රජෙකු සිටින තැන ඝාතකයෙක් ද සිටින්නේ ය

"ලක් දිවයිනේ අති මහත් බල සම්පන්න ම පුද්ගලයා නම් ජනරජයේ ජනාධිපතිඳු ය. එතුමන් ගේ තෙරක් නැති බලය යොදා ගනිමින් දිවයිනේ ධනවත් ම පුද්ගලයා වීමේ වරම ද එතුමන් ට ලැඛෙන්නේ ය. ඒ ධනයෙන් එතුමන් හට තම විරුද්ධ පාර්ශ්වයින් මිලට ගැනීමටත් එයින් නොනැවතී එම විරුද්ධවාදීන් නිහඬ කර දමමින් සදා කල්හි ම බලයේ හිඳීමටත් හැකි ය. එතුමන් රාජ බල රාජ තෙජ ඇති රජෙකි. රජෙකු සිටින තැන ඝාතකයෙක් ද සිටින්නේ ය.'' යනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් තම "රජ සහ ඝාතකයා" නම් වූ අනාගතාත්මක නවකථාවෙහි සඳහන් කළේ ය.
මේ අප ගත කරමින් සිටින්නේ ක්‍රිස්තු වර්ෂ දෙදහස් දහ නමයේ මැද භාගය ය. ජනපති ඝාතන තැතක් ගැන එළිදරව් කරමින් අන්දෝලනයට පත් ; අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් ; දූෂණ විරෝධී බලකාය නම් ස්වයං ප්‍රකාශිත සංවිධානයක නාමල් කුමාර නම් වූ පුද්ගලයා අද වන විට සිවිල් සමාජයේ මැදිහත්කරුවෙක් බවට පත් ව සිටී. අධිකරණයට අපහාස කළා යැයි දඬුවම් ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර නම් වූ භික්ෂුව ද ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇත.
ජනපති සමාවක් ප්‍රදානය කිරීමෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන යමා මහ පෙළහර බඳු දෙයක් සිදු කර නැත. මහින්ද රාජපක්ෂ සමයේ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව මොනිකා ප්‍රනාන්දු ලද ජනාධිපති සමාවේ සිට ජේ. ආර් ජයවර්ධන සමයේ ගෝනවල සුනිල් සමාව දක්වාම ජනාධිපති සමාව යන්නෙහි සැබෑ අර්ථය අප දනිමු.
විශේෂයෙන් ම නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සහ දඬුවම් පැනවීමේ දී ලංකාවේ රාජ්‍ය පාලකයන් බෞද්ධ භික්ෂුව විෂයයෙහි දක්වන අසීමාන්තික භය පක්ෂපාතීත්වය ද මේ සමග ම සාකච්ඡාවට බඳුන් කළ යුතු ය. එය ජනපති මෛත්‍රීපාල සිරිසේන ට සහ ඥානසාර භික්ෂුව ට පමණක් ලඝු වන්නේ නැත.
1959 දි අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය කළ තල්දූවේ සෝමාරාම භික්ෂුව ට මරණ දණ්ඩනය හිමි වීම දක්වා එයට ඉතිහාසයක් ඇත. අගමැති ඝාතනයට වරදකරු ලෙස එල්ලා මරන ලද තල්දූවේ සෝමාරාම භික්ෂුව සිරගෙදර දී ක්‍රිස්තියානි දහම වැළඳ ගත් බව ට ඉතිහාසයට එක් කළ අමුතු සංස්කරණය එහි දී වැදගත් සාධකයකි. 1962 වසරේ ජූලි 06 වැනි දා මරණ දණ්ඩනයට ලක් වූ තල්දූවේ සෝමාරාම ක්‍රිස්තියානි ආගම යටතේ "පීටර්" යන නමින් බෞතීස්ම කෙරෙන්නේ 1962 ජූලි 04 වැනි දා විනා ඊට පෙර නොවේ. පසුකාලීනව ද්විත්ව මිනීමැරුම් සඳහා වැරදිකරු වූ කුප්‍රකට ඇංග්ලිකන් පූජක මැතිව් පීරිස් ලවා හදිසියේ බෞතීස්ම කරවනු ලැබූ තල්දූවේ සෝමාරාම මරණ දණ්ඩනයේදී පීටර් වීම හරහා එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ දේශපාලන ජීවිතයට එල්ල වන්නට තිබූ බොහෝ ප්‍රතිරෝධයන් මර්දනය විය. සඟ ; වෙද ; ගුරු ; ගොවි ; කම්කරු යන පංච මහා බලවේගය හඳුන්වාදෙමින් රටේ අගමැති ධූරයට පත් තම සැමියා ඉන් බලවේග හතරක් ම නියෝජනය කරන බෞද්ධ භික්ෂුවක් අතින් ඝාතනය වීම මෙන් ම එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා ඉතිහාසයේ මුල් වරට බෞද්ධ භික්ෂුවක් මරණ දණ්ඩනයට ලක් වීම සිංහල - බෞද්ධ ලේබලය යටතේ දේශපාලනය කරන සමස්ත බණ්ඩාරනායක පරපුරේ ම අනාගත දේශපාලන ගමනට කණකොක් හැඬීමක් වීමට ඉඩ තිබිණ. තල්දූවේ සෝමාරාම අවසානයේ පීටර් යන නමින් මරණයට පත්වීම හරහා කිසිදු කැළලකින් තොරව සිංහල - බෞද්ධ සමාජය ඉදිරියට පිවිසීමට බණ්ඩාරනායකවරුන් ට හැකියාව ලැබිණ. ඒ සඳහා මැදිහත් වූ ආගමික පාර්ශ්වය වන පූජක මැතිව් පීරිස් තම අනියම් පෙම්වතියගේ සැමියා වූ රසල් ඉන්ග්‍රම් සහ තම නීත්‍යානුකූල භාර්යාව වූ ඉයුනීසියා පීරිස් යන දෙදෙනා සැලසුම් සහගතව ඝාතනය කිරීම වෙනුවෙන් 1984 වසරේ දී මරණ දණ්ඩනයට නියම වූ නුමුදු ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ මැදිහත්වීමෙන් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් වන්නේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති ධූරයට පත් වන්නේ 1994 වසරේ වන අතර ඇයගේ පියාගේ ඝාතකයා ලෙස චෝදනා ලබා සිටි බෞද්ධ භික්ෂුව අවසාන මොහොතේ ක්‍රිස්තියානියට හැර වූ මැතිව් පීරිස් නම් මරණ දඬුවම් හිමි වූ පූජක ඝාතකයා 1997 වසරේ දී සමාවක් ලබා නිදහස හිමි කර ගන්නේ ය.
සමස්තයෙහි සාරාංශය මෙසේ ය ;
අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කර සිටි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ සමාව යටතේ නිදහස් විය.
"රජෙකු සිටින තැන ඝාතකයෙක් ද සිටින්නේ ය" යනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් තම අනාගතාත්මක නවකතාවක ලීවේ ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. මැතිව් පීරිස් 1997 දී නිදහස ලබා ගත් බවද දැන ගත්තේ අදයි.

    ReplyDelete