පොසොන් පුර පසොළොස්වක පොහොය අද ය.


අනුබුදු මිහිඳු මා හිමියන් ප්‍රමුඛ පිරිස මිහින්තලාවට වැඩම කරන විට දේවානම්පියතිස්ස රජු මුවෙක් දඩයම් කරනු පිණිස වනයේ දුවමින් සිටි බව පැවසේ. උන්වහන්සේ ඉන් අනතුරුව සර්වකාලීන දේශපාලනික වටිනාකමක් ඇති ප්‍රකාශයක් කරන ලද්දාහ. "ත්වමේය අනුකම්පාය - ජම්බුදීපං ඉධාගතං" හෙවත් " නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් අප දඹදිව සිට වැඩම කළෙමු" යන කියමන මහින්දාගමනයේ සිට අද දක්වාම වලංගු ය. 1987 වසරේ ඉන්දු - ලංකා ගිවිසුම සඳහා රජිව ගාන්ධි ලංකාවට පැමිණෙන්නේ ද , එම වසරේ ම රජිව් ගාන්ධි විසින් ලංකාවට ගුවනින් පරිප්පු හෙළන්නේත් "ත්වමේය අනුකම්පාය - ජම්බුදීපං ඉධාගතං" ස්ථාවරයේ ම සිට ය. එය අද දක්වාම කෙතරම් විසිර පැතිර තිබේ ද කිවහොත් ශාන්ති නන්දා හෙවත් මන්දිරා බේඩි ලංකාවට ගොඩ බට තැන සිට පාර දෙපස ජනී ජනයාට අත වනන්නේ ද , 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියකට සහභාගී වන සල්මාන් ඛාන් සහ ජැකලීන් ෆර්නැන්ඩස් තමාගේ විෂයය ක්ෂේත්‍රයට අදාල නොවන ඇස් කාච බෙදන්නේ ද "ත්වමේය අනුකම්පාය - ජම්බුදීපං ඉධාගතං" මට්ටමේ සිට ය. යහපාලන රජයට මේ තත්‍ත්වය කෙතරම් බලපාන්නේ ද කිවහොත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පැය කිහිපයකට පමණක් ලංකාවට ගොඩ බසින විට කොළඹ රථ වාහන සැලැසුම එක දිනයක් ම අඩාල වේ. මන්ද යත් ඔවුන් ජම්බුදීපයෙන් පැමිණෙන්නේ අප කෙරෙහි වූ අනුකම්පාවෙන් බැවිනි.
ඉතිහාසයට අනුව ජීවමාන බුදුන් වහන්සේ තුන්වරක් ලංකාවට වැඩම කර ඇත. නමුත් මිහිඳු මා හිමියන් ලංකාවට බුදු දහම රැගෙන එන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ පසුව ය. දෙසැටක් මිථ්‍යා දෘෂ්ඨීන් ප්‍රබල ව තිබූ විශාල රාජ්‍යයක් වන දඹදිවට බුදුදහම අවබෝධ කර දුන්න ද බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළ ද ගස් ගල් වඳිමින් සිටි මේ කුඩා දූපතකට බුදු දහම ව්‍යාප්ත කරන්නට උත්සුක නොවූ හැඩ ය. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ පසු ව බුදු දහම රැගෙන එන මිහිඳු මා හිමියන් දකින්නේ අස් ගල් අදහන , ගින්දර සහ මළවුන් පුදන ප්‍රාථමික සමාජයකො. එබැවින් ඔවුන්ට බුදු දහම පමණක් නොව සංස්කෘතිය ද අවබෝධ කර දෙනු පිණිස උන්වහන්සේ ට නානාප්‍රකාර සැලසුම් ක්‍රියාවට නංවන්නට සිදු විය. කලා ශිල්ප සහ ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට ලැබෙනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ජීවමාන බුදුන් තෙවරක් වැඩම කළ රටක් වසර දෙසිය තිස් හයක් ගත වන විට ගස් ගල් වඳින තත්ත්වයේ ම පසු විණි නම්, බුදුන් වහන්සේව සියැසින් වත් දැක නැති බුද්ධ පුත්‍රයින් පිරිසක් පැමිණ මෙහෙයුමක් දියත් කළ සැණින් සියල්ලන්ට ම ධර්මාවබෝධය ලැබීම විශ්වාස කළ නොහැකි තත්ත්වයකි.
අද අප බුදු දහම වශයෙන් විශ්වාස කරනුයේ මිහිඳු මා හිමියන් විසින් ප්‍රාථමික ඇදහීම් වලින් මෝහනය වී සිටි මිනිස් කොට්ඨාසයකට හඳුන්වා දුන් දහමක් පරම්පරාගතව විකාශනය වූ තත්ත්වයකට ය. ඔබ බුදු දහමේ ඉගැන්වීම් සහ බෞද්ධයාගේ ප්‍රායෝගික ක්‍රියා අතර පරස්පරතා දකින්නේ නම් පෙර කී කරුණු ගැන නැවත වරක් සිතා බැලිය යුතු ය.
ජීවමාන බුදුන් තුන් වරක් වැඩිය ද තම මෝහය සහ අවිද්‍යාව දුරු නොකර වෙනදා පැවැත්මෙන්ම විකාශය වූ මනුෂ්‍ය වර්ගයකට වසර දෙසිය තිස් හයකට පසුව පැමිණෙන බුදුන්ගේ නියෝජිතයෙක් දෙසූ ධර්මය එලෙසින්ම අවබෝධ කරගැනීමේ සහ ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමේ හැකියාවක් තිබේ ද ?
ඉංගිරිසි බස යනු ප්‍රංස බස වරදවා උච්ඡාරණය කිරීම යැයි ප්‍රංසයේ පිරුළක් ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment