ඉරාජ් වීරරත්නගේ ගවුම්


ඉරාජ් වීරරත්න විසින් මූදු වෙරළක , වැටකෙයියා ගාලක් ඉදිරිපස මල් මල් ගවුමක් ඇඳ "කැපුවත් කොළ" නමින් මියුසික් වීඩියෝවක පූර්ව ප්‍රචාරක දැන්වීමක් පළ කිරීම අරභයා සමාජ මාධ්‍ය ජාලා තුළ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී.
ඉරාජ් එම දැන්වීම තුළ #Api UNP නම් හැෂ් ටැග් යොදා ඇත. ඡායාරූපයේ ඉරාජ් සමග තවත් පස් දෙනෙක් ගවුම් ඇඳ සිටින අතර සංක්‍රාන්ති ලිංගිකත්වය (Trans Sexual) හෝ විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳීම (Cross Dressing) තවත් පාර්ශ්වයකට නිග්‍රහ කරනු පිණිස භාවිතා කිරීම පිළිබඳ සම්බන්ධවත් දේශපාලන විවේචන සඳහා පුද්ගල ලිංගික නැඹුරුව වැනි කාරණා සම්බන්ධ කර ගැනීම ඔහුට එරෙහිව නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ ය.
ඉරාජ් වීරරත්න යනු ප්‍රීතිරාජ් වීරරත්නගේ පුත්‍රයා වන අතර පියෙකුට තම දරුවෙක් හට උරුම කර දිය හැක්කේ තමා සන්තක දෑ පමණකි. එනයින් ප්‍රීතිරාජ් වීරරත්න තම වාසගම සමග ධනස්කන්ධය ඉරාජ් වීරරත්න වෙත උරුම කර ඇති අතර ඔහුට ගෞරවනීය ජීවිතයක් සහ අවම සදාචාරයක් වැනි දෑ උරුම කර දෙන්නට අපොහොසත් වී ඇත. එබැවින් ඉරාජ් වීරරත්නගෙන් මිනිසත් හැසිරීමක් බලාපොරොත්තු වනවාට වඩා කොහොඹ ගහකින් සඳුන් මල් නෙළනු පහසු ය. එසේ පැවසීමෙන් ඉරාජ් වීරරත්න විසින් ගෙනයන මේ නින්දිත ක්‍රියා කලාපය පිළිබඳ වගකීමෙන් ඔහුව නිදහස් නොවන අතර අනාගතය විසින් ඉරාජ් වීරරත්නගේ ඉරණම තීරණය කරනු ඇත.
නමුත් අප සංවාදයට ගත යුතු තවත් කරුණක් ඇත.
ඉරාජ් මෙම ඡායාරූපයේ ගවුම් හැඳ සිටින්නේ තවත් පස් දෙනෙක් ද සමඟිනි. සබුද්ධික ප්‍රජාව විසින් සමකාමී බව (Homosexuality) සංක්‍රාන්ති ලිංගිකත්වය (Trans Sexual) හෝ විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳීම (Cross Dressing) දේශපාලන ප්‍රහාර සඳහා නිග්‍රහශීලී ව යොදා ගැනීමට එරෙහි වන්නේ මෙම ඡායාරූපයට අදාල වීඩියෝව නිග්‍රහශීලී නිර්මාණයක් යන උපකල්පනය මත ය. එසේ නම් එම උපකල්පනය පදනම් කොටගෙන ම කල්පනා කිරීමේ දී මේ ලිංගික නැඹුරුව පදනම් කොටගත් නිග්‍රහයට වග කිව යුත්තේ ඉරාජ් වීරරරත්න පමණම ද ?
ඉරාජ් සමග එම ඡායාරූපයේ තවත් සංක්‍රාන්ති ලිංගික හෝ විරුද්ධ ලිංගික ඇඳුම් අඳින පස් දෙනෙක් දක්නට ඇති අතර ඔවුන් සැබැවින්ම එම කුලක සහ සමකාමී සමාජය නියෝජනය කරන පිරිස් නම් මෙම ලිංගික නැඹුරුව පදනම් කොටගත් නිග්‍රහයේ වැඩි වගකීම ඉරාජ් ට පවරා නිදහස් විය හැකි ද ? සමකාමීත්වය හෝ උපාශ්‍රිත ලිංගික නැඹුරුවක් කිසියම් පාර්ශ්වයකට එරෙහිව නිග්‍රහ කිරීමක් ලෙස උපයෝගී කරගන්නා විට එම ක්‍රියාකාරකමට කැමැත්තෙන්ම සහභාගී වන්නේ සමකාමී හෝ උපාශ්‍රිත ලිංගික නැඹුරුවක් ඇති පිරිසක් වීම ඛේදවාචකයක් නොවේ ද ? මේ ගෙවී යන්නේ, සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් කතිකාවක් සඳහා ඉදිරිපත් වන යුගයකි. සමරිසි පුද්ගලයින් ද සමාජයේ තවත් සාමාජිකයින් පිරිසක් සේ සැලකිය යුතු බවට සමරිසි නොවන ප්‍රජාව ම සටන් වදින යුගයකි. ලිංගික නැඹුරුතාව මත මිනිසුන් හට වෙනස් සැලකිලි දැක්විය යුතු නැති බවට ලිබරල් දැක්මකින් යුතු තරුණයින් සමකාමී අයිතිවාසිකම් උදෙසා සාධනීයව සටන් වදින යුගයක , එම විෂයය කෙරෙහි කිසිදු සාධනීය මැදිහත්වීමක් නැති තක්කඩියෙක් සමඟ එක්ව තම ලිංගික නැඹුරුව හෝ රුචිකත්වය පොදු සමාජයේ කොට්ඨාසයකට නිග්‍රහ කිරීමට භාවිතා කරන සමකාමීන් පිළිබඳව ද මීටත් වඩා අවධානය යොමු විය යුතු ය.
කසිකබල් චිත්‍රපට තුළ ද 'ලාබ සිනාව' උපදනු පිණිස මෙවැනි රඟපෑම් ඉදිරිපත් කරන රිචඩ් මානමුදලි නම් අපෘෂ්ඨවංශීය නළුවා සමග සමෝසමේ එක් වූ සමකාමීන් පිරිසක් එක් චිත්‍රපටයක දී කැමරාවක් ඉදිරිපස රඟන්නට හිමි වුණු උද්දාමයෙන් දෝ මහත් වූ අභිරුචියෙන් , සමකාමීත්වයේ විසිළුව ප්‍රකට කරවන අපුල රංගනයක නිරත වූහ. මේ උදාවන්නේ එම ප්‍රවණතාවයේ වාණිජකරණයයි. සමකාමී නැඹුරුව හෝ ඒ උපාශ්‍රිත ජීවිත හරහා නිග්‍රහ අපහාස කිරීම සඳහා ඔවුන්ගේම දායකත්වය ලබා ගැනීමේ කුප්‍රකට මොහොත ය.
ඉරාජ් වීරරත්නගේ මුව හම ම තැලීම ට පමණක් ලඝු විය යුතු නැති උවදුරක් සහ පොදු සමාජයේ මානුෂික මැදිහත්වීම් අවභාවිත කිරීමක් ද මෙහි ඇත.
ඉරාජ් වීරරත්නගේ තනියට ගවුම් හැඳගෙන සිටින මිනිසුනි ,
නුඹලා මේ කැමරාවක් අබියස නිර්වස්ත්‍ර කරනුයේ නුඹලා ද අනෙක් හැමකෙක් මෙන් ම ගෞරවනීය මිනිසුන් බව ද සමාජයේ සමාන අයිතිවාසිකම් ඇති කොට්ඨාසයක් යැයි ද සටන් කළ , අකුරු කළ ලිබරල් ප්‍රජාවකගේ සළු පිළි ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment