Peter Norman | සමාජ සාධාරණත්වය උදෙසා දයාර්ද මිනිසත් බව | 1968


අද , එනම් පෙබරවාරි 20 යනු එක්සත් ජාතීන්ගේ World Day of Social Justice හෙවත් සමාජ සාධාරණත්වය උදෙසා වන ලෝක දිනය ය. එම දිනයට සමගාමීව 2019 වසරේ තේමාව වන්නේ If You Want Peace & Development, Work for Social Justice යන්න ය. හෙට දවසේ සාමය සහ සංවර්ධනය උදෙසා අද දවසේ සමාජ සාධාරණත්වය උදෙසා මේ ලිපිය ඉදිරිපත් කරමි.
1968 වසරේ මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ මීටර් 200 පිරිමි ඉසව්වේ ජය හිමි වන්නේ ඇමරිකාවේ Tommie Smith හටය. රිදී පදක්කම ඔස්ට්‍රේලියාවේ Peter Norman හට හිමි වන විට ලෝකඩ පදක්කම ඇමරිකාවේ ම John Carlos හට හිමි විය.
පදක්කම් ප්‍රදානය ඇරඹිණ. රන් රිදී සහ ලෝකඩ පදක්කම් පිරි නැමීමෙන් පසුව ඇමරිකානු ජාතික ගීතය වාදනය විය. එවිට කළු ජාතික ඇමරිකානුවන් දෙදෙනෙක් වන ස්මිත් සහ කාර්ලෝස් මුහුණ බිමට නැඹුරු කරගනිමින් කළු පැහැ අත්වැසුමක් පැළැඳි අතක් ඉහළට ඔසවා විරෝධතා ඉරියව්වක් පල කළහ. පසුකාලීනව Black Salute ලෙස ලෝ ප්‍රකට වූ මේ විරෝධය තුළින් ඔවුන් අපේක්ෂා කරන ලද්දේ ඇමරිකාව තුළ කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණකම් සහ අයුක්තිසහගතකම් ලෝකයා හමුවට ගෙන ඒම ය. කළු ජාතිකයින් දෙදෙනා ලෝකය ඉදිරියේ සුදු බලාධිකාරියට අභියෝග කරන විට ඔවුන් දෙදෙනාට ඉදිරියෙන් වූයේ රිදී පදක්කම් ලාභි සුදු ජාතික පීටර් නෝර්මන් ය.
I'll stand with you ....පීටර් නෝර්මන් එසේ පැවසුවේ ය. ජෝන් කාර්ලෝස් සහ ටොමී ස්මිත් නම් වූ කළු ජාතික ඇමරිකානුවන්ගේ වේදනාව ලෝකයටම පැවසීමේ අරමුණ දැනගත් මොහොතේ ම මේ සුදු ජාතික ඕස්ට්‍රේලියානුවා පවසන්නේ I'll stand with you'යනුවෙනි. පීටර් නෝර්මන් පදක්කම් ප්‍රදානයට එක් වන්නේ වෙනත් ඇමරිකානු ක්‍රීඩකයෙක්ගෙන් ඉල්ලාගත් ඔලිම්පික් මානව හිමිකම් ව්‍යාපෘතියේ හෙවත් Olympic Project for Human Rights (OPHR)හි පදක්කමක් පැළඳගෙන ය. මන්ද යත් එම පදක්කම කාර්ලෝස් සහ ස්මිත් දෙදෙනා ද පැළඳ සිටි බැවිනි. අවසානයේ කළු ජාතිකයන් දෙදෙනාගේ සමාජ සාධාරණය උදෙසා වූ විරෝධතාව ලෝ පුරා පැතිරෙද්දී සුදු ජාතිකයාගේ ස්ථාවරය පිළිබඳව ද ලෝකයා දැනුවත් වූහ. ජාත්‍යන්‍තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ අනතුරු ඇඟවීම මත සමස්ත ඇමරිකානු මළල ක්‍රීඩා කණ්ඩායම ම තහනම් කිරීමට පෙර කාර්ලෝස් සහ ස්මිත් ව ක්‍රීඩා ගම්මානයෙන් නෙරපීමට ඇමරිකානු බලධාරීන් කටයුතු කළහ.
මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ සිට නව ජාතික වාර්තාවක් සහ රිදී පදක්කමක් සමග මව්රට බලා ගිය පීටර් නෝර්මන් ගේ මළල ක්‍රීඩා දිවියට නිල නොවන තහංචි පැනවිණ. 1972 මියුනික් ඔලිම්පික් උළෙල සඳහා පරිසාධන මට්ටම පවා ඉක්මවා තිබුණද ඔහුව එවර ඔලිම්පික් සංචිතයට ද ඇතුළත් කර නොගනී. අදටත් මීටර 200 ඉසව්වේ ඕස්ට්‍රේලියානු ජාතික වාර්තාව හිමි වන්නේ පීටර් නෝර්මන්ට ය. නමුත් කැතී ෆ්‍රීමන් නම් ස්වදේශික ඇබොරිජින් ක්‍රීඩිකාව උත්කර්ෂයට නගමින් පැවති 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී පීටර් නෝර්මන් හට වැදගත් කමක් ලබා නොදීමට ද බලධාරීන් ප්‍රවේසම් වූහ.
සමාජ සාධාරණය නොලැබෙන තැන වේදනාවට පත් කළු ජාතිකයන් වෙනුවෙන් සංවේදී වූ සුදු ජාතිකයා වසර හැට හතරක් ආයු වළඳා ලොවෙන් හුදෙකලා වී ඕස්ට්‍රේලියාවේ දී මිය යන්නේය. ජෝන් කාර්ලෝස් සහ ටොමී ස්මිත් ඇමරිකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණියහ. තමා වෙනුවෙන් නිහඬ අරගලයක යෙදී එතැන් පටන් ක්‍රීඩා දිවියම අඳුරු කරගත් මිනිසාගේ නිසල දේහයේ බර දැරීය. කාර්ලෝස් සහ ස්මිත් ගේ හෘද සාක්ෂිය නෝර්මන් වෙනුවෙන් නොවලහා අවදි විය. "මම ඒ මොහොතේ ඔහුගේ ඇස් වලින් බියක් බලාපොරොත්තු වුණා" අවමංගල්‍යොත්සවය ඇමතූ කාර්ලෝස් පැවසීය. "නමුත් මම පීටර් ගේ ඇස් තුළින් දැක්කේ දයාව"


වසර 51 ක් ගත වී ඇත. පීටර් නෝර්මන් 1968 වසරේ දී මෙක්සිකෝ සිටි හි දී තැබූ ඔස්ට්‍රේලියානු වාර්තාව අදටත් බිඳ වැටී නොමැත.
වාර්තා බිඳ දැමීම අපහසු නැත. නමුත් වසර දහසක් ගත වුවද ඒ උදාරතර මිනිසා සමාජ සාධාරණත්වය උදෙසා කළ කැපවීමේ මතකය බිඳ දැමිය හැකි වේද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment