කබායක් පැළැඳි මැදිවියේ කත


" අලුතෙන් බලන්න දෙයක් නෑ අනේ. දස පනතම තමයි. අක්කටත් එවලා තිබුණේ " මම සිනාසෙන්නට වීමි. යුක්‍රේන ජාතික මිතුරිය තවමත් කාමරයට පැමිණ නැත. අම්මාගේ ස්කයිප් ඇමතුමට නැවතීමේ තිත තැබූ මම ඒ ලියුම සොයන්නට ගතිමි. ආච්චි මිය යන්නට පෙර එවා තිබූ මේ ලිපිය මට මග හැරෙන්නේ ඒ දිනවල විභාගයකට සූදානම් වෙමින් සිටි බැවිනි. " හැබැයි ඉතින් ... අපරාදේ කියන්න බෑ. ආච්චිගේ පැත්ත පළාතකින් යන්නේ නෑ මිණිබිරියෝ දෙන්නා " අම්මාගේ දෝෂාරෝපණයද මා දුන් පිළිතුරද සිහියට නැගේ " ක්‍රිස්ටීන් ලූ රෙටන් ලා දෙන්නෙක් මොකටද ? මට සඳපා වීරකෝන් වුණාම හොඳටෝම ඇති "

" ආදරණීය සඳපා වෙත ... "
යනුවෙන් ලිපිය ඇරඹී තිබිණ. ආච්චිගේ ඉංග්‍රීසි අකුරු කවදත් ලස්සනය. ඇය ඇමරිකානු කාන්තාවක් වීම මගේ මිතුරියන්ට සහ පාසලේ ගුරුවරියන්ට මහත් ආහ්ලාදයක් ගෙන දුන්නද මට නම් ඒ පිළිබඳව තිබුණේ උදාසීන හැඟීමකි. ආච්චි අපට ආදරය කරන්නේ ද ඇමරිකානු මෝස්තරයටයැයි තාත්තා සිනහවෙන හැටි සිහියට නැගේ." මමා එක්ක ඉන්න එක හොස්ටල් එකක ඉන්නවා වගේ. යූ ෂුඩ් වෙල් ඩිසප්ලීන්ඩ්.. අදර්වයිස් - ෂී විල් ස්මැක් යූ". අම්මා ද ඒ සිනහවට එකතු වන්නීය.

“ ජීවත් වෙන්න තියෙන්නෙ තව බොහොම ටික කාලයයි. දෙවියන් වහන්සේ අඬගහන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා.  ඒත් සඳපාට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඔයාට විතරක් ලියුමක් එවනකොට අනිත් අය සැක හිතන නිසා මම අක්කටත් නිකම් ලියුමක් යැව්වා" එවදන් දැක මා මවිතයට පත් වූ නමුත් ලියුම කියවීම නතර නොකළෙමි.

"1963 නොවැම්බර් 28 වෙනිදා මම ලංකාවට ආවේ තනියම නෙමෙයි. ඩලාස් වල හිටිය මගේ බෝයිෆ්‍රෙන්ඩ් බේලා එක්ක. එයා තමයි ලුමුම්බා වලදි ඔයාගේ සීයාගේ රූම් මේට්. මට වඩා අවුරුදු 8 ක් බාල වුණාට බේලා මට හුඟක් ආදරෙන් හිටියා. ඒත් ..... "

මා ලිපිය පසෙකින් තබා ආච්චීගේ ඡායාරූපයක් සොයා ලැප්ටොප් එක පීරන්නට වීමි. අප දන්නේ ඇය ලුමුම්බා සරසවියේදී ඇතිවූ ප්‍රේමයක් නිසා මෙහි පැමිණ සීයා සමග විවාහ වූ බවය. සීයා වෛද්‍ය වෘත්තියේ නිරත වද්දී ආච්චි සාර්ථක ලෙස බේකරියක් පවත්වාගෙන ගියාය.අදටත් අප පවුලේ ව්‍යාපාරය එයය. මා අසා තිබූ කතාවට අනුව "බේලා බේක් හවුස්" ලෙස නම යෙදුවේ ළමා වියේදීම මියගිය ඇයගේ එකම සොහොයුරා සිහිවන්නටය ආච්චි කිසිදිනෙක ලංකාවෙන් බැහැරව නොගිය අතර ඇගේ කිසිදු ඥාතියෙක් පිළිබඳව කතා කරන්නට උනන්දු නොවීය. "මම ඇමරිකාව එහේ තියලා ලංකාවට ආවේ" ඒ ඇයගේ සුපුරුදු පිළිතුරය.

"සඳපා ... මම ඒ වෙනකොටත් කසාද බැඳපු කෙනෙක්. ජොනතන්ට සැක හිතිලා තිබුණේ බේලා ගැන. මට අනතුරු අඟවලා තිබ්බේ කවදාහරි අහු වුණොත් දෙන්නවම මරනවා කියලා. ජොනතන් ට එහෙම කරන්න බැරි කමක් නැහැ. එයා හොඳ මිනිහෙක් නෙමෙයි. බිස්නස් ඔක්කොම කළේ පාතලයත් එක්ක සම්බන්ධකම් වලින්" එසේ පැවසූ ආච්චි ජොනතන් සහ බේලා පිළිබඳව දීර්ඝ විස්තරයක් කර තිබිණ.
ජොනතන් ඇමරිකාවෙන් බැහැරව සිටි දිනයක ඇය මෙසා සිට දවස් එකහමාරක් ගත කරමින් ඩලාස් බලා යන්නේ බේලා මුණගැසෙන්නටය. ඒ 1963 නොවැම්බර් 22 වෙනිදාය. ආච්චි බේලා පැමිණෙන තෙක් නගරයට පැමිණෙන ජනපති කෙනඩි ප්රමුඛ රථ පෙරහර බලන්නට තීරණය කරන්නීය. "මම කාටවත් අඳුනගන්න බැරි වෙන්න මුළු ඇඟම වැහෙන්න ඇඳලා සන්ග්ලාස් දාලා හිටියේ " නමුත් ජනපති ජෝන් එෆ් කෙනඩි ට වෙඩි වදින්නේ ඔහුගේ සහ ක්‍රිස්ටීන් ලූ රෙටෙන්ගේ අවාසනාව එක්වර උදා කරවමිනි. ජනපතිවරයා ඝාතනය විය. හිස් ලූ ලූ අත දිව ගිය පිරිස ඡායාරූප වලට හසුව තිබිණ. ඔවුන් පසුව පැවති ෆෙඩරල් පරීක්ෂණ සඳහා සහයෝගය දක්වද්දී ආච්චි පමණක් දෙකොණ ඇවිළුණු විලක්කුවක් සේ දැවෙන්නට විය. තැඹිලි පැහැ කබායකින් සැරසී ගත් මැදිවියේ කාන්තාවක් පමණක් තම අනන්‍යතාව හෙළිකිරීමට ඉදිරිපත් නොවීම පරීක්ෂකයින්ගේ සැකයට හේතුවක් විය.


"මට අයේ මෙසා වලට යන්නත් බැහැ.එහෙන් බබුෂ්කා වුමන් කියලා නමකුත් දාලා මගේ ෆොටෝ එක හැම පත්තරේම යන්න ගත්තා. පොලිසියට අඳුනන්න බැරි වුණත් ඩලාස් කියපු ගමන් ජොනතන් දන්නවා ඒ මම තමයි කියලා. කොහේ කියලා හැංගෙන්නද ? බේලා අන්තිමට කිව්වා ඇමරිකාවෙන් පැනලා යමු කියලා" ආච්චි ඇගේ පෙම්වතා සමග ලංකාවට පැමිණෙන්නේ එලෙසිනි. දින කිහිපයකට පසු ඇයව සීයාගේ ආරක්ෂාවට භාර කරන රුමේනියානු මිතුරා , බේලා නැවතත් ඇමරිකාව බලා යන්නේ අළුත් ජීවිතයකට අවශ්ය දෑ සූදානම් කරගෙන එනු පිණිසය. "එයා ගොඩ බැස්ස ගමන් දාපු ලියුම ලැබුණා. ඒත් එතනින් එහාට කිසිම ආරංචියක් නෑ සඳපා. මම දන්නවා ජොනතන් ගැන. ඌ බේලාව මරන්න ඇති. මම ලංකාවේ ඉන්න බව අහුවෙන නිසා මට කාටවත් කතා කරන්නත් බැරි වුණා" අවුරුදු දෙකක් බේලා වෙනුවෙන් බලා සිටින ආච්චී අවසානයේ අපේ සීයාව සමග විවාහවන්නීය. අම්මා උපදින්නේ ඉන් අනතුරුවය.

"සඳපා රුසියාවේ ආවේ අකැමැත්තෙන් කියලා මම දන්නවා. ඇමරිකාවට යන්න ආසාවක් තිබුණට මම උදව් නොකළේ ඇයි කියලා දැන් තේරෙනවා නේද ? මට මගේ රට එක්ක කිසිම ගනුදෙනුවක් පවත්වන්න බැහැ. මට කරන්න කිසිම දෙයක් නෑ සඳපා. මම ඇමරිකාවෙන් එද්දි ක්‍රිස්ටීන් මැරුණා. දැන් එහේ ඉන්නේ පත්තරකාරයෝ හදපු "බබුෂ්කා ලේඩි" කෙනෙක්. වෙලාවක ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලන්න. "

ලියුම තවමත් මා ළඟය. අද වනතුරුම බබුෂ්කා කාන්තාව ගැන කිසිවක් සොයා නොබැලීමි. බේලා සහ ක්‍රිස්ටීන් නැති ලොවෙක ඒ පිළිබඳ වද වීමෙන් පලක් නැතැයි සිතේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: