1951 වසරේදී එරික් ස්වෝන් නම් වනජීවී ඡායාරූප ශිල්පියා තමන්කඩුව විල්ලුවේ දී ඇතින්නකගේ ප්‍රහාරයට හසුව මිය ගියේ අලි ඇතුන් කුපිත කරවා ඡායාරූප ගැනීමේ වීර වික්‍රමයේ අවසානය සුසානයෙන් සනිටුහන් කරමිනි. පසුකාලීනව ලාංකීය සිනමාවේ නම දිනූ සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ විලියම් බ්ලේක් ද එදා එරික් ස්වෝන් සමග සිටි ඡායාරූප ශිල්පීන් අතර විය. ඔවුන් අත කැමරාවලට අමතරව බෝර තුවක්කු සහ රයිෆල් ද වූ බව ඔවුන්ගේ ප්‍රකාශ වල සඳහන් විය.
එරික් ස්වෝන්ගේ අවසාන - මරණීය ඡායාරූපය |
මේ සියල්ලම අතරේ එරික්ට පහර දී මරා දැමූ ඇතින්න මරා දැමිය යුතු බවට ඔහුගේ මිතුරන් විසින් යෝජනා කර තිබිණ. එය පුවත්පත් වල පළ වීමත් සමග ,එයට පක්ෂව සහ විපක්ෂව ලියූ ලිපි ගලා එන්නට විය. මෙරට පළමු අධිකරණ ඇමති ලාලිත රාජපක්ෂ මහතා ඒ පිළිබඳව පුවත්පතකට මෙසේ ලිපියක් ලියා තිබිණ.
"එරික් ස්වෝන් ගේ වැන්දඹුව සහ පවුලේ අයගේ ශුභ සිද්ධිය උදෙසා අරමුදලක් පිහිටුවීමේ පුවත අසා අතිශය සතුටට පත් වීමී. වනජීවී ඡායාරූප රසිකයින්ද ඒ සඳහා සහාය දක්වනු ඇතැයි සිතමි. මගේ සම්මාදම වශයෙන් රු. 100/- ක චෙක්පතක් මේ සමග අමුණා එවමි. මේ සමගම "ඇතින්න ඝාතනය කිරීමේ යෝජනාව " ඉවතහෙළන ලෙස එරික් ස්වෝන්ගේ සහෝදරයා ඇතුළු මිතුරු කැළට යෝජනාවක් ද කරනු කැමැත්තෙමි. ඇතින්න ජීවත් වූ ඇගේ රාජධානියට බලහත්කාරයෙන් ඇතුළු වූ පසුව ඇය කැමරා සහිතව ගැවසෙන මිනිසුන්ට බිය වන්නට ඇත. මේ අහිංසක ඇතින්නක ඝාතනය කිරීමට කිසිවෙක් හෝ එකඟ වේ යැයි මා නොසිතමි"
මිත්‍රවරුනි ; අනෙක් ජීවීන් පිළිබඳව මිනිසාගේ කියැවීම මානව කල්ප වානරයින්ගේ සිතැඟි වලට වඩා මහා දියුණුවකින් වියුක්ත බව අපට පහදන්නේ දසක හයකට මෙහා ඉන්දියන් සාගරයේ කොණකට වන්නට පිහිටි දූපතක වූ ඒ සිදුවීමය.
ඡද්දන්ත ජාතකයට අනුව සුභද්‍රාව දොළදුකට ඉල්වා සිටින්නේ ඡද්දන්ත නම් බෝසත් හස්තිරාජයාගේ රිදී පැහැ දළ දෙකය. අවසානයේ හස්ති රාජයා විසින්ම දළ දෙක වැදි පුත්‍රයා වෙත පුදන්නේ මතුදිනෙක බුදු බව පතමිනි. ඒ බව රබන් කවි වල ගැයෙන්නේ මෙලෙසිනි.
එදා එ ඇතු විදුමට ආ වැදි හට
පුදා එ දළ දෙක දීලා දෑතට
මෙදා මෙ බුදු බව ලැබු මාතා හට
පුදා වඳිමු අපි මල් ගෙන දෝතට
ඇතුන්ගේ දළ පැහැරගන්නේ මස් වැද්දන් බව අපට කියන ඡද්දන්ත ජාතකය එදා වේදනාවෙන් ලේ වගුරුවාපියා තම දළ දන් දුන්නේ බෝසතුන් බව ද කියා දෙයි.
දළ යුවළ නිසා වේදනාවට පත් බෝසත් ඇතෙක් ගැන උගත් අප සංස්කෘතිය යැයි ඉගෙන ගත් දෙය පුරාම ඇත් දළ වලට අනිසි වටිනාකමක් ලැබෙන අයුරු දැක , එනොදැක්කා සේ බලා හිඳිමු. මස් වැද්දන්ම මඬින්නට යෝජනා කරමු. සුභද්‍රාවෝ රජ බිසවක නිසා ඇයට චෝදනා නොකරමු.
මිත්‍රවරුනි ;
ගෙන එන්නෙකුට ගම්වර පසක් දෙමියි සුභද්‍රාව උත්කර්ෂයට නගන තෙක්ම කසී රට සැට දහසක් මස් වැද්දන්ට ඇත් දළ ගැන ලොබක් උපැද තිබුණේම නැත.
++++++++++++
ReplyDeleteවන සත්ව ජීවිතය ගැන ඔබේ අගනා ලිපියට ස්තූතියි!ඡායාරූප වචන දාහකින් කියන්න බැරි යමක් සන්සුන්ව කියා දෙයි.අහිංසක ඒ ජීවිත ,ඔවුනගේ දුක,වේදනාව කෙසේනම් අපට පවසන්නද?ඔවුන් වෙනුවෙන් ඔබ කරපු මේ අගනාදේට ස්වභාවධර්මය ඔබට ආරක්ෂාව සලසාවි!
ReplyDelete