කැමැත්ත හා පෙරමඟුල


සුමේධා කසාද නොබඳින්නේ බය නිසා කියලා කියපු දවසෙ මුළු ඔෆිස් එකම බිරන්තට්ටු වුණා. "ඒ කියන්නේ එයාට බය කියලත් දෙයක් තියනවා" සුමේධා නැති තැන කට්ටිය කුටු කුටු ගාපු එකෙත් වැරැද්දක් නැහැ. ඔෆිස් එකේ හැමදේකම මූලිකත්වය ගන්න සුමේධා මොන දේකටවත් බයයි කියලා හිතන්න අමාරුයි. මළ ගෙදරක යනකොට ගෙනියන්නේ චොකලට් බිස්කට් ද නයිස් බිස්කට් ද කියන එක වගේම උපන්දිනයකට නම් කේක් ගේන්න ඕනේ ෆැබ් එකෙන් ද ස්පොන්ජ් එකෙන් ද කියලත් තීරණය කළේ එයා. එක ඔෆිස් වෑන් එකේ යන හින්දා සුමේධාව ආශ්‍රය කළාට මම කළේ ප්‍රධාන නිළියට සබන් කෑල්ල ගෙනිහිං දෙන චරිතේ විතරයි. වෑන් එකේදි වුණත් ට්‍රැෆික් දවසට යන්නේ බොරැල්ලෙන් ද පුංචි බොරැල්ලෙන්ද කියන එක තීරණය කරන සුමේධාට සිංදු අහන්න හිතුණොත් වෙනදට සිංදු කියන රූකාන්ත කට වහගෙන නානා මස්කුරීට ඉඩ දෙනවා. වෙසක් භක්ති ගීත කියන්න සුදු සාරියක් ඇඳගෙන එහෙ මෙහෙ දුවද්දියි නත්තල් කැරොල්වලට රතු ලෝගුවක් ඇඳගෙන පාවෙද්දියි මමත් එයාගෙ පස්සෙන් ඇදුණා. වයස තිස් අටක් වුණාට, බඩ පේන්න සාරි අඳින තරමේ ලස්සන ඇඟක් එයාට තිබුණා. ටිකක් අයිශ්වර්යා වගේ වුණත් ඊරිසියාව නිසා වෙන්න ඇති කවුරුත් ඒක මූණට කිව්වේ නැහැ. ඇන්ජලා නම් පරණ තරහක් තිබුණ නිසා"අයිශ්වර්යාගේ ෆොටෝ කොපියක්" කියලා හිනා වුණා. මාකටිං එකේ කට හැකර කොල්ලෙක් කියලා තිබ්බා "ෆොටෝ කොපියක් නෙමේ, ෆැක්ස් කොපියක්" කියලා. ෆැක්ස් එකක් එනකොට පාට වෙනස් වෙලා ඇද වෙලයි එන්නේ කියන එක මටත් තේරුණේ පස්සේ. "ඌ ජේ. වී. පී කාරයෙක්. ආනන්දේට ගියා කිව්වට හෙණ ගොඩයෙක්" සුමේධා එදා දවසම කළේ අර කොල්ලාට බණින එක. එයත් එක්ක දවල් කෑමට යාමේ වරප්‍රසාදය හිමි වුණු මට තිබ්බේ එයා කියන ඒවා අහං ඉන්න විතරයි. 


"කසාද නෙමේ තව පොඩ්ඩෙන් මට පිස්සු හැදිලයි නවතින්නේ" ඔන්න ඉතිං සුමේධා එක හේතුවක් මාත් එක්ක කියන්න ගත්තා. දහම් පාසලේදි පළමුවෙනි ධර්ම සංගායනාව ගැන උගන්නනකොට වගේ එයාටත් හැමදේකටම ආසන්න හේතු, දුරස්ත හේතු හුඟක් තිබුණා. සුමේධා ඒ කාලේ යාළුවෙලා ඉඳලා තිබ්බේ පොත්පත් උත්සවවලට යන, පත්තරේ නම වැටෙන කලාකාරයෙක් එක්ක. "මම ප්‍රභාත් නිසා පොත් කියවන්නත් ගත්තා". සුමේධා කියන විදිට නම් එයා 'උතුම් පැතුම්' පොත සම්පූර්ණයෙන්ම කියවලා තියනවා. "ඒත් වැඩක් වුණේ නෑ අනේ. ප්‍රභාත් කියවන්නේ සිංහලත් නෙමෙයි. අර තඩි වඳුරා ඉන්න පොත මොකක්ද ?"එහෙම ඇහුවට මම දන්නවද ප්‍රභාත් කියවපු පොත් ? ටාර්සන් නෙමෙයි කිව්ව සුමේධටම මතක් වුණා ඒ මහා භාරතය කියලා."ඔක්කොමත් හරි. කියන මළ දානයක් තේරෙන්නේ නෑ අනේ. එයා පවුලට කියන්නේ කුටුම්බෙද මොකක්දෝ කියල" සුමේධා තොල කණපිට හැරෙව්වා. එහෙම නම් අමාරුයි. මමත් එකඟ වුණා. 


මහා භාරතය නිසා හිත රිදිලා ඉන්න සුමේධගේ පිහිටට එන්නේ නෑදෑ ජෝඩුවක්. "රජී අක්කල නොකියවපු පොතක් නෑ. ඒ කපල් එක වෙරි ඕපන් මයින්ඩඩ්" ඔන්න සුමේධා ඥාති වර්ණනාව පටන් ගත්තා. මොනවා නැතත් සුමේධාට අපිටත් එක්ක ඇතිවෙන්න නෑදෑයෝ ටිකක් හිටියා. එයාලා මළ ගෙදරකට ගියොත් මිනියටත් වඩා කැපිලා පේන ජාතියේ කට්ටිය. "වෙන එකක් තියා බැන්ද දාකට ෆේස්බුක් යූස් කරන විදිය හිටං එයාලා ඇඩ්වයිස් කළා"අෂ්ඨක කියන කෙනාට පිටිපස්සෙන් රජී අක්කා ලැප්ටොප් එකක් අරං ඉන්න හැටි මට මැවිලා පෙනුණා. "බැන්ද වුණත් ගැලපෙන්නේ නැත්නම් හොඳම දේ දෙන්නා සෙපරේට් වෙන එක" කියලා කියපු රජී අක්කලා රණ්ඩු සරුවල් වෙවී පවුල් කන එක මෝඩ වැඩක් කියල කියා දුන්නලු. "ඒක නම් ඇත්ත" කියලා මගෙ කටින් ඉබේම පිටවුණා. "බම්බුව"සුමේධා ගිනි පිටවෙන ඇස්වලින් මා දිහා බලං හිටියා. මට මතක් වුණේම නාගීනා එකේ ශ්‍රී දේවිගේ ඇස් දෙක. "කාලයක් යනකොටයි දන්නේ. රජී අක්කලා රණ්ඩු වෙන්නේ නෑ. උන් අතින් පයින් ගහ ගන්නවා"


මාස ගාණකටපස්සේ සුනේත්‍රා නොහොත් අවිචාර සමය උදාවෙනවා. සුමේධලගේ පවුලේ හිතවතියක් වන සුනේත්‍රා නැන්දා එක දිගට වරුවක් වුණත් උපදෙස් දෙන්න හරිම දක්ෂයි. එයා සුමේධාට කිව්වලු "දුවේ, ඇත්ත ආදරේ කියන්නේ සල්ලිවලින් හරි රූපයෙන් හරි සමාජ තත්ත්වයෙන් හරි තමන්ට වඩා දුප්පත් කෙනෙක් බඳින එකයි" කියලා. ඔය කතා අස්සේ සුමේධට අවුරුදු නමයක්ම බාල, රස්සාවට ත්‍රීවීල් එළවන මධුරංගව මුණ ගැහෙනවා. "හරියට ඇන්ටෝනියස් බන්ඩාරේස් වගේ" කොහොමත් පාස්කු නාට්‍ය පවා බලන්න යන නිසා ඕනේ නළුවෙක්ව දන්න සුමේධාගේ ඇස් දිලිසුණා. දවසක් සුමේධා මධුරංගට කෝල් කරලා තමන්ගේ හිතේ තියෙන දේවල් කියලා. එදා ඉඳන් මධුරංගගේ ෆෝන් එක ඕෆ් නිසා බැරිම තැන සුමේධා ත්‍රීවීල් පාක් එකට ගිහිං එයාව මුණ ගැහුණලු. "සුනේත්‍රා නැන්දා තමයි මගේ ඔළුව අවුල් කළේ. නැත්නම් මට මොකටද අනේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ස්ලා"සුමේධා නෝක්කාඩු විදියට මගේ අතට ගැහුවා. මධුරංගත් එදා සුමේධාට කියලා තියෙන්නේ පුදුම හිතෙන කතාවක්. "අනේ මිස්. මොකුත් හිතන්න එපා. සුනේත්‍රා නෝනා ඔය කතාව මාත් එක්කත් කියලා තියනවා. මමත් කවදාහරි බඳින්න හිතන්නේ මටත් වඩා දුප්පත් කෙනෙක්වමයි. ඉතිං මට බැහැ මිස් වගේ කෙනෙක් එක්ක යාළුවෙන්න"එහෙම කියපු මධුරංග මාස දෙකකට පස්සේ බේකරියේ මුදලාලිගේ දුව එක්ක පැනලා ගියා. "ඔයා කියන්න අනේ? එපා වෙන්නේ නැද්ද" සුමේධා අහනවා. මටත් එපා වෙනවා. 


සුමේධා තවම කිව්වේ ඔය ප්‍රශ්න ටික විතරයි. ඒවා ඔළුවට බරක් නිසා එයාට බඳින්න තියා ඒ ගැන හිතන්නවත් බැහැලු. ඒ කතාව ඇත්තක්ය කියලා මටත් හිතෙනවා. බඳින්නේ නැත්තේ ඇයි කියලා තාම නම් අහන්නේ සුමේධාගෙන් විතරයි. මගෙන් ඇහුවොත් නම් මට අලුතෙන් හේතු කිය කිය ඉන්න ඕනෙ නැහැ. සුමේධාව පෙන්නුවම හරි. මට බැහැ සුමේධාට තරම් ලස්සනට ඒ වගේ දෙයක් පැහැදිලි කරන්න
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments: