සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා අම්මාවරුන් දුක් වින්දා හඬාලා


දස වසරක් බන්ධනාගාරගත ව සිටි අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ ඇප මත නිදහස ලැබූ බව අසන්නට ලැබිණ.
සක්විති රණසිංහ ට ගව් ගණනක් දුරින් සිහියට නැගෙන වේදනාබර මතකයකි.
2017 වර්ෂයේ එක්තරා දවසක Nirmani Bandaranayake නම් විශේෂාංග ලේඛිකාව සක්විති රණසිංහ ගේ මව බොරැල්ල මංසන්ධියේ හඳුන් කූරු පැකට් විකුණා ජීවත් වන ආකාරය "ඉරිදා ඇපල්" පුවත්පතට ඉතා සංවේදී ලෙස අකුරු කර තිබුණා ය. චූදිතයාගේ මව මාතෘදාරක ස්නේහය කඳුලට හරවමින් කියූ දෑ මුද්‍රිත කඩදාසියක් මත තැන්පත් කළ "ඉරිදා ඇපල්" විශේෂාංග ලේඛිකාව ; වංචනිකයකුගේ අමිහිරි කතා පුවතක් පසුපස සැඟවුණු , නමුත් නොනිවුණු මවකගේ උණුසුම් හදවත ලොවට එළි කළා ය. මේ විශ්වය ම හරන්තිකයෙක් ලෙස සලකන තම පස් වෙනි දරුවා පිළිබඳ සක්විතිගේ මව මෙසේ පැවසුවා ය.
"මගේ දරුවා නිදහස් වෙනවා දැකලා මම හෙට මළත් මට කමක් නැහැ”
ඉන් අනතුරුව එළැඹුණේ පව් නොකළ ඇත්තන්ගේ විරාමය ය. සක්විති රණසිංහගේ මව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවක් බවත් ඇය කෙරෙහි සංවේදී ව ලිවීම පාඨකයන් නොමග යැවීමක් බවත් ප්‍රකාශ කරමින් පිරිසක් ලේඛිකාවට අභියෝග කරන්නට ඉදිරිපත් වූ අතර ඉන් සමහරෙක් මෑත දී අමල් පෙරේරා වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටීම ද සිහිපත් කළ යුතුම ය. මිත්‍රවරුනි ; සක්විති රණසිංහගේ අම්මා ට ගී ගයන්නට නොහැකි වීම ඇගේ වරදක් බව අප පිළිගනිමු.
උණහපුළුවාට උගේ පැටවා මැණිකක් බව අසා ඇති අප ට හේවාතමාදූවගේ දොන් චන්ද්‍රලතා නම් මවගේ හද ගැස්ම නොවැටහෙන්නට තරම් අමානුෂික හදවතක් තිබිය නොහැකිය.
"පිණිබර යාමේ සැවුලන් හඬලනවා" යනුවෙන් ගීයක් ලියන ලූෂන් බුලත්සිංහලයන් මෙසේ ලියන්නට ද අමතක නොකළේ ය.

වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ
සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

වේදබ්භ ජාතකයේ පැවසෙන්නාක් මෙන් රුවන් වැසි වස්සවන මන්තරය පුරන්නට නොදත් සක්විති පුතෙක් හට මව වීම ම ඇයගේ හදවත පාරන්නට කරුණක් වන්නට ඇත. කලන්දක ජාතකයේ ලෙහෙනිය මෙන් වල්ගයෙන් මුහුද සිඳ පැටවා බේරා ගන්නට සවි ශක්තිය ද තිබෙන්නට නැත. එනයින් ම ඇය තම මාතෘත්වය හැර පියා වෙනතක් බලා යා යුතු ද ?

"කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා" ගීතය ලියන පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ද සක්විති ගැන ලියන්නට අමතක කළේ නැත.

මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ‍ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා

2000 වසරේ රාජගිරිය කාසල් වීදිය බෝම්බයෙන් දෙඇස් අඳ වන එවකට රූමත් බැංකු සේවිකාවක වූ ආශ්චර්යා පීරිස් තමා අන්ධ වූ මොහොතේ වැදූ මව තමා තනිකර දා ගිය බව පවසද්දී සක්විති නිදහස් ව එන තුරු තමා බලා සිටින බවට නොවළහා පවසන්නට තරම් නිර්භීත වූ ඒ ගැහැණිය නමට එකදු මලක් හෝ නොපිපේවි ද ?
නිර්මාණි බණ්ඩාරනායක නමින් මේ වන විට "රැස" පුවත්පතට අකුරු කරන ජේත්තුකාර මානවිකාව වෙත ලියමි ;
උඩින් උඩින් දෙපා - තබා මඩෙන් මිදී යළිත් ඒ දුර යා යුතු ය. කල්ප වසකට නිල්ල නිලන්නේ නැති වග දන්නා බොරැල්ල මං සන්ධියේ , නොනිමෙන සූර්යතාපය අතරින් ඒ අම්මා නැවතත් සොයන්නට නුඹ යා යුතු ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. අතිශය ලය කකියවන ලිපියක් - කසීර.

    ReplyDelete