ජීවී


රාණි අක්කා බැණලා බැණලා ගෙදරින් එළියට ගියා. කම්මුල් පාරවල් දෙක තුනක්ම වැදුණු නිසා කම්මුල තඩිස්සි වෙලා ඇති. ශලිනි කණ්ණාඩියෙන් මූණ බැලුවා. ඒත් හින්දි චිත්‍රපට වල වගේ මූණ ඉදිමිලා, කම්මුල් ගෙඩිගැහිලා නැහැ. ප්‍රීති සින්ටාට නම් සැරෙන් වචනයක් කිව්වත් කම්මුල් දෙක ජම්බු වගේ වෙනවා. කොයි වෙලේ බැලුවත් දර ලිප් මොළොවන,වළං හෝදන, රාණි අක්කගේ ගොරහැඩි අත්වලින් ගුටි කාලාත් මේ කම්මුල් වල වෙනසක් වෙලා නැහැ. මෙච්චර වෙලා නොදැනුණු දුකක් ශලිනිගේ හිතට සේන්දු වෙන්න ගත්තා.
"තෝ නිසා මට මගේ බිස්නස් එක නැතිකර ගන්න බෑ. බැහැපං බැල්ලි මෙතනින්" රාණි අක්කා එහෙම කියලා බැන්නට ශලිනිට මෙතැන අතැරලා යන්න වෙන තැනක් නැහැ. ඒක රාණි අක්කත් දන්නවා. අනිත් කාරණේ රාණි අක්කට වුණත් මඟුල් ගෙවල් දානේ ගෙවල් ගාණේ ගිහිං තනියම උයන්න බැහැ. දවසේ කුලියට ගෝලයෝ ගත්තොත් ආයේ ඉතින් විසුමක් නෑ. ඒ නිසා ශලිනි ඉන්න එක රාණි අක්කට හිතට හයියක්. " කමක් නෑ. ඔන්න ඔහේ ටික කාලයක් බැණුම් අහගෙන ඉන්නවා" කියලා හිත හදාගත්ත ශලිනි ගෙනල්ලා තිබ්බ භාජන ටික අඩුක් කරන්න ගත්තා. කලබලේ අස්සේ දැක්කේ නැතුවට සමහර ඒවා හරියට හේදිලත් නැහැ.
කේටරිං සර්විස් එකක සහායිකාව වෙන්න කලින් ශලිනිගේ ජීවිතේ ලංකා සිතියම පුරාම කැරකුණා. ආනමඩුවේ නාමල් නමින් ඉපදුණාට සාමාන්‍ය පෙළ කරන්නේ කුරුණෑගල පැත්තේ පිරිවෙනකින්. මනමේ කතාවේ හොඳම ගෝලයට රාජගුරුන්ගේ දුවව ලැබුණා. හොඳම ගෝලයා නොවුණු නාමල්ට රාජගුරුත් එක්කම පිරිවෙණෙන් එළියට බහින්න වුණා. කෝකිල හඬ කන් පිනවනවද රන් ස්වරයද කියලා බල බලා ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ වෙනකොට සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වෙලා උන්නු නාමල්ව ගම්පහ පැත්තේ බෝඩිමක නවත්තලා පුද්ගලික ඉස්කෝලෙකට දාන්න තරම් රාජගුරුන්ගේ ගුණ නැණ බෙලයක් තිබුණා. ගණිතය අසමත් වුණු බාලිකාවන්ට වෙන් වුණු ඒ ඉස්කෝලෙට යනකොට නාමල්ගේ නම ශලිනි වෙලා තිබුණා. එතන නානාප්‍රකාර බාලිකාවෝ හිටියා. ගණිතය අසමත් වුණාට ඒ හුඟ දෙනෙක් සෞඛ්‍ය හොඳට හදාරලා තිබුණා. හුඟ දෙනෙක් ඉතිහාසය මතක් කරන්නවත් කැමති වුණේ නැහැ. තමන්ගේ ජීවිතයේ සියනෑ යුගයට කලින් තිබුණු කුරුණෑගල යුගය ගැන ඇත්ත එළි වෙයිද කියන සැකයෙන් ශලිනි මුල් කාලේ බෝඩිමේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා කල්පනා කළා. ඒත් මේ හැමෝගෙම රාජධානි එක එක හේතු මත නිරිත දිගට සංක්‍රමණය වෙලා තියෙන බවත් හැම දෙනාම රඟපාන බවත් තේරුම් ගියාම ඒ අපහසුව නැති වුණා. හැමෝම තමන්ගේ චරිතය රඟපාන්න මිසක් අනෙක් අයගේ රඟපෑම් වල අඩුපාඩු හොයන්න උත්සාහ කළේ නැහැ. ශලිනිගේ උකුල පළලින් අඩුයි කියන එක, නිශාලිගේ පපුව ලොකුයි කියන එක, උත්පලාට හීන් රැවුලක් තියෙන එක වගේ දේ වුණත් නොදැක්කා වගේ ඉන්න හැමෝටම පුළුවන් වුණා. ගම්පහ අනෙක් ඉස්කෝලවල කෙල්ලෝ දහම් පාසල් යන්න වගේ කොණ්ඩ කරල් දෙකක් ගොතලා කාමරංකා කූඩු වගේ ගවුම් අඳින කොට ශලිනිලා තනි කරලට කොණ්ඩේ ගොතලා , ඉණෙන් පහළට ගවුමේ පටිය බුරුල් කරගෙන පාරේ ඇවිද්දා. "ඒ ටිකම මදැයි" ශලිනි පිහ දාපු පත්තක් පැත්තකින් තියන ගමං කල්පනා කළා.
ගම්පහ ජීවිතේ මතක් වෙනකොට හීල්ලෙන තරමට හරිම නිස්කලංකයි, සාමකාමීයි. බෝඩිමේ ඇන්ටිලා වුණත් ශලිනි ගැන පන්න පන්නා හොයන්න ගියේ නැහැ. මාස දෙකකට පාරක් ගමේ ගිහින් එන යොවුන් බෝඩිම් කාරිය ගෙනත් දෙන ඇපල් දොඩම් පාර්සල් එක ගැන එයාලා පැහැදුණා. " කුරුණෑගල පැත්තේ පළතුරු මුදලාලි කෙනෙක්ගේ දුවෙක්" වැඩිය කාමරේ නොරැඳෙන ශලිනි ගැන බෝඩිමේ ඇන්ටි ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ශලිනිත් පළතුරු ගේනකොට ඒවයේ දැවටිලා තියෙන කැවිලි , ආස්මි කෑලි එහෙම පිහිදලා ගේන්න තරම් කල්පනාකාරී වුණා. සාමන්‍ය පෙළ පටන් ගන්නකම් ඉංග්‍රීසි පන්තියකට යන්න තීරණය කරපු හැටි ශලිනිට අද වගේ මතකයි. "දැට්ස් ගුඩ් අයිඩියා" ඒ කාලේ නිතරම මුණ ගැහෙන ව්‍යාපාරිකයෙක් ඒ තීරණය ඇගයුවා. රාජගුරුන්ට ඇමතුමක් දුන්නාම පාඨමාලා ගාස්තුව ගිණුමට වැටුණා. කවුන්ටර් එකට නොගොහින් කාර්ඩ් එකෙන් සල්ලි ගන්න පුළුවන් නිසා හරිම ලේසියි.
"මූසල ගෑණි. මගේ ජීවිතේම කෑවා" ශලිනි ට බොරැල්ලේ ඉංග්‍රීසි ඇකඩමිය මතක් වෙනකොට දත් මිටි කැවුණා. මස් කපන පිහිය අතේ තියං බංකුව උඩට කඩා වැටුණු ශලිනි ඒ දවස අසිහියෙන් වගේ මතක් කළා. ඔක්කොම ලියකියවිලි අරගෙන ඇකඩමියේ රෙජිස්ට්‍රාර් මැඩම් ළඟට ගියාම ඒ නෝනා ලියකියවිලි ටික පරීක්ෂා කරලා ශලිනි දිහා ඇස් දෙක නළළේ තියාගෙන බැලුවා. "මේ මොන විකාරයක්ද මේ !" ඒ ගෑණි ගේ කටහඬ ඇතුළේ තිබුණු අප්පිරියාව ශලිනිගේ හිතේ තවමත් තැවරිලා තියෙනවා වගේ. ඒ අප්පිරියාව වැගිරෙන මූණ ආයේ දැක්කේ අද දවල් තිබුණේ දානේ ගෙදර දි. හැබැයි ඒ වෙනකොට ඒ මූණේ බය , කේන්තිය , අසරණකම ඔක්කොම තැවරිලා තිබුණා. " හොඳ වැඩේ මූසලී. උඹට ඔය වුණා මදි" ශලිනි කේන්තියෙන් හුස්ම ගත්තා.
" අයි. ඩී එකේ නම තියෙන්නේ නාමල් රංග කුමාර. මොනවද හලෝ මේ ඇඳගෙන ඉන්නේ" උන්දැගේ කටහඬ එච්චර සද්ද වෙනකොට ශලිනිට මොකක්දෝ හේතුවකට රාජගුරුව මතක් වුණා. " ගියාත්මේ ඝණ්ඨාර පූජා කරපු ඇත්තෝ ඔහොම තමයි" රාජගුරු හිටියා නම් එහෙම කියනවා.
ශලිනි තමන්ගේ අයදුම්පත්‍රය භාරගන්න කියලා වෙනත් මැඩම් කෙනෙක්ට ආයාචනා කරන ටිකට රෙජිස්ට්‍රාර් ගෑණි කීපදෙනෙක්ට කෝල් කළා. සුළු මොහොතකින් සත්තු වත්තේ චිම්පන්සි කූඩුව වටේ වගේ ඔෆිස් එකේ ජනේල් වලින් පවා සෙනඟ එබිලා බලන්න වුණා. හැමෝටම මේ අරුම පුදුම ජීවියා බලන්න ඕනේ වුණු අස්සේ අර ගෑණි ස්වේච්ඡාවෙන්ම ඒ අයට කතාව කිය කිය හිටියා.
එදා එතනින් පැනලා ආපු ශලිනිගේ ජීවිතේ වෙනස් වුණා. ඉගෙන ගන්න එක අමතක කරනවා කියලා තනි තීරණයකට ආපු ශලිනි ක්ලියෝපැට්‍රා එකේ ඉඳන් කතරගම පෙරහැර දක්වාම තමන්ට හිතෙන හිතෙන විදියට අඩිය තියන්න පුරුදු වුණා. රාජගුරුව සදහටම අමතක කරලා සැලූන් කීපයක්ම පහු කරලා ආපු මේ ගමන අන්තිමට නැවතෙන්නේ රාණි අක්කා ළඟින්. රාණි මුඛර්ජි වගේ කියලා ඒ කාලේ නම දාගත්තට රාණිට දැන් වයසයි. පෙරහැරවල් වල නටන්න බැරි නිසා එයා තමන්ට පුළුවන් කෑම උයන වැඩේට අත ගැහුවා. කෙටි කාලෙකින් රාණිගේ කෑම ජනප්‍රිය වුණු නිසාම ශලිනිටත් අතවැසිකමක් ලැබුණා. එච්චර කල් කීකරු ගෝලයෙක් වෙලා හිටිය ශලිනි මේ උයන දානේ ගෙදර අයිති කාටද කියලා දැනගත්තාම කවදාවත් නැතිව මුරණ්ඩු වුණා. රී-ලෝඩ් එකක් දාන්න යනවා කියලා එළියට පැනලා ෆාමසි එකෙන් ගෙනාපු විරේක පෙති ටික කෑමට දැම්මේ ඒකේ ප්‍රතිඵලය නොදැන නෙමෙයි. දානේ ගෙදර අමුත්තන්ට බඩ යන්න ගත්තාම ශලිනි හොරෙන්ම මාරු වුණා.
ඒත් හැමදාටම වහන් වෙලා ඉන්න බැහැ. ශලිනි ඒක අත්දැකීමෙන්ම දන්නවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments: