1962 වසරේ අද වැනි දවසක දහ අට හැවිරිදි පීටර් ෆෙචර් , බර්ලින් තාප්පයෙන් පනින්නට ගොස් වෙඩි කා මියැදුණේය.
ඔහු දිවි පරදුවට තැබුවේ නැගෙනහිර ජර්මනියේ සිට කේතුමතී පුරවරයේ පහස ලබනු පිණිසය. ඒ වන විට නැගෙනහිර සහ බටහිර බර්ලිනය වෙන් කරමින් බර්ලින් තාප්පය ගොඩ නගා වසරක් ගත වූවා පමණි. හෙල්මුට් කුල්බයික් (Helmut Kulbeik) නම් මිතුරා සමග අවදානම් සහගත තීරණයකට එළැඹෙන පීටර් ෆෙචර් (Peter Fechter) පවුර තරණය කර බටහිරට පලා යන්නට තීරණය කරන්නේය. සැලසුමට අනුව ඔවුන් නැගෙනහිර ජර්මනියේ පිහිටි වඩු කර්මාන්ත ශාලාවක සැඟව සිට රැකවලුන්ගේ ඇස් මානයෙන් මිදී ජනේලයෙන් බිමට පැනගත යුතුය. ඔවුන් පනින්නේ ගොඩනැගිල්ලත් බර්ලින් තාප්පයත් අතර වූ ආරක්ෂාව තර කළ බිම් කඩකටය. පසුකාලීනව විදුලි වැටවල් සහ කටු කම්බි සහිත දැඩි ආරක්ෂක මායිමක් වූ එය හැඳින්වූයේ " මරණයේ තීරය" නොහොත් Death-strip ලෙසය. පීටර් සහ ක්ලූබික් එම බිම් පියස හරහා දිව ගොස් කටු කම්බියෙන් වට කළ අඩි 7 කට ආසන්න උසකින් යුතු බර්ලින් තාප්පයට නැගගත යුතු වේ. අනතුරුව Checkpoint Charlie නම් වූ මුරපොළ සමීපයෙන් අනෙක් පසට පැන ගත යුතු වේ. බටහිර ජර්මනිය හෙවත් ඔවුන්ගේ ගැලවුම ඇත්තේ එතැනය.
සැලසුම ක්‍රියාවට නැංවිණ. පීටර් සහ හෙල්මුට් මරණයේ තීරය අතරින් දිවගොස් කටු කම්බි ගහණ පවුර මතට පිවිසෙති. හෙල්මුට් සාර්ථක ලෙස පවුර මතින් පැන බටහිර බර්ලිනයට , ඔවුන්ගේ සිහින පුරවරයට පා තබන්නේය. එවිටම ඇසෙන වෙඩි හඬකි. නැගෙනහිර බර්ලිනයේ වැසියන් තම දේශයෙන් පලා යන්නවුන් දෙස ගල්ගැසී බලා සිටිද්දී බටහිර ජර්මානු වැසියන් තම දේශයට කඩා වදින්නන් දෙස මවිතව බලා සිටියහ. හෙල්මුට් ගේ සිහිනය සැබෑ වන විට පීටර්ගේ සිහිනය බර්ලින් පවුර මත පෙනි පෙනී මියැදිණ. නැගෙනහිර සොල්දාදුවන්ගේ වෙඩි පහරට ලක්වන දහ අට හැවිරිදි ජර්මානුවා නැවතත් නැගෙනහිර භූමියට ඇද වැටේ.
එහි වෙඩි පහර ලද හිරිමල් තරුණයෙක්ගේ වේදනාබර විලාපයකි. ශෝකයෙන් සහ බියෙන් එදෙස බලා සිටින පවුරකින් දෙකඩ කළ දෙපසක මිනිස් කැල කි. නැගෙනහිර සොල්දාදුවන් රුධිරය වහනය වන පීටර් ෆෙචර් ව පැයක කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව තාප්පය අසල එලෙසම වැටී සිටින්නට ඉඩ හැරියේ ය. බටහිර පාර්ශවයෙන් එදෙසට ළං වන්නන්ට නැගෙනහිර ආරක්ෂකයින් විසින් තුවක්කුව ඉලක්ක කළ බැවින් දේශසීමා තරණය කර කිසිවෙකුට හෝ පීටර් වෙත ළඟා වීමට අවසරයක් නොවීය. අවසානයේ බටහිර බර්ලිනයේ සොල්දාදුවන් තමාගේ සීමාවේ සිට පීටර් වෙත වෙළුම් පටි කිහිපයක් විසි කළ ද ඒවා ඔහු සමීපයට වැටුණේ ද නැත. පැයකට ආසන්න කාලයක් තිස්සේ තම සිහිනයට පියවර කිහිපයක් මෑතින් බිම වැතිර සිටි පීටර් ෆෙචර් නම් වූ මානවකයා කිසිදු ප්‍රතිකාරයක් නොලබාම මෙලොව අත් හැර ගියේය. නැගෙනහිර ජර්මානු සොල්දාදුවන් විසින් කෙටි වේලාවක් තුළ දී ඔහුගේ සිරුර භූමදානය කරන ලදි.
බටහිර ජර්මනිය කඩි ගුලක් සේ ඇවිස්සෙන්නට වූයේ මේ අකාරුණික මරණය සමග හටගත් කම්පනයෙනි. Murderers !" මිනීමරුවෝ !! " .. ලෙසින් ඔවුන් නැගෙනහිර ජර්මානු පාලනයට ශාප කරමින් වීදි බට නුමුදු එය දුර්දාන්තයක ඇරඹුමක් පමණක් විය. 1989 නොවැම්බර් 9 වැනි දා බර්ලින් තාප්පය බිඳ දමන තුරු අඩුම තරමින් ජීවිත 133 ක් වත් මෙලෙස බිලි වන්නට ඇතැයි පැවසේ.
කටුකම්බි සහ බර්ලින් තාප්පය සහ පීටර් ෆෙච්මන් සමග අවදිවන මතකයකි. ජර්මනිය බර්ලින් තාප්පය බිඳ දමා ඒ අමිහිරි මතකය සුවපත් කරන වසරේම ලොව ඈත කෙළවරක මුහුදෙන් වට වූ දූපතකි. වධ කඳවුරු වල කටුකම්බි ශරීරගත ව වේදනාබර මරණයකට ගොදුරු වුණු පීටර් ෆෙච්මන් ලා ද ඉරණම විසින් ජීවත්විය යුතුයැයි නියෝග කළ හෙල්මුට් කුල්බයික් ලා ද එහි වූහ. තවමත් සුවපත් නොවූ තුවාලද තවමත් බිඳ නොවැටුණු පවුරුද මේ සියල්ලටම ඉහළින් වේදනාව දරමින් කඳුලක හැඩය මවමින් මුහුද මත වැතිර සිටී.
අන්තිම ටික තමා මරු
ReplyDelete