අත්හැරීම


"මේ ඉන්නේ මිස්ටර් ශ්‍රීනාත් " කියලා කියන සද්දෙට මම ඔළුව උස්සලා බැලුවා. ප්‍රියානි , ඒ කිව්වේ අපේ සෙකට්‍රි , වයස විසි දෙකක විතර පිරිමි ළමයෙක් එක්ක මගෙ මේසේ ඉස්සරහා ඉන්නවා. ටයි නොට් එකයි අලුත්ම ෂර්ට් එකයි දැක්ක ගමං තේරුණා ඔෆිස් එකට අලුත් ඉන්ටර්න් ළමයෙක් ඇවිල්ලා බව. " මිස්ටර් ශ්‍රීනාත් තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ අයි.සී.ඕ" ප්‍රියානි ඇදලා පැදලා අලුත් ළමයට මාව අඳුන්නලා දුන්නා. ඒ ප්‍රියානිගේ හැටි. උදේට දැක්කාම ගුඩ් මෝනිං කිව්වොත් මෝනිං එකේ 'නිං"  ඉවරවෙනකොට දවල් කෑම වෙලාවත් ළං වෙලා. වැඩ අතින් බැලුවත් ලොකු වෙනසක් නෑ. අද වැඩට ආපු ළමයට එක පාරටම මේ තමයි අයි.සී.ඕ කියලා පෙන්නුවාම ඒ ළමයා හෙට ඉඳන් සැලියුට් ගහන්නත් බැරි නෑ. "ඉන්ටර්නල් කන්ට්‍රෝල් ඔෆිසර්" කියලා හිනාවෙලා මම ආයෙම මගේ වැඩ පටන්ගත්තා. අලුත් ළමයා ගොළුබෙලි ගමනින් අනිත් මේසයට ඇදෙන ප්‍රියානිගේ පස්සෙන් ගියා.
දවල්ට කෑම කනකොට තමයි මතක් වුණේ අවුරුද්දකට කලින් හිටිය ඉන්ටර්න් ළමයාව. එයාගේ නම මොකක්ද කියලා මතකෙට එන්නෙත් නැති තරම්. එරන්දි ! අන්න හරි. එරන්දි තමයි අපේ එකවුන්ටන්ට් යාලිනීට ලැබුණු ගෝලයා. යාලිනී එක්ක සෙල්ලම් බෑ. නීතියට , අකුරට වැඩ. එයාට ටැක්ස් ෆයිල් ටික ඉවර කරන්න ඇසිස්ටන්ට් කෙනෙක් ඕනේ කියලා ගෙනිච්ච අරගලයේ ප්‍රතිඵලය තමයි එරන්දි. කොහොමත් යාලිනී බලාපොරොත්තු වෙන ජාතියේ ගෝලයෙක් හොයලා දෙන එක නම් මේ ලෝකේ මොනම එච්. ආර් ඩිපාර්ට්මන්ට් එකකටවත් කරන්න බැහැ. එයා කොණ්ඩෙට ගහන පිච්ච මල් වලටත් ඉන්වෙන්ට්‍රියක් මේන්ටේන් කරනවා ඇති කියලා මටම හිතුණ අවස්ථා තිබුණා. එහෙම කෙනෙක් යටතේ වැඩට ආව එරන්දි ගොළුවෙක් නෙමෙයි කියලා තේරුම් ගන්න අපිට සුමාන ගාණක් ගියා.
"මොකක්ද යාලී, ඔයාගේ ගෝලයට ටිකක් පොඩ්ඩක් ෆැශනබල් විදියට අඳින හැටි කියලා දෙන්නකෝ." දවසක් වසන්ත විහිළුවෙන් වගේ යාලිනීට කිව්වා. ඒ වෙනකොටත් එරන්දි ගැන ඩිපාර්ට්මන්‍ට් එකේම තිබ්බේ කිරෙන් බාල වුණා වගේ හැඟීමක්. ඒ ළමයා උදේ දවල් නොබලා එක්සෙල් ෂීට් එකක් අප්ඩේට් කරනවා ඇරුණාම සීට් එකෙන් නැගිටින්නේ ටොයිලට් එකටයි දවල් කෑමටයි විතරමයි. මල් මල් ස්කර්ට් බ්ලවුස් කෑලි ඇඳගෙන කරබාගෙන ෆයිල් කන්දරාවක් පරිගණක ගත කරන මේ ළමයා ගැන යාලිනී ගේ හිතේ අනුකම්පාවකුත් හටගෙන තිබුණා. " ඉට්ස් නොට් නයිස් ශ්‍රීනාත්... ඇන්ඩ් ටෙක්නිකලි රෝන්ග්" දවසක් යාලිනී දවල්ට කන ගමන් මා දිහා බලලා කිව්වා. "ඉන්ටර්න්ශිප් කියන්නේ මේකට නෙමෙයි. අපි ඒ ළමයට දීලා තියෙන්නේ ඩේටා එන්ට්‍රි ජොබ් එකක්" දැරණියගල පැත්‍තේ ඉස්කෝලෙකින් කැම්පස් ඇවිල්ලා බෝඩිමක නැවතිලා ඉගෙන ගන්න ළමයෙක්ගේ ශ්‍රමය ඉන්ටර්න්ශිප් එකක් නාමයෙන් හූරං කන එක ගැන යාලිනී කම්පා වුණා. " පව්. දවසම වැඩ කරනවා. ඒත් අපි කීයද ගෙවන්නේ ශ්‍රීනාත්." පැයටම ගණන් හදලා කිව්ව යාලිනී එරන්දිගේ බස් ගාස්තු ඉතිරි කරලා දෙන්න කියලා එරන්දිව ත් උදේ හවස එයාලාගේ කාර් එකේම දාගෙන ගියා. " ඒ වෙලාවටත් අහන දේකට උත්‍තර දෙනවා ඇරෙන්න කිසි කතාවක් නෑ. ඔහේ ඉස්සරහ බලං යනවා" යාලිනී දවසක් එරන්දි ටොයිලට් ගිය වෙලාවක මා එක්ක කිව්වා. " සුරේෂ් වෙලාවකට මටත් එක්ක බණිනවා. පව් මේ ළමයා කියලා. සුරේෂ් කියනවා හරි නම් අපේ ඉන්ටර්න් පොලිසි එක ගැන කම්ප්ලේන් කරන්න ඕනේ කියලා" යාලිනීගේ මහත්තයා නීතිඥයෙක් නිසා එයාට හැම දේකම නඩු නිමිති පේන ලෙඩක් තියෙනවද කොහෙද. සුරේෂ්ට කඩවසම් පෙනුමක් තිබුණට හිතන පතන විදියෙන් යාලිනීට දෙවැනි නෑ වගේ. මේ ජෝඩුවත් එක්ක ළමයි කොහොම ජීවත් වෙනවා ඇතිද කියන එක හිතනකොටත් ඇඟ හීතල වෙනවා.
ඔය අතරේ එරන්දිට පැපොල හැදිලා සුමාන දෙකක් ගෙදරට වෙලා ඉන්න වුණා. හිටියත් නෑ වගේ නිසා කවුරුත් චාරිත්‍රයට වගේ ඇහුවා මිසක් වැඩිපුර උනන්දු වුණේ නැහැ. මේ අල්ලපනල්ලේ දැනට ඉන්න ඉන්ටර්න්ස්ලාව ස්ථිර පදනමට බඳවගන්න අදහසක් තියෙන බවයි කැමති අයට අයදුම් කරන්න පුළුවන් කියලයි එච්. ආර් එකෙන් සර්කියුලර් එකක් ආවා. අපේ බොස් එරන්දි ගැන යාලිනීට මතක් කරනකොටත් යාලිනී විස්තර හොයාගෙන ඉවරයි. "එයාම සිස්ටම් එකෙන් ඇප්ලයි කරන්න ඕනේ බොස්" කියලා කියපු යාලිනී දවසේ වැඩ අතරතුරේ කීප වතාවක් එරන්දිට කෝල් කළා. ඒත් එරන්දි හිටියේ දැරණියගල ඉඳන් කොළඹ එන්න පුළුවන් මට්ටමක නෙමෙයි. එරන්දිගේ පාස්වර්ඩ් නැතුව වෙන කාටවත් ඇප්ලයි කරන්නත් බැහැ. නිවාඩු ඉන්න කෙනෙක්ගේ පාස්වර්ඩ් එකකින් කම්පියුටර් එකකට ලොග් වෙනවා කියන්නේ ගෙදර යවන්න තරම් වැරැද්දක්. ඒ නිසා කාටවත් කරන්න දෙයක් තිබුණේ නැහැ.
ඇප්ලයි කරන්න තියෙන අන්තිම දවස ආවා. යාලිනී බොස්ට සිද්දිය කිව්වාම එයා එච්. ආර් එකේ ලොක්කට කෝල් කරලා එරන්දි ගැන වගේම එරන්දි වගේ කෙනෙක්ට පර්මනන්ට් වෙන්න ලැබෙන එකේ වටිනාකම ගැනත් පැහැදිලි කරලා තිබුණා. අන්තිමට එච් ආර් එකේ ලොක්කා එයාගේ සෙකට්‍රි නෝනා ඇන්ජලාට කියලා තිබුණා එරන්දිගේ පාස්වර්ඩ් එක ඉල්ලගෙන ඇප්ලයි කරන්න කියලා. දවස් හතරකට පස්සේ ඊ මේල් එක ඇවිල්ලා තිබ්බා එරන්දිව ස්ථිර පදනමට තේරුණා කියලා. අපි විහිළුවට දුවලා ගිහිං යාලිනීට සුබ පැතුවා. ඒත් සනීප වෙලා එයි කියලා හිතුවට එරන්දි ආවේ නෑ. ආයේ ඔෆිස් එන්නේ නෑ කියලා විතරක් මැසේජ් එකක් එවලා තිබුණා කියලා යාලිනී කිව්වේ හුඟක් කළකිරීමෙන්. ඊට පස්සේ ඒ ෆෝන් නම්බර් එක වැඩ කළේත් නැහැ. එරන්දිව බර්මියුඩා ත්‍රිකෝණයේ නැති වුණ නැවක් වගේ කාලයත් එක්කම අමතක වෙලා ගියේ එහෙමයි.
ඇන්ජලාව මතක් වුණත් එක්කම මගේ මනෝ ලෝකේ බිඳ වැටුණා. දැනුයි මතක් වුණේ උන්දැට ගෙදර වැඩට කෙනෙක් හොයලා දෙන්න කියලා පල්ලියේ මංගල්‍යය දවසේ කිව්ව බව. මම ඉක්මණට ඇන්ජලාගේ ගෙදරට කෝල් එකක් අරගත්තා. පැන්ෂන් ගිහිං ඉන්න නිසා දවසම පල්ලියට වෙලා අරවා මේවා සංවිධානය කර කර ෆාදර්ට වදයක් වෙන එක තමයි එයාගේ මේ දවස් වල රස්සාව. කතාව ටිකෙන් ටික එරන්දි දිහාවට ඇද ගන්නකොට ඇන්ජලා ගිය සතියේ මල්ලිකා හේමචන්ද්‍ර එකෙන් නෙක්ලස් එකක් ගත්ත බවයි , මාස දෙකකට කලින් ඩුබායි ටුවර් එකක් ගිය බවයි මමත් දැනුවත් වුණා. ඒ විතරක් නෙමෙයි. ඒ ගොල්ලන්ගේ උඩ තට්ටුවේ බාත් රූම් එකට අලුත් සින්ක් එකකුත් අල්ලලා. කොහොම හරි ඇන්ජලාට එර්න්දිව මතක තිබුණානේ. " අයියෝ ! දැට් පුවර් ගර්ල්. " ඇන්ජලා දුක් වුණා. " හරීම ඉනසන්ට් ගර්ල් කෙනෙක් ශ්‍රීනාත්. මම කෝල් කළාම කතා කළේ බයේ ගැහි ගැහී " . ඇන්ජලාට ඒ කාලේ තිබුණ රැස් මාලාවේ හැටියට ඒ ළමයා බය වෙන එක නම් අහන්න දෙයක් නෑ. එරන්දි එදා පර්මනන්ට් කාඩර් එකට ඇප්ලයි කරන්න ඕනෙම නෑ කියලා කියා හිටිය බවක් ඇන්ජලා ඊට පස්සේ කිව්වා. " ඒ මොකෝ ! මහ විකාරයක්නේ " මගේ කතාවට ඇන්ජලා එකඟ වුණා. " යාහ් මෙන් .. රියලි ඇබ්සර්ඩ් .. කොච්චර හොඳ ඔපර්චුනිටි එකක්ද ඒ ? අනිත් එක අපි මේ තරම් අවුට් ඔෆ් ද වේ ගිහිං වැඩ කරනකොට .." ඇන්ජලා කේන්තියෙන් කිව්වා. අන්න මතුවෙනවා විශ්‍රාමික දේවදූතිය වෙන්න කලිං අපේ ඔෆිස් එකේ හිටිය බලගතු ලේකම්වරිය. "හැබැයි මම නිකම් හිටියේ නෑ. අයි ස්කෝල්ඩඩ් හර්. හොඳටම බැණලා තමයි පාස්වර්ඩ් එක අහගෙන ඇප්ලයි කළේ" ඇන්ජලා ආඩම්බරෙන් කිව්වා. "පාස්වර්ඩ් එක සුරේෂ්123 . මට තාමත් මතකයි" ඇන්ජලා ආයෙම කතාව පටන් ගත්‍තා. ඊට පස්සේ මම තව මොනවදෝ කිව්වා වගේ මතකයි. ඔළුව කැක්කුමක් ආපු නිසා එයා ඒවට මොනවා කිව්වද මතක නැහැ. බාගදා ලබම අවුරුද්දේ ගෙදරට ගාන්න ඉන්න තීන්ත වල පාට කිව්වා වෙන්නත් ඇති. කොහොම හරි මට එයින් එහාට හරියටම මතක නැහැ.
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. Superb මලයා. ජීවිත වල හැංගිච්ච කොං කාට කොයි වෙලේ කොහොම පේනවද කියලා දෙයියෝ තමා දන්නෙ

    ReplyDelete
  2. අඩේහ් මේක මට මිස් වුනේ කෝමද බන්?

    උඹ බුකුයේ දැම්මේ නැද්ද?

    පට්ට !!

    ReplyDelete