ශ්‍රී ලංකා ක්‍රිකට් vs දස පාරමිතා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑදී ඇත්තේ මතු බුදුවන බෝසතුන් පිරිසකගෙනි. ඒ මන්ද යත් මේ සමස්ත කණ්ඩායම ම මුළු ක්‍රීඩා ජීවිතයම මුළුල්ලේම දස පාරමිතා පුරන බැවිනි.

1. දාන පාරමිතා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරම් තරග දන් දීමට වෙනත් කිසිම රටක කිසිම කණ්ඩායමක් සමත්වන්නේ නැත. 

වෙස්සන්තර ජාතකයේ එන දන් දීමත් පරාද කරවන සුළු ක්‍රීඩා විලාසය දකින විට "මොහු හැර වෙන දන් ගන්නෝ නැද්දෝ - වෙන දන් දුන් කල බුදු බව නැද්දෝ" යන අනාඝාතාත්මක වැළපුම් ගී ගයමින් විනා මැච් එකක් නරඹනු නොහැකි ය.


2. ශීල පාරමිතා

"සීල විමංස" ජාතකයේ එන කුමරුවා මෙන් ම කිසිම දෙයක් සොරකම් නොකරන ක්‍රිකට් කණ්ඩායමකි. අනෙක් පිළෙන් ලකුණු සොරකම් කිරීමට අකැමති ය. ඔවුන්ගේ කඩුළු සොරකම් කිරීමට අකැමතිය. වෙනත් කණ්ඩායම් වලින් ජයග්‍රහණ සොරකම් කිරීමට අකැමතිය. කොතරම් සීලවන්ත දැයි කිවහොත් සිල්වත් ගමනෙන් දුවන්නට ගොස් දුවද්දී දැවී යති. උඩපන්දු මග හැරේ. අනෙකාගේ පහරවල් හතරේ සීමාව පසු කරති.


3. නෙක්ඛම්ම පාරමිතා
කෙස්ස පැහුණු පමණින් නික්මෙන රජවරුන් සිටින්නේ "මඛාදේව ජාතකයේ" ය. 

කෙස්ස පැහී , ඇස් නොපෙනී හති වැටෙනතුරු ම කණ්ඩායමේ රැඳී සිටින්නට ආසා කළ ද තරගාවලියක ප්‍රථම වටයෙන් ම නික්මීමට , පිතිකරණයට ගිය සැණින් පිටියෙන් නික්මීමට අපේ අය ඉතා ලැදිය.



4. ප්‍රඥා පාරමිතා
කණ්ඩායම සෑදී ඇත්තේම "උම්මග්ග ජාතකයේ" එන "මහෞෂධ පණ්ඩිතයින්" එකොළොස් දෙනෙක්ගෙනි. 

උපදින විටම අතේ සඳුන් ගැටයක් මිට මොළවාගෙන පැමිණි නිසා ඔවුන් පිත්ත ඇල්ලීමේ දී ද , පන්දු යැවීමේ දී ද , උඩ පන්දු රැකීමේ දී ද, පන්දුව යොමු කිරීමේදී ද තරමක් දුර්වල ය. ඒ හැරෙන්නට බලය , ජවය , පෝෂණය , සහ තාක්ෂණය වැනි ඕනෑම විෂයයකට අදාල වෙළඳ දැන්වීම් වලදී නානාවිධ උපදෙස් දෙන්නට අතිශය ප්‍රඥාවන්තය.


5. වීර්ය පාරමිතා

වීර්යය කිරීම අතින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසිවෙකුට දෙවනි නැත. 

"අපණ්ණක ජාතකයේ" සඳහන් සාත්තු නායකයා මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ද කවදා හෝ ඊ තණ පඳුරක් යට ඇති ගලක් බිඳ දිය උල්පතක් පාදා ගන්නා බව විශ්වාස ය. 

ඒ දවස උදා වනතෙක් අවට ලැග , පෙර කෑ දේ ම තලු මර මරා කමින් සිටින ගවයන් වන්නේ ක්‍රීඩා ලෝලී අප ය.


6. ඛන්ති පාරමිතා
අපේ ක්‍රීඩකයින් තරම් ක්ෂාන්තිවාදී ක්‍රීඩකයින් වෙනත් ග්‍රහලෝකයක හෝ නොමැත. 

"ක්ෂාන්තිවාදී ජාතකයේ" එන තවුසා කස පහර ද ඉවසා දෙඅත් සිඳලීම් ද ඉවසා දෙපා , නාසා කන් සිඳලීම් ද ඉවසා සිටියාක් මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ද ඔස්‍ට්‍රේලියාවේ සිට කජුවත්ත එක්සත් ක්‍රිකට් කණ්ඩායම දක්වාම වුවද පරාජය මුවින් නොබැණ ඉවසා සිටින්නට තරම් ක්ෂාන්‍තිවාදී වෙති.




7. සච්ච පාරමිතා
සත්‍ය පාරමිතාවට නිදසුන් කතා වස්තුව වන්නේ "මහා සුතසෝම ජාතකය"යි. පෝරිසාදයා විසින් අල්ලාගෙන ගොස් බිලි දෙන්නට හදන මොහොතේ පවා මහා සුතසෝම රජුන් ට වෙනත් ගමනක් යන්නට තිබිණ. ඔහු පෝරිසාදයාගෙන් අවසර ඉල්ලා ඒ ගමන ගොස් අවුත් නැවත බිලි පූජාවට එන්නට තරම් සත්‍යවාදී විය. අපේ ක්‍රීඩකයින්ට ද එහෙව් ගමන් එමට ය. ඔවුහු අයි.පී.එල් ක්‍රිකට් කර එන්නම් යැයි පවසා ගොස් එක රැයින් සිලෙක්ෂන් වලට පැමිණෙන්නට තරම් සත්‍යවාදීහු වෙත්.

8. අධිට්ඨාන පාරමිතා
අධිෂ්ඨානය යනු නොසිඳෙන සහ නිමක් නැති දෙයක් බව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ම ය. 

ඔවුන් වටකර ගිනි තැබුව ද , වද හිංසාවට ලක් වුවද , මළ සොහොනට ගෙනගොස් දමන බවට තර්ජනය කළ ද තම අධිෂ්ඨානය අත් නොහැර ගොළු බිහිරි සේ සිටි "තේමිය ජාතකයේ" තේමිය කුමරා බඳු ය.කුමන තර්ජනය සහ බලකිරීම් හමුවේ වුවද නොසැලෙමින් සුපුරුදු ලෙස පරදිමින් , බිංදුවට දැවී යමින් සිටිති.



9. මෙත්තා පාරමිතා
මෛත්‍රිය ද වැගිරෙන සුළු කණ්ඩායමකි. "චුල්ල ධර්මපාල ජාතකයේ" රජ විසින් අත්පා සතර සිඳ ලූපසු ,හිස ද ගසා දැමීමට නියම කළ රජ කෙරෙහිද, හිස කපා හෙළන වධකයා කෙරෙහිද, හඬා වැළපෙන මව කෙරෙහිද, තමා කෙරෙහිද එක සිත් ඇතිව සිටියාක් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිරන්තරව සිටින්නේ මෙත් සිතිනි. තමා පරදවන ජාත්‍යන්තර කණ්ඩායම් කෙරෙහිද, තමාව ඉවතලන තේරීම් මණ්ඩලය කෙරෙහිද,හඬා වැළපෙන ක්‍රීඩා ලෝලීන් කෙරෙහිද, තමා කෙරෙහිද එක සිත් ඇතිව ඔවුහු ගහන ගහන තරගය චාටර් ලෙස පරදිති.

10. උපේක්ඛා පාරමිතා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වනාහි උපේක්ෂාවේ ප්‍රතිමූර්තිය ය. දමා ගැසූ ගල් මුල් ද , විහිළු තහළු දඋපේක්ෂාවෙන් ඉවසා සිටි "ලෝමහංස ජාතකයේ" එන ලෝම හංස කුමරු මෙන් ඔවුන් කිසිවිටෙකත් කාටවත් නොගසති. වැදෙන්නට පහර නොදෙති. මේ යනාකාරයට කවදා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාටවත්ම නොගැසූ කණ්ඩායමක් ලෙස ලෝමහංස කුමරු මෙන් ගම්දනව් හි වන්දනාවට පාත්‍ර වනු ඇත.





Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: