"ඔක්කොමල්ලා අයිඩෙන්ටි ගන්න" එච්චරටම වයස නැති හමුදා සෙබළෙක් කෑ ගහන හඬට තුෂාර කලබල වෙලා ඇහැරුණා. ඇහැරුණා නෙමෙයි ; උඩ ගිහිං විසි වෙලා වැටුණා. කොහෙද ඉන්නේ කියලා බලනකොට අධිවේගී මාර්ගයෙන් කඩවත පිවිසුමටත් ඇවිල්ලා. ගිය ආණ්ඩුවට බැන්නට ඉතිං හයිවේ ටික හදපු එකම මදිද කියලා හිත හිත තුෂාර නින්දෙන් වගේ අයිඩෙන්ටිය දික් කළා. "අයිඩෙන්ටි නැත්නම් බහින්න වෙනවා මිස්. කරන්න දෙයක් නෑ." සොල්දාදුවා කාටදෝ සැරෙන් කිව්වා. ඉස්සරහ සීට් එකක ගෑණු ළමයි දෙනෙක් හොරෙන් හොරෙන් වගේ මොනවදෝ උත්තර දෙනවා. "ගඩොල් බාගයක් වගේ ෆෝන් එකක් උස්සගෙන එන්න මතක නම් මේ වගේ කාලෙක අයිඩෙන්ටි එක අමතක වෙන්න බෑනේ මිස්" සෙබළා තීරණාත්මක සහ අවවාදාත්මක හඬින් කිව්වා. "කරුණාකරලා ඔය දෙන්නා බහින්න. කරන්න දෙයක් නෑ" තීන්දුව ලැබුණා. බස් එක ම බිරන්තට්ටු වෙලා බලාගෙන ඉන්නකොට ඇස් වල කඳුළු පුරවගත්ත ගෑණු ළමයෙක් බැස්සා. එයාගේ වැලමිටෙන් අත අල්ලගෙන අනික් අතෙන් කුඩාකුයි ලේන්සුවකුයි ගුලි කරගත්ත තව ළමයෙක් බැස්සා. කන් වල තෝඩු එල්ලෙනවා. "ඔයගොල්ලෝ යන්න" කියන විධානය එක්ක බස් එක ගමන ආරම්භ කළා. ඒ එක්කම මේ තරම් වෙලාවක් තිබුණ නිහඬතාව පුපුරලා ගිහිං කසුකුසුව ඇරඹුණා. "එයාලත් දැනගන්න ඕනේනේ" කවුදෝ ගෑණු කෙනෙක් කිව්වා. "පව් මොනවා වුණත්" ඒ වැඩිහිටි පිරිමි කෙනෙක්. "කිසිම වැරැද්දක් නෑ. අද කාලේ කාවවත් ෂුවර් කරන්න බෑ" තව පිරිමි කෙනෙක් කයියට ඇඹුල ගෙනාවා. "මෙච්චර පල්ලි වල බෝම්බ පුපුරනවා. ගෙයින් එළියට බහිනකොට ස්ටයිල් කරලා ආවාම ඇති කියලා හිතන්නැති" සැර හඬකින් එකියක් කිව්වා. එහෙම කිව්ව ගෑණු කෙනා දිහා තුෂාර ඉස්සිලා බැලුවා. කොටු කොටු ස්කර්ට් එකකට බෝල බෝල බ්ලවුස් එකක් ඇඳපු අම්මණ්ඩි කෙනෙක්. "ඔහොම බැස්සුවට ඇරෙස්ට් කරන එකක් නෑ. ටිකක් දේශනාව දීලා ආපහු යවයි. නේද අයියේ" කොන්දොස්තර තරුණයා වරදකාරී හැඟීමකින් කතා කළා. ඒ කටහඬේ තිබුණ වේදනාව තුෂාර අඳුනගත්තා. "හමුදාවෙන් පොලිසියෙන් නේ බං. මොකට බය වෙනවද ?" වැඩිහිටි රියදුරා කොළඹ නුවර පාරට ඇහැ දාගෙන ඉස්සරහ බලාගෙනම කිව්වා. "රෙද්ද තමයි" තුෂාරට කියවුණා. වෙලාවට කාටවත් ඇහුණේ නෑ. ඒ සද්දෙට වඩා වැදගත් සද්ද බස් එක ආක්‍රමණය කරලා තිබුණ නිසා හොඳට ගියා. නුවර පාර දිහා බලනකොට කළගෙඩිහේන මතක් වෙලා තුෂාර ඇස් පියා ගත්තා.
ඒ තුෂාර ලංකාවේ රස්සාව කරපු කාලේ. අලව්වෙන් කෝච්චියේ නැගලා බ්‍රිස්ටල් ස්ට්‍රීට් එකට උදේ හවස රස්සාවට ආපු කාලේ. ඒ කාලේ කෝච්චි ගමන් හරි විනෝදයි. සමහර පෙට්ටි වල පිහිටුවාගත්ත සංගම් පවා තිබුණා. මහව කෝච්චියේ එක පෙට්ටියක කට්ටියක් ටී ශර්ට් එකක් එහෙමත් ගැහුවා වගේ මතකයි. සේනක කියන්නේ තුෂාර එක්ක කෝච්චියේ ගිය කණ්ඩායමේ හිටිය කෙනෙක්. එතනින් වැඩියෙනම හිතවත් වුණු කට්ටිය ඉඳහිට අවන්හලක දි හමුවෙලා මධුවිතක් පානය කරන මට්ටමට යාළුකම් විහිදිලා තිබුණා. සේනක හිටියේ මහීපාලගොඩ කියන පැත්තේ. යක්කල ආයුර්වේදය පහු කරලා නුවර පැත්තට යනකොට වමට තියෙන පාරකින් හැරෙන්න ඕනේ. තුෂාර කවදාවත් එහෙ ගිහිං තිබුණේ නෑ. ගියේ එකම එක දවසයි. හ්ම්ම්ම් ...
ඒ ලංකාවේ හැම තැනම බෝම්බ පුපුරන කාලේ. කොටුව ස්ටේෂන් එකේ බෝම්බෙන් ඩී.එස් සේනානායක ඉස්කෝලේ බේස්බෝල් ගහපු ළමයි නම දෙනෙක් මැරුණේ ඒ කාලේ. බොරැල්ල ජයරත්න මල් ශාලාවට එහා පැත්තේ පාරේ හිටිය ළමයෙකුත් මැරිලා එතන බැනර් එකක් ගහලා තිබුණා තුෂාරට මතකයි. එරන්ද චතුරංග ද කොහෙද නම. කොහොම හරි අයිතිකාරයෙක් නැති බෑග් නිසා බස් වලින් කෝච්චි වලින් බැහැලා දුවලා හොඳ පුරුද්දක් තිබුණ කාලයක් ඒ. තුෂාරගේ නැන්දා කෙනෙක් හිටියා රජයේ ක්‍රීඩා උපදේශිකාවක්. දීප්ති නැන්දගේ කොණ්ඩේ තනිකරම මුරු ෆ්‍රොම් නයිජීරියා වගේ. හමේ පාටත් මුරුගේ වගේමයි. ඇයි ඉතිං කොයිවෙලේ බැලුවත් නෙට්බෝලයක් එක්ක පිට්ටනියේ අවුවේ කර වෙනවනේ. එක දවසක් බස් එකේ යනකොට චෙක් පොයින්ට් එකකින් දීප්ති නැන්දව බස්සලා චෙක් කරලා. ක්‍රීඩා උපදේශිකා අයිඩෙන්ටි එක එක්ක තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරලා බේරුණ දීප්ති නැන්දා යන්න ගිය ගමන නවත්තලා තරහෙන් පුපුර පුපුර තුෂාරගේ ගෙදරට ගොඩ වෙලා වතුර එකක් ඉල්ලං බිව්වා. බලනකොට බස් එකේ හිටිය කවුරු හරි මේ ඉන්නේ කොටි කාන්තාවක් වගේ කියලා පොලිසියට කෝල් කරලාලු. හිනාවෙන්නත් බෑ. ඒක ඒ වගේ කාලයක්.
තුෂාර තකහනියෙම සේනකගේ ගෙදර ගියේ සෙනසුරාදා දවසක බොන්න කතා කරපු නිසා. අරක්කු වලට අමතරව තවත් බොහෝ මත් වෙන දෑ ගෙන්නන බව කිව්වාම තුෂාරට නොගිහින් ඉන්න හිට හදාගන්න බැරි වුණා. දෙහිවල ගල්කිස්ස පැත්තේ සම්බාහන මධ්‍යස්ථානයකට තුන් හතර වතාවක් ගියාට ඒවා නිකං සල්ලි කන වැඩ කියලා තුෂාර තීරණා කරලා තිබුණා. "උදේ හවස කෝච්චියේ යන අපි ආයේ මොකටද බං සල්ලි දීලා අත පය තලාගන්න යන්නේ" තුෂාර ඒවයින් මග ඇරියා. සේනක කිව්ව විදියට නෝනයි දරුවෝ දෙන්නයි මාතර ගමේ ගිහිං නිසා එදාට හොඳ නිදහසක් තියෙනවා. තව යාළුවෝ දෙන්නෙක් එනවා කිව්ව නිසා හැම දෙනාටම රස බලන්න දේවල් සේනක ලෑස්ති කරන්නම් කිව්වා.
මධු සාදය රෑ වෙනකං පැවතුණාට කවුරුත් සිංදු කියන්න ; බජව් දාන්න ගියේ නෑ. "ගෑණි ගෙදර නෑ කියලා අහළ පහළ උන්ට තේරුණොත් කරදරේ" කට්ටියම කොටුවේ හාමුදුරුවන්ගේ බණ සී.ඩී එකක් දාගෙන ඒ කතාවලට හිනාවෙවී බිව්වා. සේනකගේ යාලුවෙකුයි ; ඒ යාලුවාගේ ගෝලයෝ දෙන්නෙකුයි ඇවිල්ලා හිටියා. ගෝලයෝ ටිකක් එහාට වෙන්න කතා කර කර බිබී වෙනමම ලෝකෙක වගේ හිටියා. ඒ වෙනකොට සේනක ගෙන්නගෙන තිබුණ තරුණ ගෑණු ළමයෙක් ඇවිල්ලා කොකා කෝලා වීදුරු තොලගගා හිනා වෙවී හිටියේ. "මම තව එක්කෙනෙක්ව ඕනේ කියලා කෝල් කළා මචං. පැයක් ඇතුළත එක්කං එයි." බාත්රූම් ගිහිං එන යාළුවාව පැත්තකට කරලා සේනක කිව්වා. " අයියෝ නෝ වොරීස් මචං" ලොකුවට වැදිලා නොහිටිය යාලුවා පිටට තට්ටු කළා. "උඹලා එහෙනම් බීපල්ලා. මම වැඩ අල්ලන්නම්. අර වාහනේ ආවොත් හෙමින් දොර ඇරලා ඇතුළට ගනිං" කියලා සේනක ගෑණු ළමයාව තුරුළු කරගෙන කාමරයට ගියා. "ඕල් ද බෙස්ට්" එහෙම හිනාවුණේ තුෂාර.
එතනින් එහාට වුණ දේවල් මතක් කරන්නත් ඕනේ නෑ. තුෂාර අර යාලුවා එක්ක කතා කර කර බිව්වා. මේ වගේ කාලෙක කතා කරන්න දේවල් ද නැත්තේ. යුද්ධ කරන හැටි ; කොටින්ට ගහන්න ඕනේ විදිය ; ක්‍රිකට් ටීම් එකේ ඕපනිං යන්න ඕනේ කවුද ; හමුදාවේ මේජර් යාළුවෙක් කාටවත් කියන්න එපා කියලා කිව්ව හමුදා රහස් වගේ නානාප්‍රකාර දේවල් කතාවට නැගුණා. ඒ අස්සේ අර ගෝලයෝ දෙන්නා චයිනීස් ටී.වී ෆෝන් එකකින් මෝහනය වෙලා ඒක රස විඳිමිම් හිටියස්. ටී.වී බැලුවා. අහංකාර නගරේ ඇහුවා. මර්වින් සිල්වාගේ කුණුහරුප කෝල් එක දහපාරකට වඩා අහලා ඒ හැම පාරම මේ දැන් ඇහුවා වගේ හිනාවුණා. ඊට පස්සේ දන්න හැමෝටම කෝල් කර කර තමන්ගේ වෙරි අනුන්ගේ පිටින් යවන්න ගත්තා. එකෙක්ට බාගෙට දෙමළ පුළුවන්. දෙන්නා බැල්කනි එකට ගිහිං අනික් එකාගේ යාළුවන්ට මේ නම්බර් එකෙන් කෝල් කරලා දෙමළෙන් බණින සෙල්ලමක් පටන් ගත්තා. ටික වෙලාවකින් ඒකත් එපා වෙලා ඇවිත් ආයෙම බොන්නයි බයිට් එක කණින්නයි ගත්තා.
වාහනේක සද්දයක් ආවා. ටිකකින් බෙල් එක වැදුණා. "තුෂාර දොර ඇරපං" කියලා සේනක කාමරේ ඉඳන් කියනකොට සේනක පහළට ආවා. " ථුෂාආරහ් .. දොර්ර ඇරපාංහ්" කියලා සේනකව අනුකරණය කරගෙන දොර ඇරියා. එච්චරයි වුණේ. ඊට පස්සේ තමයි තුෂාර ව ලංකාවෙ තියාගන්නේ නැතුව කටාර් යවන්න ඕනේ කියලා ඉඩම විකුණන්න තාත්තා එකඟ වුණේ.
එදා ඒ වෙලාවේ ආවේ එනවයි කියලා කියපු අනික් ගෑණු ළමයා නෙමෙයි. නිට්ටඹුව පොලිසියෙන්. අද කිව්වා වගේ අයිඩෙන්ටි ගන්න කියන ගමං එක නිළධාරියෙක් ඇතුළේ ඉන්නේ කවුද කියලා ඇහුවා. දෙන්නෙක් උඩට ගිහිං සේනකගේ යාලුවා ව සහ ගෝලයින්ව එක්කගෙන ඇවිත් සාලේ වාඩි කෙරෙව්වා. එක නිළධාරිඑක් ගිහිං සේනක ඉන්න කාමරේට පැත්තෙන් එබිලා අනෙක් නිළධාරියාට අතින් සන් කළා. පස්සේ දෙන්නම එතනින් ඇවිත් සද්ද වහලා ඉන්න කියලා ඉඟි කරලා සාලේ වාඩි වුණා. " කවුද මෙතන දෙමළ අය ඉන්නේ ?" ඒ අතරේ ජ්‍යේෂ්ඨ නිළධාරියා රහසින් ඇහුවා. කවුරුත් නෑ කිව්වාම "එහෙනම් දෙමළෙන් කතා කළේ කවුද" කියලා සැර ප්‍රශ්නයක් ආවා. ඒ අතර සේනකගේ කාමරේ බාත් රූම් එකේ සද්ද නැවතිලා සේනක එළියට ආවා. " නෙක්ස්ට් වන්.." කියලා සාලෙට එන සේනකගේ හිනා මූණ ඒමම ගල් වුණා. නිළධාරියා ඉස්සරහට ගියා.
ඒ වෙනකොට වටේ පිටේ ගෙවල් වල අය ලයිට් දාගෙන සජීවීව මෙහෙයුම නරඹන බව පෙනුණේ ජීප් එකට නගින්න එළියට බැස්සමයි. සේනක තමන්ගේ වාහනේම පොලිසියට එන්නම් කියලා කිව්වා . වාද විවාද වචන හුවමාරු මැද්දේ අනෙක් අයව ජීප් එකට නංවපු පොලිසිය, සේනක ට එයාගේ වාහනේ එන්න කියලා ඉස්සරහා අනෙක් ආසනයේ පොලිස් නිළධාරියෙක් ව එව්වා.
කළගෙඩිහේන පහු කරලා යනකොට සේනක වාහනේ වම් පැත්ත පාර අයිනේ තියෙන අර ලොකු හෙවණ ගහක හප්පපු බවත් පොලිස් නිළධාරියා කකුල් දෙක කැඩිලා බේරුණ බවත් තුෂාරලා ට එදාම ආරංචි වුණා. සේනක ඩ්‍රයිවර් සීට් එකෙන් පැනලා දුවගෙන ගිහිං කන්ටේනර් එකකට බෙල්ල තියලා තිබුණා.
ඔක්කොම ඉවර වුණාට පස්සේ මෙච්චර කල් විකුණන්න අකැමති වුණ ඉඩම විකුණන්නයි තුෂාරව රට යවන්න වියදම් කරන්නයි තාත්තා කැමති වුණා. අවුරුදු දහයකට පස්සේ ලංකාවට ආවාට තුෂාර කොහෙවත්ම ගියේ නැහැ. ආයේ කොහෙ කියලා යන්නද ? හැමතැනම පොලිසියනේ.
0 comments:
Post a Comment