ප්‍රගීත් එක්නැළිගොඩ - අතුරුදන් කර වසර 9 යි


2010 ජනවාරි 24 සිට දා සිට ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කර ඇත. 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පරදා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාව ජනපති පදවියට ගෙන ආ බොහෝ දෙනෙක් ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියහ.
2016 ජනවාරි 23 BBC සංදේශය වාර්තා කළේ 'පියකු තුළ තම පුතුන් කෙරෙහි කෙතරම් ආදරයක් පවතිනවාදැයි දන්නේ පුතුන් සිටින පියවරුන් මිස පුතුන් නොමැති පියවරුන් නොවන බවත් එය රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍යත්වයේ අශීලාචාර බව පිළිබඳ ගැටලුවක් බවත්' යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව ය.
එසේ නමුත් එක්නැලිගොඩ පුතුන් හට තම පියාට සිදු වූයේ කුමක්දැයි අද වනතුරු දැනගන්නට ලැබී නැත. එන්රිකේ කොන්සර්ට් නරඹන්නට එන තරුණියන්ගේ තිසර පට පිළිබඳ පවා අතිශය සංවේදී වූ වත්මන් ජනපතිවරයා තමා බලයට පත් වන තුරුම පොදු අපේක්ෂක වේදිකා වල අලෙවි කළ ප්‍රගීත් එක්නැලිගොඩ නම් පුරවැසියා පිළිබඳ සංවේදී නැත.
අනාගතයේ යම් දිනෙක රාජපක්ෂ රෙජීමය සහ ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ පුවත් වාර්තා හදාරන්නෙකු තම නිගමනය මෙසේ පළ කරනු ඇත.
"රාජපක්ෂ පාලන සමයේදී අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ නම් වූ පුද්ගලයා අසාමාන්‍ය බලයකින් යුතු පුද්ගලයෙක් යැයි අනුමාන කළ හැකිය. රාජපක්ෂ පාලන සමයේ රජයේ මන්ත්‍රීවරුන් සහ නිළධාරීන් එක්නැලිගොඩ සිටින තැන පිළිබඳව පල කර ඇති අදහස් අනුව ඔහු ජුසේවාස් සාන්තුවරයාට පසුව එක වර දෙතැනක දර්ශනය වීමේ අසාමාන්‍ය බලය එනම් Gift of bi-locations තිබූ එකම පුද්ගලයා ලෙස හැඳින්විය හැකිය"
එය ආරම්භ වන්නේ රාජපක්ෂ රෙජීමයේ අගවිනිසුරු සහ කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක වූ මොහාන් පීරිස් ජාත්‍යන්තරය හමුවේ කළ මේ ප්‍රකාශය ඔස්සේ ය. 2011 නොවැම්බර් 09 වැනිදා ජිනීවා නුවර පැවති ප්‍රචණ්ඩත්වයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ 47 වැනි සභාවාරයට (CAT) සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපතිවරයා ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව මෙසේ කරුණු ඉදිරිපත් කළේය. "හොඳින් පරීක්ෂණ පවත්වා තහවුරු කරගෙන ඇති පරිදි ප්‍රගීත් විදේශයක රැකවරණ ලබා සිටින බව සැහෙන දුරට තහවුරු කරගෙන තිබෙනවා. මම මේක කියන්නේ ප්‍රයෝගකාරී අදහසකින් නෙවෙයි. මේක ගැන අපිට බොහෝදුරට පැහැදිලියි. අපිට මාධ්‍ය හරහා මේ ගැන තොරතුරු ලැබී තිබෙනවා"
නමුත් 2012 ජූනි 05 වැනිදා මේ ප්‍රකාශය පිළිබඳව කොළඹ අධිකරණය හමුවේ අදහස් පළ කරන හිටපු නීතිපතිවරයා 'වසර ගණනාවක් මුළුල්ලේ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සිටිනා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවත් ප්‍රගීත් එක්නැලිගොඩ විදේශගතව ඇති බවට රහස් ඔත්තු සේවාවන් ලබාදුන් තොරතුරු මත පදනම් වී තමා එම ප්‍රකාශය කළ බවත්' BBC සංදේශය වාර්තා කර තිබිණ.
2013 ජූනි 05 වැනිදා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු 'ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංසයේ ජීවත් වන බව ප්‍රංසයේ වෙසෙන මංජුල වෙඩිවර්ධන තමාට පෙන්වූ බව' ප්‍රකාශ කළේය. 'මංජුල වෙඩිවර්ධන සිරුරින් උස නැති පුද්ගලයකු මට හඳුන්වල දුන්නා. ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ. ඊට පස්සේ ඒ පුද්ගලයා මාව මඟ හැරලා, මට කථා කරන්නේවත් නැතිව යන්න ගියා'. යනුවෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශය අරභයා 2013 ජූනි 07 දා BBC සංදේශයට අදහස් දක්වන මංජුල වෙඩිවර්ධන තමා අරුන්දික මන්ත්‍රීවරයා අවසාන වරට දුටුවේ, 2007 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී බවත් පසුගිය වසරේ අගභාගයේදී ප්‍රංසයට පැමිණ සිටි මන්ත්‍රීවරයා දුරකථනයෙන් තමාට කතාකළ බවත් ප්‍රකාශ කළේය. තමා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ හඳුන්වා දුන් බවට මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශය "අමූලික බොරුවක්" බව පවසන මංජුල වෙඩිවර්ධන, තමා කිසි දිනෙක ප්‍රංසයේ දී අරුන්දික ප්‍රනාන්දු හමු නොවූ බවත් එකම පාසලේ උගත් නමුත්, ඔහු කිසිසේත්ම තමාගේ මිත්‍රයෙක් නොවන බවත් පැවසීය.
ඒ අතර අරුන්දික ප්‍රනාන්දුගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන මෙන් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් අභියෝග කළ නමුත් 2013 ජූනි 11 වැනි දා මාධ්‍ය හමුවක් කැඳවමින් එම අභියෝගය ප්‍රතික්ෂේප කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා 'තමා සමග වාද කිරීමෙන් සන්ධ්‍යා දේශපාලන චරිතයක් ලෙස ඉස්මතුවීමට උත්සාහ දරන බව' ප්‍රකාශ කළේය. 'අතුරුදහන්වූ පුද්ගලයෙකු පිළිබඳ යම් හෝඩුවාවක් ලැබුණු පසු කළයුත්තේ ඒ පිළිබඳ සොයාබැලීම මිස ප්‍රසිද්ධ වාදවිවාද කිරීම නොවන බව' ද ප්‍රකාශ කළ හෙතෙම 'එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප්‍රංසයේ ජීවත්වන බවට තමා පසුගියදා කළ ප්‍රකාශයෙන් අනතුරුව, ජනමාධ්‍ය මගින් තමන්ට "මඩ ගැසීමේ" ව්‍යාපාරයක් දියත් කොට තිබෙන' බව සඳහන් කර ඒ පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් කථානායකවරයාට ද යොමුකර තිබිණ.
එසේ නමුත් 2013 ජූලි 16 දින හෝමාගම අධිකරණයේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේ සිටින බවට තමන්ට ප්‍රකාශ කළ බව ය. පසු දිනම මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා 'අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය අමූලික අසත්‍යයක් බවත් සැබැවින්ම ඔහු සිදු කරමින් සිටින්නේ, ඔහු විසින් ප්‍රකාශ කරන ලද බොරුවක් තහවුරු කර ගැනීම සඳහා දැන් තමාගේ නම සඳහන් කරමින් තව තවත් බොරු වැපිරීම' බවත් පවසා සිටියේය. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ බොරු කියන්නේ ආණ්ඩුව වෙනුවෙන් බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා 'ආණ්ඩුව මේ හෑල්ලු කරමින් සිටින්නේ, මිනිස් ජීවිතවල වටිනාකමය. ඝාතනයන්, අතුරුදහන්කිරීම් පිළිබඳව තමන්ට එල්ලවන චෝදනාවලින් ලිස්සා යාම සඳහා වගකීම් විරහිත ලෙස මෙසේ විවිධ අවස්ථාවන්හි විකටයින්, බම්මන්නන් ඉදිරියට දැමීමෙන් ආණ්ඩුව සිදුකරන්නේ, රටත් ජනතාවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුකිරීම පමණය' යනුවෙන් ද පැවසීය.
2018 දෙසැම්බර් 11 වැනිදා ගායක මධුමාධව අරවින්ද මුහුණුපොතේ සටහනක් සඳහන් කළේ ප්‍රගීත් එක්නැලිගොඩ ඩුබායිහි ජීවත් වන බව තමාට කිසියම් පුද්ගලයෙක් පැවසූ බවයි. පසුගිය වසර කීපය මුළුල්ලේ ඔහු ෆේස්බුක් හරහා ලියූ දෑ පිළිබඳව දන්නා අය මධුමාධව අරවින්දගේ සිංදු ඇසීමෙන් ඔබ්බට ඔහුගේ ෆේස්බුක් ලිවීම් බැරෑරුම් ලෙස නොගන්නා හෙයින්ද භවාතීශ කෙළතොල්ලන්ගේ ප්‍රකාශ වලට දේශපාලනික වටිනාකමක් දීම නුසුදුසු හෙයින් ද ඒ ගැන තව දුරටත් ප්‍රකාශ නොකරමි.
මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ !
වසර නමයක් ඉක්ම ගියද එක්නැලිගොඩ තවම නැත. අරුන්දික ප්‍රනාන්දු තවම සැපෙන් සනීපෙන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment