විකට ඇඳුම්

අලුත් ඇඳුමක් කාරිය ඇඳලා, බෙල්ට් එකයි සපත්තු දෙකයි දාගෙන, කමිසය යට කරලා, හෙයාර් ජෙල් ටිකක් උලලා, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් මූණේ ගාගෙන පාරට බහිනවා නේද ? 

එදාට පාරේ ඇඳිරි නීතිය. එහෙම නැත්නම් දෙබර වදයක් ඇවිස්සිලා. සුනාමි අනතුරු සංඥා නාද වෙලා. එක්කෝ පිස්සු බල්ලෙක් පාරේ දුවනවා. එහෙම නැත්නම් නගර සභා කුණු ලොරිය පාර පුරා කුණු හලාගෙන ගිහිං. ඒ කියන්නේ  වර්ග සැතපුම් මහ ගොඩක් යනකං එක මනුස්ස පුළුටක් නෑ. මගේ ඇඳුම් ටිකයි මමයි විතරයි. කවුරුත් නෑ ඒවා දකින්න. 

විනාඩි පහකටනේ කියලා ඇඳං උන්න සකලබුජං කොට කලිසමට උඩින් ටී ෂර්ට් එකක් දාලා කොණ්ඩේ අතින් ඇදගෙන, කකුල් දෙක හෝදන්නෙත් නැතිව බාටා කෑලි දෙකක් දාගෙන පාරට බහින්න බලන්න. 

ෆේස්බුක් එකේ යාලුවෝ දුසිමයි, කලින් ඔෆිස් එකේ යාළුවෝ දුසිම් කාලයි, අවුරුදු ගාණකින් නොදැක්ක යාළුවෝ දෙන්නයි මුණ ගැහෙනවා. දහම් පාසලේ දී ට්‍රයි කරපු ගෑණු ළමයා වාහනේ නවත්තනවා. ඒ මහ දවල් කඨින පෙරහැර පාරේ යනවා. පොඩි කාලේ සැණකෙළියෙදි මගහැරුණු සහෝදරයාව මුණ ගැහෙනවා. ළඟම තියෙන කොන්වන්ට් එක කලින් අරිනවා. බාලිකා පාසලක උසස් පෙළ විනෝද චාරිකාව යන බස් එකේ රෝදේ හුළං යනවා. මහරැජණ ලංකා සංචාරයක නිරත වෙන්න ඇවිත් අත වනාගෙන යනවා. 

මම මාළු බෑක් එකක් අතේ තියාන තෙමිච්ච පූසෙක් වගේ පාර අයිනේ බලාගෙන ඉන්නවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Monawada ithin ,naraka welawa thamayi!Post eka keti unata rasawath.

    ReplyDelete
  2. සුභ නව වසරක්!
    මර්ෆි ගේ නීතිය, (Murphy's law ) කියන්නේ ඕකට තමයි.

    ReplyDelete