Bodyguard : මායා විසින් ජංගම දුරකතනය විසි කිරීම


'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ? 

චිත්‍රපටය Bodyguard. කතාවේ හැටියට දිව්‍යා කියන්නේ ප්‍රාදේශීය ප්‍රභූ දේශපාලනඥයෙක්ගේ දුව. ඇය තමන්ගේ පුද්ගලික ආරක්ෂකයා විදියට යොදවපු ලව්ලි සිං ට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා දිව්‍යා තමන්ගේ ගෙදර නැවතිලා ඉන්න යෙහෙළිය මායා සමඟ එකතු වෙලා ලව්ලි සිං ට බොරු නමකින් දුරකතන ඇමතුම් දෙන්න ගන්නවා. ලව්ලි සිං ගැන ප්‍රේමයෙන් උමතු වුණු ඡායා නම් යුවතිය විදියට විහිළුවට ආරම්භ කරන මේ ඇමතුම කාලයක් යනකොට වෙනස් මානයකට යොමු වෙනවා. ලව්ලි සිං මේ කිසිදා නොදැකපු ඡායා ගැන ප්‍රේමයෙන් බැඳෙනකොට දිව්‍යා මෙතුවක් කල් තමන්ට එපා වෙලා හිටිය ලව්ලි සිං කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙනවා. නමුත් ලව්ලි සිං රාජකාරියට දක්වන ඇල්ම ගැන දන්න නිසා ඡායා කියන්නේ තමන් බව හෙළිකරන්න දිව්‍යා පැකිලෙනවා. එක්තරා දවසක ඡායා සහ ලව්ලි සිං මුණ ගැහිලා පැනලා යන්න තීරණය කරනවා. දෙදෙනා රාත්‍රී දුම් රියේ දී හමුවෙන පොරොන්දුව තියෙන අතර දිව්‍යාගේ පියා සර්තාජ් ට තමන්ගේ දුව සහ ලව්ලි සිං අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබෙන බවට සැකයක් ඇති වෙනවා. ඔහු ලව්ලි සිංට තර්ජනය කරන අතරේ ඉදිරිපත් වන දිව්‍යා ලව්ලි සිං පෙම් කරන තරුණිය තමන් නොවන බවත් ඔහු මේ මොහොතේ පවා දුම්රිය පොළට යන්නේ ඇය ව මුණ ගැසෙන්නට බවත් තම පියාට පවසනවා. ඒ වචන තාවකාලිකව පිළිගන්න සර්තාජ් ලව්ලි සිං පසුපස මැරයෙක් යවා ඔහු කිසියම් තරුණියක් සමඟ සිටියහොත් පමණක් ඔහුව මරා නොදමන්නැයි අණ කරනවා. 

මේ වගේ තත්ත්වයක ලව්ලි ව මුණ ගැසීමට දුම්රිය පොළට යන්නට නොහැකි නිසා දිව්‍යා වහාම තමන්ගේ යෙහෙළිය මායා ට මේ සිදුවීම හෙළි කරනවා. ඉක්මණට ලව්ලි ව මුණ ගැසී ඡායා යනු තමන් බව පවසා ඒ මොහොතේ එතැන ඔහුව මුණ ගැසෙන තරුණිය ලෙස රැඳී සිටින ලෙසට ඉල්ලා සිටිනවා. ලව්ලි සිං ගේ දුරකතනය මේ මොහොතේ ඔහු ළන්නග නැති නිසා මායා එතැනට ගිය පසු තමා මායා ගේ දුරකතනය අමතා ලව්ලි සිං ට සියල්ල පැහැදිලි කරන බවත් ඡායා පවසනවා. ඒ කියූ ලෙස ම මායා අවසාන මොහොතේ දුම්රිය පසුපස හඹා ගොස් ලව්ලි සිංගේ ආධාරයෙන් දුම්රිය ට ගොඩ වෙනවා. මේ සිටින්නේ 'ඡායා" කියා විස්මයට පත් වෙන ලව්ලි සිං ඇයව ආදරයෙන් වැළඳ ගන්නා විට සර්තාජ් එවූ මැරයා ඔවුන් සමීපයේ සිට බලා සිටිනවා. ඒ නිසා කිසිවක් හෙළි කරගැණීමට අපොහොසත් වූ මායා ට දිව්‍යාගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනවා. තවමත් ලව්ලි සිං ට තුරුළු වෙලා ඉන්න මායා එක සැණෙකින් මතු වෙන සිතිව්ල්ලකින් ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ධාවනය වන දුම්රියෙන් එළියට විසි කරනවා. එතැනින් එහාට දිව්‍යා ගේ පරිච්ඡේදය අවසන් වෙනවා. 

අදටත් අපි කාලෙකින් සම්බන්ධ කරගන්න බැරි වුණු චරිත, අතුරුදන් වෙලා ගිය චරිත, ආගිය අතක් නැති වුණු චරිත ගැන වද වෙනවා. ඒ අයට මොකද වුණේ කියලා කොයි තරම් විපරම් කළත්, කොයි තරම් හොයා බැලුවත් කිසිම ආරංචියක් නැහැ කියලා පසු තැවෙනවා. බාගදා ඒ අයත් එක්කම තව කවුරුහරි ත් අපේ ජීවිත වලින් අතුරුදන් වුණු බව අපිට තේරිලා නැතිවෙන්න, අපට නොදැනෙන්න පුළුවන්. ඒත් හරියට හොයලා බැලුවොත් ඔය එක පාර අතුරුදන් වෙලා තියෙන්න මේ වගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරලා , දුවන කෝච්චියෙන් එළියට විසි කරපු අය තමයි. එතන මොකද වුණේ කියලා තේරෙන්න නම් ඔබට ලව්ලි සිං ගැන අවධානයක් තියෙන්න ඕනේ. වැරදිලා හරි ඔබ ලව්ලි සිං ගැන ඒ තරම් වද වෙන කෙනෙක් නෙමෙයි නම් ඔබ මුළු ජීවිත කාලයේ ම , සමහර විට මරණ මංචකය දක්වා ම මායා ට මොකද වුණේ කියලා දුක් වෙයි. හැබැයි ලව්ලි සිං කියන්නේ ප්‍රේමය, ධනය හෝ මුදක් විතරක් ම නොවන බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. වෙලාවකට ලව්ලි සිං කියන්නේ දක්ෂතාව, කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසාව වගේ වෙන්නත් පුළුවන්. ජංගම දුරකතනය දුවන කෝච්චියෙන් විසි කළාට පස්සේ කොහොමද ලව්ලි සිං ඔබට ළං වෙන්නේ ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. ජංගම දුරකතනය දුවන කෝච්චියෙන් විසි කළාට පස්සේ කොහොමද ලව්ලි සිං ඔබට ළං වෙන්නේ ?

    ReplyDelete