අගෝස්තු 16 : Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි මිය යයි

1977 වසරේ අද වැනි දවසක Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි තම ජීවිත සිහසුන අතැර ගොස් තිබිණ.
ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ග්‍රේස්ලන්ඩ් මන්දිරයේ නිදන කාමරයක ඇඳ අසල රතු පලසක් මත ඔහු වැටී සිටියේය. පිජාමා කලිසම දණහිස තෙක් ගැලවී තිබිණ. වේදනා නාශක අධි මාත්‍රාවක් මගින් එමිහිරි ගී නද සදහටම ගොළු කර දැමිණ. දෙදිනක් ගත වූ තැන යුගයක් උමතු කළ සිහින කුමරුවා ග්‍රේස්ලන්ඩ් වතුයායේ දී සමාදානයේ සැතපිණ. එහි වැළපෙන ලක්ෂ සංඛ්‍යාත වූ රසික කැළකි. එල්විස් ප්‍රේස්ලිට තනි නැත. ඔහු සැතපෙන්නේ ඔහු වඩාත් ආදරය කළ සිය මවගේ සොහොනට යාබදවය.

1935 ජනවාරි 8 වැනිදා අන්ත දිළිඳු පවුලක නිවුන් දරුවෙකු ලෙස උපත ලද එල්විස් Twinless Twin නමින් හැඳින්වූයේ අනෙක් නිවුන් සොහොයුරා මළ දරුවෙකු වූ බැවිනි. ප්‍රිසිලා ප්‍රෙස්ලි සමග විවාහ වූ එල්විස් එම සරණ බන්ධනය සය වසරකින් කෙළවර කරන්නේ දසදිග පැතිරුණු , පැටළුණු පෙම් මල් දම් ද සමගිනි. ඔවුන් දෙපළගේ දියණිය වන ලීසා ප්‍රෙස්ලි පසුකලෙක මයිකල් ජැක්සන් සමග විවාහ වුවද එය වැඩි කලක් පැවතුණේ නැත. දිළිඳු පැලෙකින් රොක් ඇන්ඩ් රෝල් කිරීටයේ උරුමකරු බිහි විය. ඔහු සිහසුනට පිවිසුණේය. නමුත් තිඹිරි ගෙයින් ඇරඹි තනිකම සුසානය තෙක්ම ඔහු අත්නොහැර සිටියේය.


1954 වසරේ දී ජිමී ඩෙනී , ගායකයෙකු වීමේ සිහිනය පෙරදැරිව තමා වෙත පැමිණෙන 19 හැවිරිදි ගැටවරයෙකු මෙසේ ප්‍රතික්ෂේප කරයි. " දිගටම ඔය ට්‍රක් එක එලවගෙන හිටපං පුතා. මොකද උඹට කවදාවත් ගායකයෙක් වෙන්න බෑ" නමුත් එම තරුණයා සදාකාලිකව ට්‍රක් රථයේ රැඳුණේ නැත. ගායකයෙකු වූයේද නැත. ඔහු නතර වන්නේ Rock and Roll රජු වීමෙනි. ඔහු නමින් එල්විස් ප්‍රෙස්ලිය.
1982 දී මහජනතාවට විවෘත කෙරුණු ග්‍රේස්ලන්ඩ් වතුයාය දැනට ධවල මන්දිරයට පසුව අමෙරිකාවේ වැඩිම ජනතාවක් නරඹන මන්දිරය ලෙස සැලකේ. ඔහුගේ අවසන් කටයුතු සිදුවන විට වතුයායට එපිට එල්විස් නමින් පිදූ මලින් වැසී තිබිණ. එදවස සැලකෙන්නේ එදා මෙදා තුර ඇමරිකාව තුළ වැඩිම මල් සංඛ්‍යාවක් අලවි වූ දිනය ලෙසිනි.

ඔහු උපත ලබන්නේ එල්විස් ප්‍රෙස්ලි ලෙසිනි. මිය යන්නේ ලොවක් වසඟ කළ සිහින කුමරෙක් සහ රජෙකු ලෙසය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. ඔහු මගෙත් කැමතිම ගායකයෙක්.... මොකද්දෝ අමුතු දුක්බර ගතියක් එක්ක තිබ්බ පිරිමි කටහඬක්!

    මම ඉපදෙනකොට ඔහු ඉපදිලා, සින්දුත් කියලා, මැරිලත් ගිහින් ඉවර උනාට මම කැමතියි ඒ සින්දු අහන්න

    ReplyDelete