග රොද බඳින ඇමරිකානුවන් යුද්ධයට නැවතීමේ තිත තබන්නැයි රජයට බල කරන්නට විය. ඔහුගේ ප්‍රකාශයක් වරක් " අපි දැන් යේසුස්ටත් වඩා ප්‍රසිද්ධයි " ලෙස පුවත්පතක පළ වීමත් සමග 1966 දී බීට්ල්ස් තැටි පුළුස්සා දැමීමේ විරෝධතාවක් පැණ නැගුණද ඉන් ලෙනන්ට සිදු වූ බලපෑමක් නොමැත. නමුත් ඔහු නිරන්තරවම ආගම ට අභියෝග කළ හෙයින් අදටත් ඔහුගේ ගීත බටහිර රටවල ආගමික පරිසරයන්හි දී නිහඬ වාරණයන්ට ලක් වන්නේය.


"අප නුටෝපියාව නම් වූ මනෝ රාජික දේශයේ උපත මෙලෙස සටහන් කරන්නෙමු. එය භූමියක් නොමැති , සීමා මායිම් නොමැති, පාස්පෝර්ට් අවශ්‍ය නොවන මනෝරාජික දේශයකි. අවැසි වන්නේ මිනිසුන් පමණය. එහි විශ්වීය බව හැරෙන්නට කිසිදු නීතියක් නොමැත. ( Nutopia : New + Utopia ) 1973 අප්‍රේල් පළමුවනදා එනම් මෝඩයාගේ දිනයෙහි පුවත්පත් සාකච්ඡාවක් කැඳවන ලෙනන් සහ බිරිඳ යූකෝ සමග මෙසේ දැනුම් දුන්නේය. ඒ රිචර්ඩ් නික්සන් රජය ජෝන් ලෙනන් රටින් එලවා දැමීමට ගත් උත්සාහයකට පිළිතුරක් ලෙසිනි. ඒ වන විටත් දින හැටක් තුළ දී ඇමරිකාවෙන් පිටවිය යුතු බවට ලෙනන් යුවළට නියෝග ලැබී තිබිණ. නමුත් ප්‍රධාන පෙළේ කලාකරුවන්ගේ ඉල්ලීම් අභිමුව ලෙනන් ඇමරිකාවට අහිමි වන්නේ නැත. ඉන්පසුව බලයට පත්වන ජිමී කාටර් පවා ලෙනන්ව ඉවසා සිටිය යුතුය යන ස්ථාවරයට පත්වන්නේ මේ විප්ලවකරුවන්ගේ හිංසා විරහිත භාවය නිසා විය හැකිය.
සුවහසක් රසිකයින් වසඟයට ගත් ඉමැජින් (Imagine) යනු ඔහුගේ චින්තනයේත් , ගායනයේත් අග්‍ර ඵලය ලෙස සැලකේ.
" මම සිහින දකින්නෙක්යැයි ඔබ පවසනු ඇත
නමුත් ඒ එකම පුද්ගලයා මම නොවෙමි.
ඔබ ද මතු යම් දිනෙක අප හා එක්වෙනු ඇතැයි
ලෝකයම එක් යායක් වෙනු ඇතැයි මා සිතමි . . . "

වර්ෂ 2003 දී පැවැත්වුණු ඊශ්‍රායල අගමැති ෂිමෝන් පෙරේස්ගේ 80 වැනි උපන්දින සැමරුමට ගැයෙන්නේ ජෝන් ලෙනන් ගේ Imagine ගීතයමය. පොරොන්දු දේශය සොයා යන යුදෙවු දරුවන් ද අවසන් විනිශ්චය කෙරෙහි සිත් යොමා සිටින අරාබි දරුවන් ද අතර හිඳ මේ ජෝන් ලෙනන් ගේ ඉමැජින් ගීතය ගයන්නේ ස්වර්ගය කෙරෙහි ද දෙවියන් වහන්සේ කෙරෙහි ද භක්තිවන්ත වූ බිල් ක්ලින්ටන්ය.
"You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one . . . "

ලෙනන් සොයා ගිය ලෝකය ද ලෙනන් දුටු සිහිනය ද එය ම විය නොහැකිද ?

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment