නිශ්ශබ්දතාවයේ ස්ථම්භය සහ නෙළුම් කුළුණ


"නිශ්ශබ්දතාවයේ ස්ථම්භය" හෙවත් Tower of Silence යනු පර්සි සම්ප්‍රදායය ට අනුව එම ජාතිකයන්ගේ මෘත ශරීර තැන්පත් කරනු පිණිස තැනූ එළිමහන් කුළුණ ය. මිය ගිය පාර්සිවරුන්ගේ මළ සිරුරු සුදු රෙද්දකින් ඔතා මේ කුළුණ මත තැන්පත් කරන්නේ ඒවා මාංශ භක්ෂක පක්ෂීන් හට ගොදුරු කරගනු පිණිසය. මේ හේතුවෙන් "නිශ්ශබ්දතාවයේ ස්ථම්භය" යනු නිරන්තර ව මිනී කන ගිජු ලිහිණි ගහණයක් සහිත කලාපයක් වන්නේ ය. අතීතයේ ශ්‍රී ලංකාවේ ද පාර්සි ප්‍රජාවගේ අවමංගල්‍ය චාරිත්‍ර වෙනුවෙන් බ්ලූමැන්ඩල් වගුරුබිම් හි නිශ්ශබ්දතාවයේ ස්ථම්භයක් පවත්වාගෙන ගිය අතර පසුකාලීනව එය කූඹිකැළේ ප්‍රදේශයට ගෙන යන ලදි. ලංකාවේ පාර්සි ජනතාව ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් මේ චාරිත්‍රය පවත්වාගෙන නොයන බැවින් තව දුරටත් ගිජු ලිහිණින්ගේ අනුභවය පිණිස මිනිස් සිරුරු පුද දීමක් සිදුවන්නේ නැත.
"නෙළුම් කුළුණ" හෙවත් Lotus Tower යනු සුදු රෙදි වලින් ඔතන ලද මළ සිරුරු තැන්පත් කරනු පිණිස තනවන ලද ස්ථම්භයක් නොවන අතර ඒ මත වර්තමාන සහ අනාගත යන පරම්පරා ද්වය ම තැන්පත් කිරීමේ අවකාශය ඇත. මළානික පැහැයෙන් දිස්වන "නිශ්ශබ්දතාවයේ ස්ථම්භය" වෙත මිනී කන ගිජු ලිහිණියන් රොක් වන්නේ මළ මිනියක් තැන්පත් කළ පසුව වුවද වර්ණවත් "නෙළුම් කුළුණ" සම්බන්ධයෙන් තත්ත්වය තරමක් වෙනස් ය. නෙළුම් කුළුණ යනු ඉදිකිරීම ආරම්භයේ සිට අවසානය දක්වා ම ගිජු ලිහිණි ගහණය හෙවත් Vulture Club වලින් සැදුම් ගත්තකි. ඔවුහු සියවසක් එපිටින් උපදින අනාගත පරම්පරාව ද සුදු රෙද්දෙන් ඔතා කුළුණ මත දමා යන්නට සිදුවන ආකාරයට පිඹුරුපත් සකසා ඇත. දැනට අපට කුළුණෙහි ආලෝකය පෙන්වමින් සිටිති.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment