Rozalia Galiyeva | ක්‍රීඩාවේ නාමයෙන් ආත්මාභිමානය බිඳ ගැනීම | 1992

ඔලිම්පික් තරග ආකෘතිය තුළ ජිම්නාස්ටික් කේවල සමස්ත සූරතාවය හෙවත් All Around - Individual සඳහා තෝරා ගැනෙන්නේ තරගකරුවන් 36 දෙනෙක් පමණකි. මූලික වටයෙන් ඉහළම ලකුණු ලබන 36 දෙනා ඒ සඳහා සුදුසුකම් ලබන අතර ඒ 36 අතරට එක රටකින් තෝරා ගනු ලබන්නේ තරගකරුවන් 3 දෙනෙක් පමණකි. ඒ අනුව මූලික වටයෙන් කෙතරම් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබුවද අවසාන වටයට සුදුසුකම් ලැබීමට නම් තම රටේ තරගකරුවන් අතරින් ද පළමු තිදෙනා අතරට පැමිණිය යුතු වේ.
1992 වසරේ බාර්සිලෝනා උළෙලට සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් සහභාගී වූයේ එක්සත් කණ්ඩායම හෙවත් Unified Team ධජය යටතේ ය. All Around - Individual මූලික වටය පැවැත්විණ. Unified Team කණ්ඩායමේ රන් පදක්කම් බලාපොරොත්තුව වූ Tatiana Gutsu කළ සුළු අත්වැරැද්දක් නිසා ඇය අපේක්ෂා කළ ලකුණු මට්ට්ම හිමි නොවීය. නමුත් ඇයට හිමි වූ සමස්ත ලකුණු මට්ට්ම අනුව Tatiana අවසාන ශ්‍රේණිගත කිරීම තුළ 9 වැන්නා ලෙස සඳහන් විය. අවසාන වටය සඳහා 36 දෙනෙක් තෝරා ගැනේ.
නමුත් Tatiana Gutsuගේ හෝ කාගේ හෝ අවාසනාවට Unified Team නියෝජනය කරන ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම ඇයට ඉදිරියෙන් ලකුණු ලබා සිටියාය. සමස්ත ශ්‍රේණිගත කිරීම තුළ 2 සහ 5 සහ 8 ලෙස Unified Team ක්‍රීඩිකාවන්ම තිදෙනෙක් ඉදිරියෙන් සිටින විට 9 වැන්නා වුවද Tatiana හට අවසාන වටයට යාමට වරම් ලැබෙන්නේ නැත.
නමුත් සිදුවූයේ වෙනත් දෙයකි. මූලික වටයේ ශ්‍රේණිගත කිරීම තුළ 8 වැන්නා ලෙස සිටි Unified Team කණ්ඩායමේ Rozalia Galiyeva දණහිස් ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත් කරගන්නා බවට කණ්ඩායමේ කළමණාකාරීත්වය දන්වා සිටින ලදි. ඒ අනුව එක රටකින් තිදෙනෙක්ගේ උපරිමය යන නීතියට අනුව පළමු 36 අතට සිටින ඊ ළඟ Unified Team ක්‍රීඩිකාව වන Tatiana Gutsu හට අවසාන තරගයට සහභාගී වීමට අවස්ථාව ලැබිණ. රන් පදක්කම සඳහා වඩාත් අවස්ථාව ඇත්තේ Tatiana ට බව පුහුණුකරු සහ බලධාරීන් විසින් තීරණය කළ අතර ඔවුන්ගේ මිනුමට අනුව අඩුම අවස්ථාව හිමි Rozalia Galiyeva ට ව්‍යාජ ආබාධයක් වැළඳිණ.
අවසාන තරගයේ දී Tatiana Gutsu රන් පදක්කම හිමි කරගත්තා ය. තෑගි මුදල Rozalia Galiyeva සමග සම සමව බෙදා දුන් බව ද ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම Rozalia සහ Tatiana එකිනෙකා සමග කතා කිරීමෙන් වැළකුණු බව පැවසිණ.
පසළොස් හැවිරිදි දැරියකට කණ්ඩායම් හැඟීම හමුවේ අකැමැත්තෙන් වුවද තම ආත්මාභිමානය පාවා දීමට සිදු විය. එසේ ලබාගත් රන් පදක්කම හරහා උපයාගත්තේ කුමක්දැයි යන්න විමසීමට හෝ නොහැක්කේ Unified Team නම් සංකේතීය රාජ්‍ය අද වන විට නොපවතින බැවිණ. නමුත් ක්‍රීඩාවේ නාමයෙන් ඇස්පනාපිටම තම අවස්ථාව උදුරාගත් පසළොස් හැවිරිදි දැරියට අද වන තුරුම සුව නින්දක් හිමි යැයි කිව හැක්කේ කාට ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. සහන කසීර,
    ලිවීමෙන් ඔබ ලබන ප්‍රහර්ෂය ඔබ විඳගන්න. එය කියවීමෙන් අප ලබන ප්‍රහර්ෂය අපි විඳින්නෙමු.

    ඔබට ස්තුතියි.
    - හේමන්ත අරුණසිරි -

    ReplyDelete