පුන්නකු සහ ඕට්ස් ! ලංකාවට අජීර්ණය වීම


2010 අවුරුද්දේ ජනවාරි 26 වැනි දා මේ රටේ 06 වැනි ජනාධිපතිවරණය පැවැත්වුණා. ජනාධිපතිවරණය දවසේ උදේ වෙනකොට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් වුණු සරත් ෆොන්සේකා ට ඡන්ද බලය නැහැ කියලා කතාවක් පැතිරුණා. ලංකාවේ ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලන සරත් ෆොන්සේකා තමන්ගේ ඡන්දය පාවිච්චි කරපු තැනක් දකින්න වුණේ නැහැ. ඒ එක්කම ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය තමන්ට පාරම්පරිකව පැවරුණු වගකීම භාරගත්තා. "ඡන්ද බලයවත් නොමැති පුද්ගලයෙක්ට පල කරන ඡන්දය වලංගු වෙන්නේ නැහැ" කියලා පරසක්වල ගහන්න ගත්ත නිවේද සුකිරි බටිල්ලෝ ටික සරත් ෆොන්සේකා ට දෙන ඡන්දය අපතේ යනවා කියලා කියවන්න ගත්තා. මදි පාඩුවට විද්වත් අදහස් පිණිස විමල් වීරවංශගෙනුත් වොයිස් කට් ගත්තා. ඡන්දය පල කරන කාල සීමාව ඉවර වෙනකං මේ කෘත්‍රිම ව නිර්මාණය කරපු භීතිකාව ජනගත කරමින් ඡන්ද දායකයින්ව වික්ෂිප්ත කරන එක යස අපූරුවට කරගෙන ගියා.
2019 අවුරුද්දේ මේ රටේ 08 වැනි ජනාධිපතිවරණය පැවැත්වෙන්න නියමිතයි. ඒ ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වදිනවා කියලා කියන ප්‍රධාන අපේක්ෂකයෙක් වන ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වයක් පැණ නැගිලා තියෙනවා. ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙක් ට ලංකාවේ ජනාධිපතිවරණයට තරග වදින්න බැහැ කියන කාරණය ත් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසි බව තවමත් අවලංගු වෙලා නැද්ද කියන කාරණයත් මේ වෙනකොට ලංකාවේ දේශපාලනය ඇතුළේ උණුසුම් මාතෘකාවක්. ඒ නිසා සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය ප්‍රශ්න කරලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා.
අද වෙනකොට මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ කියන නම් දෙක දේශද්‍රෝහී ලැයිස්තුවට (නැවත නැවතත්) ඇතුළු වෙලා. වියන්ගොඩ , තේනුවර කියන්නේ කවුද , ඒ අය මොනවද කරලා තියෙන්නේ සහ මොන වගේ ආස්ථානයක ද ඉන්නේ කියන දේ නොදන්න ගූගල් ප්‍රාඥයෝ "මේ සියල්ලම ඒ දෙන්නා බටහිර රටකට පැනගන්න දරන උත්සාහයක්" කියලා අර්ථකථනය කරන තැන් පවා දකින්න පුළුවන්. අපි දන්නවා වියන්ගොඩයි තේනුවරයි බහුදින ධීවර යාත්‍රාවක නැගලා ඉතාලියට පැනගන්න බැරිවුණු වේදනාවෙන් ඉන්න මිනිස්සු බව.
ආයේම මාතෘකාවට එමු. 2010 දි ජනාධිපතිවරණය දවසේ පාන්දර ඉඳන් මාධ්‍ය සහ රජය එකතු වෙලා කරපු කැත වැඩ කිසිම දෙයක් ගැන අප්‍රසාදය පල නොකරපු සුපේශල මධ්‍යස්ථ විචාරකයින් ට වියන්ගොඩ - තේනුවර දෙන්නාගේ පෙත්සම නින්දිත , නිර්ලජ්ජී , අවමන්සහගත කටයුත්තක් විදියට පේන්න අරගෙන. එතකොට නීත්‍යානුකූලව ප්‍රශ්න විසඳගන්න එක ද නින්දා සහගත වැඩේ ?
මිත්‍රවරුනි ;
තුන් වේලටම පුන්නක්කු ම ගිල දමන ජනතාවකට ඕට්ස් දිරවාගත නොහැකි වීම පුදුමයක් ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. මේ පාර නම් එහෙම වෙන්නෙ නෑ. මොකද ගෝඨාභය කියන්නේ ඇමරිකන් පුරවැසියෙක් වුණු කාලයේ පවා ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛනයේ හිටපු එකෙක් නේ.

    ReplyDelete
  2. රසිකත් කිව්වනේ ලංකාවේ පුරවැසිභාවය නැති නොවීම ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයත් ලැබුන කියල.

    ReplyDelete
  3. හරි දේ වැරදි වෙලාවේ කළාම වැරදි වැටහීම් ඇතිවෙනවා.

    ReplyDelete
  4. පුන්නක්කු ම ගිල දමන ජනතාවකට ඕට්ස් දිරවාගත නොහැකි වීම පුදුමයක් ද ?

    ReplyDelete