බන්දුල ගුණවර්ධන සිරිමතාණන් වෙත ලියමි ;


බන්දුල ගුණවර්ධන සිරිමතාණන් වෙත ලියමි ;
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 18 වන අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ ඔබ අද පිට කළ වචන කිහිපය පිළිකුලෙන් යුතුව අසා සිටියෙමි. 'හොඳම දේ ළමයින්ට'යැයි පුන පුනා කියන රටක මෙවැනි නරුම ප්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයෙකු හට රටේ අධ්‍යාපනය පස් වසරකට භාර දීම නිවැරදි කළ හැකි වරදක් නොවේ.
"ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර පාසැලක ළමයෙක් කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් කිරීම නිදහස් අධ්‍යාපනයට කරපු බරපතල හානියක්"
ජාත්‍යන්තර පාසලක සිසුවියක් උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනීම හරහා නිදහස් අධ්‍යාපනයට වන බරපතල හානිය ඔබගේ මුග්ධ දේශපාලනික ප්‍රකාශයක් ලෙස හැර කෙලෙස භාර ගනිමුද ?
බන්දුල ගුණවර්ධන නැණවතාණන් වෙත ලියමි;
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක් අ.පො.ස. උසස් පෙළ දේශීය විෂය නිර්දේශය යටතේ යම් කිසි විෂයය ධාරාවක දිවයිනේ මුල් තැන දිනා ගන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. අපි ඒ බව පිළි ගනිමු. නමුත් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසු සිසුවියන් අ.පො.ස. උසස් පෙළ විභාගයේ දේශීය විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින්නේ ඉතිහාසයේ පළමු වරට නොවන බව ඔබට සිහිපත් කරනු කැමැත්තෙමු. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසු සිසුවියන් අ.පො.ස. උසස් පෙළ විභාගයේ දේශීය විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිට රජයේ විශ්ව විද්‍යාල වලට , වෛද්‍ය පීඨයට , ඉංජිනේරු පීඨයට සහ කළමණාකරණ පීඨයට සුදුසුකම් ලබන්නේ ද පළමු වරට නොවන බව ඔබට සිහිපත් කරනු කැමැත්තෙමු.
අවස්ථාවාදී ප්‍රකාශ නිකුත් කරමින් පාසල් සිසුවියකගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් අවතක්සේරු කළ හිටපු අධ්‍යාපන ඇමතිතුමනි;
උක්ත අමනෝඥ ප්‍රකාශය මුදා හරින්නට පෙර පසුගිය දසකය මුළුල්ලේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවයන් නිරීක්ෂණය කරන්නට තරම් බුද්ධිමත් බවක් හෝ වැඩිහිටි බවක් ඔබට තිබිණි නම් ; මේ දසකය මුළුල්ලේම ලයිසියම් සිසු සිසුවියන් කොපමණක් දේශීය විෂයය නිර්දේශය යටතේ උසස් පෙළ සමත් ව දේශීය විශ්ව විද්‍යාල වලට තේරී පත් වනවාදැයි ඔබට අවබෝධ කරගන්නට තිබිණ.
රුපියල් දෙදහස් පන්සියයකින් මාසයක් ජීවත් වන හැටි හොයාගත් ප්‍රාඥයාණෙනි ;
2015 වර්ෂයට පෙර සිට ; එනම් ඔබ විසින් මෙරට අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ පවා ජාත්‍යන්තර පාසක් සිසුන් හට දේශීය විෂයය නිර්දේශ යටතේ සරසවි වරම් ලබා ගන්නට කිසිදු බාධාවක් තිබී නැත. එසේ නම් වරද ඇත්තේ ලංකාවේ පළමු තැන දිනා විභාගයෙන් සමත් වීම ද ?
දේශපාලනික ලාභ ප්‍රයෝජන උදෙසා තම උගත්කම බල්ලාට හෙලූ බන්ධුල ගුණවර්ධන මැතිඳුනි ;
ආගමික අගතියෙන් තොරව මෙය ද සිහිපත් කරමි. භික්ෂූන් වහන්සේ උදෙසා වෙනමම පිරිවෙණ සහ විශ්ව විද්‍යාල තනවා ඇති, ඒ අධ්‍යාපන ආයතන උදෙසා වෙනමම විභාග ක්‍රම හඳුන්වා දී ඇති මේ රටේ ; 2017 වර්ෂයේ උසස්පෙළ විභාගයේ අප මාතෘකාවට තුඩු දුන් කලා අංශයේ දේශීය විෂය නිර්දේශය යටතේ දිවයිනේ මුල් තැන හිමි කරගන්නේ භික්ෂූන් වහන්සේ නමක විසිනි. බෞද්ධ - කතෝලික - ඉස්ලාම් ආදී පැවිදි පාර්ශවයන් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කළ අධ්‍යාපන ක්‍රමය වෙනුවට සාමාන්‍ය විෂය නිර්දේශය ලියා විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට එම අධ්‍යාපනික ජයග්‍රහණ ගිහි පැවිදි භේදයකින් තොරව භාරගන්නට සහ සතුටු වන්නට තරම් මේ දූපත්වාසීහු විශාල හදවත් ඇත්තෝ වූහ.
බන්ධුල ගුණවර්ධන මහතාණෙනි ;
හැට පස් හැවිරිදි වැඩිහිටියෙක් ලෙස දහ නම හැවිරිදි යොවුන් දැරියකගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් වත් මානුෂික ඇසකින් දකින්නට නොහැකි මට්ටමට ඔබේ හදවත කුඩා ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment