අගෝස්තු 21 : පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළේ දී ඝාතනය කෙරේ


1983 වසරේ අද වැනි දවසක පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළේ දී ඝාතනය විය.
1980 වසරේ දී හෘද සැත්කමක් පිණිස ඇමරිකාව බලා පිටත් වූ අකීනෝ (Benigno Aquino) නැවත මවුරටබලා පැමිණෙන්නේ තුන් වසරකට පසුවය. " මගේ දෛවය වෙඩි පහරක් කා මියැදීම නම් - එය එහෙම වුණාවේ" ඔහු ඇමරිකාවෙන් පිටත් වීමට පෙර මාධ්‍ය හමුවේ එසේ පැවසීය. තම ජීවිත අවදානම පිළිබඳව මනා අවබෝධයකින් යුතු වූ පිලිපීන විපක්ෂ නායකවරයා " මම හිතනවා මට ශාරීරිකව අවදානමක් තිබෙන බව. මොකද ඔබ දැනටමත් දන්නා පරිදි දැන් පිලිපීනය තුළ මනුෂ්‍ය ඝාතනය කියන්නේ මහජන සේවයේම කොටසක්" යනුවෙන් ද පැවසීය. අනුමානය සැබෑ විය. පණස් හැවිරිදි අත්දැකීම් බහුල දේශපාලනඥයා තම මව්බිම පෙනි පෙනී මරණයට බිලි විය.
බෙනිග්නෝ අකීනෝ යනු පිලිපීන ජනපති " ෆර්ඩිනන්ඩ් මාර්කෝස්" ගේ (Ferdinand Marcos) ප්‍රධානතම විරුද්ධවාදියා වූ අතර විසි එක් වසරක මාර්කෝස් පාලනයෙන් බැට කෑ පිලිපීනයේ අනාගත අපේක්ෂාව විය. 1967 වසරේ දී , එනම් තිස් පස් වැනි වියේදී පිලිපීන පාර්ලිමේන්තුවට පිවිසෙමින් එදා මෙදාතුර ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස තම ගමන ඇරඹූ අකීනෝගේ අනාගත සැලැස්ම වූයේ ජනාධිපති ධූරය සඳහා තරග කිරීමය. ඔහු ජනපති ආර්‍යාවගේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ හෙළා දුටුවේය. " ඉමෙල්ඩා සඳහා වූ දේව සභාව" හෙවත් "A Pantheon for Imelda යන විවාදාත්මක දේශනය ද මාර්කෝස් ආර්යාවගේ පළමු ව්‍යාපෘතිය වූ සංස්කෘතික මධ්‍යස්ථානය "ලජ්ජාවේ ස්මාරකය" ලෙසින් ප්‍රසිද්ධියේ හෙළා දැකීම ද දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයකට මග පෑදීය
ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් 1972 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා හමුදා නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර 23 වැනිදා කොමියුනිස්ට් ලේබලය යටතේ බෙනිග්නෝ අකීනෝ අත් අඩංගුවට ගැනේ. දඬුවම සත් අවුරුදු සිර දඬුවමකි. 1975 වසරේ දී සිර භාරයේ සිට මාරාන්තික උපවාසයක යෙදෙන අකීනෝ සිය සිරුරේ බර කිලෝග්‍රෑම් 54 සිට 36 දක්වා අඩු වුවද එම උපවාසය අත් නොහරී. දින හතළිහකට පසුව පවුලේ සාමාජිකයන්ගේ සහ පාක්ෂිකයන්ගේ බලවත් ඉල්ලීම මත ඔහු උපවාසය නවතා දැමීය. 1977 දී හමුදා අධිකරණයක් මගින් පවත්වනු ලබන පරීක්ෂණයකින් අනතුරුව විප්ලව කිරීමේ චෝදනාවට අකීනෝ වරදකරු වේ. දඬුවම ලෙස ඔහු හට වෙඩි තබා මරා දමන්නට නියම කෙරේ. නමුත් එම දඬුවම කිසිදිනෙකවත් ක්‍රියාත්මක නොවීය.
1980 දී හෘදයාබාධයකට ලක්වන අකීනෝ පිලිපීන හෘද රෝහල වෙත රැගෙන යන නුමුදු දේශීය වෛද්‍යවරු විපක්ෂ නායකයාට බයිපාස් සැත්කම කිරීමේ වගකීම දැරීමට මැලි වෙති. ඒ ඔහුගේ ජීවිතය සම්බන්ධ අවදානමක් දැරීමට ඇති බිය නිසාය. අකීනෝ ද පිලිපීන වෛද්‍යවරුන්ගේ සේවය ලැබීම ප්‍රතික්ෂේප කරයි. ඇමරිකාවට ගොස් සැත්කමකට භාජනය වීම හෝ එසේ නොමැති නම් සිර මැදිරියේම මිය යාම යන විසඳුම් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබීය.
පසුව වාර්තා වන පරිදි ජනපති ආර්යාව වන ඉමෙල්ඩා මාර්කෝස් (Imelda Marcos ) රෝහලේදී අකීනෝ රහසිගතව හමුවී කොන්දේසි දෙකකට යටත්ව ඔහු සහ පවුලේ සාමාජිකයින් ඇමරිකාව වෙත යැවීමට කටයුතු කරයි. එම කොන්දේසි වන්නේ සැත්කමෙන් පසුව අකීනෝ නැවත පැමිණිය යුතුය යන්න සහ ඇමරිකාවේදී මාර්කෝස් රජය විවේචනය නොකළ යුතුයි යන්නය. නමුත් සුවපත්වීමෙන් අනතුරුව යළි පිලිපීනයට නොයන අකීනෝ පවුලේ සාමාජිකයින් සමග අමරිකාවේ දිවි ගෙවූ අතර අනෙක් කොන්දේසිය ද කඩ කළේය. ඔහු ඉමෙල්ඩා පිළිබඳව මෙසේ පැවසීය " යක්ෂයා සමග සම්මුතිය කිසිලෙසකින් හෝ සැබෑ සම්මුතියක් නොවේ"
1983 අගෝස්තු මස 21 වැනිදා යළිත් තම මව්බිම වෙත යාමට අකීනෝ කටයුතු කරයි. ඇමරිකාවේ සිට පැමිණෙන පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළට ගොඩ බට සැණින් ගුවන් යානයේදීම සොල්දාදුවන් භාරයට ගැනෙන අතර යානයෙන් පහළට ගෙනයන ලදි. මොහොතකින් ඇසෙන වෙඩි පහර කීපයකි. රටේ අනාගතය භාර ගනිතැයි සිතූ විපක්ෂ නායකයා ලේ විලක් මැද අවසන් හුස්ම හෙළා තිබිණ. ඔහුට නුදුරින් තවත් මළ මිනියක් විය. ඒ අකීනෝ ගේ ඝාතකයා බව රජය ප්‍රකාශ කරන ලදි. " ඔවුන් වෘත්තීමය මිනීමරුවෝ" ජනපති මාර්කෝස් ඌනපූර්ණ එක් කළේය.
නමුත් ඉතිහාසය සමාව දෙන්නේ නැත. අකීනෝ ඝාතනයෙන් පසු කරළියට පිවිසි වැන්දඹුව කොරසෝන් අකීනෝ (Corazon Cojuangco Aquino)1986 ජනපතිවරණයේ දී මාර්කෝස්ට එරෙහිව ඉදිරිපත් විය. සාක්ෂි සහිත වංචා , දූෂණ සහ මැර බලයෙන් මාර්කෝස් ජනපතිවරණය ජයගත්තද එම ජයග්‍රහණය ප්‍රතික්ෂේප කළ හමුදා මෙහෙයුමකින් මාර්කෝස් සහ බිරිඳ ඉමෙල්ඩාව රටින් නෙරපන ලදි. පිලිපීනයේ 11 වැනි ජනපතිවරයා ලෙස බෙනිග්නෝ අකීනෝගේ ගේ බිරිඳ කොරසෝන් අකීනෝ පත් වූ අතර පසුකලෙක 15 වැනි ජනපතිවරයා ලෙස අකීනෝගේ පුත් බෙනිග්නෝ අකීනෝ III තේරී පත්විය. පිලිපීන ඉතිහාසයම ලෙයින් අඳුරු කළ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් සහ යකඩ සමනලිය ඉමෙල්ඩා මාර්කෝස් පිලිපීනයෙන් නෙරපූ පසු විප්‍රවාසගත ව විසූහ. කුරිරු පාලක මාර්කෝස් වෙනත් දේශයක දී අවසන් සුසුම් හෙළීය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment