He Zhili | ආත්ම විශ්වාසය පසුපස එන ද්‍රෝහී ලේබලය | 1987


1987 වසරේ මේසපන්දු ලෝක සූරතාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ය. එහි කාන්තා කේවල අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේ චීන ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහ දකුණු කොරියානු ක්‍රීඩිකාවකි. ඒ අනුව එක් අවසන් පූර්ව තරගයක් චීන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතරත් අනෙක් අවසන් පූර්ව තරගය ඉතිරි චීන ක්‍රීඩිකාව සහ දකුණු කොරියානු ක්‍රීඩිකාව අතර පැවැත්විය යුතු විය.
පළමුව පැවැත්වුණේ චීන ක්‍රීඩිකාව සහ දකුණු කොරියානු ක්‍රීඩිකාව අතර අවසන් පූර්ව තරගය යි. නොසිතූ විරූ ලෙස දකුණු කොරියානු ක්‍රීඩිකාව විසින් චීන ක්‍රීඩිකාව පරාජය කරන ලදි. ඒ අනුව අවසාන මහා තරගය හෙවත් 1987 වසරේ මේසපන්දු ලෝක සූරිය තේරීම සිදුවන්නේ දකුණු කොරියාව සහ චීනය අතර තරගයකිනි. ඒ අනෙක් අවසන් පූර්ව වටයේ එකිනෙකා හා තරග වදින්නේ චීන ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම වන බැවිනි.
නමුත් චීන බලධාරීන් ඉන් සෑහීමකට පත් වන්නේ නැත. ඔවුන් එම දෙවැනි අවසන් පූර්ව වටයට පෙර එහි තරග වදින එක් ක්‍රීඩිකාවක් වන He Zhili හට උපදෙස් ලබා දෙන්නේ ඇය තරගය පරාජය වී අනෙක් චීන ක්‍රීඩිකාව වන Guan Jianhua හට ජයග්‍රහණය ලබා දිය යුතු බව ය. බලධාරීන් ට අනුව අවසාන තරගයට දැනටමත් සුදුසුකම් ලබා සිටින දකුණු කොරියානු ක්‍රීඩිකාව පරාජය කිරීමේ වැඩි අවස්ථාව ඇත්තේ He Zhili හට නොව Guan Jianhua හට ය. එබැවින් අවසන් පූර්ව වටයේ දී කෙසේ දක්ෂතා ප්‍රකට වුවද අවසන් වටයට යා යුත්තේ Guan Jianhuan ය.
එය සිදු වූයේ නැත. බලධාරීන්ගේ නියෝගය මායිම් නොකළ He Zhili අවසන් පූර්ව වටයේ තම උපරිම දක්ෂතා දක්වමින් ක්‍රීඩා කර 3-0 ක් ලෙස අනෙක් චීන ක්‍රීඩිකාව පරාජය කර ලෝක සූරතාවලියේ රන් පදක්කම් සටනට සුදුසුකම් ලැබුවාය. ඉන් අනතුරුව එළැඹුණු අවසාන මහා තරගයේ දී චීන බලධාරීන් මහත් අපහසුතාවයට ලක් කළ He Zhili විසින් දකුණු කොරියානු ක්‍රීඩිකාව 3-0 ක් ලෙස පහසුවෙන් පරාජය කර 1987 වසරේ ලෝක මේසපන්දු සූරිය බවට පත් වූවාය. කරකියාගත නොහැකි වූ පුහුණුකරු සහ කළමණාකරු අවසන් මහා තරගයේ දී He Zhili ට සහාය පළ කිරීමට කටයුතු කළේ එය ඔවුන්ගේ වගකීම බැවිනි.
සැබෑ තරගය ඇරඹෙන්නේ ඉන් පසුව ය. කේවල තරගයෙන් පසුව පැවති කණ්ඩායම් ඉසව්වේ ලෝක සූරතාවය චීන කණ්ඩායමට හිමි වූවත් ලෝක සූරිය වූ He Zhili හට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීමට බලධාරීන් කටයුතු කළහ. ඉන් අනතුරුව එළැඹුණු කාල වකවානුව තුළ තමාට ලැබෙන සැලකිලි මත තම ක්‍රීඩාවේ අනාගත ඉරණම කෙබඳුදැයි He Zhili වටහා ගත්තාය.
ඇය වහාම ජපානයට සංක්‍රමණය වී එරට පුරවැසි බව ලබා Chire Koyama නම් ජපාන නාමයෙන් ජපාන ධජය යටතේ තරග වැදුණාය. 1994 ආසියානු ක්‍රීඩා උළෙලේ දී චීන ක්‍රීඩිකාවන් පරාජය කරමින් ආසියානු සූරිය බවට පත් වූවාය. 1996 දී ආසියානු සූරතාවලියේ ද නැවත වරක් සූරතාව දිනා ගත්තාය. චීන මාධ්‍ය විසින් ඇයව Traitor හෙවත් "ද්‍රෝහියා" ලෙස හැඳින්වූවා පමණක් නොව , ජාත්‍යන්‍තර තරගාවලියකදී මුණ ගැසී ඇය සමග ඡායාරූපයකට පෙනී සිටි චීන මාධ්‍යවේදියෙකු පවා "දේශද්‍රෝහියෙක්" යැයි හංවඩු ගැසූහ.
තම දක්ෂතාව විශ්වාස කළ නිසාම He Zhili හට උපන් බිම හැර යන්නටත් , ද්‍රෝහී නාමයට උරුම කියන්නටත්, බොහෝ සිත් රිදවීම් වලට මුහුණ පාන්නටත් සිදු වන්නට ඇත. නමුත් හෘද සාක්ෂ්‍ය සහ ආත්ම විශ්වාසය පාර්ශ්වයෙන් He Zhili කෙතරම් නම් තෘප්තිදායක ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment