ඔරලෝසුව


ලියුම හම්බ වුණේ චූටාගේ හත් දවසේ දානෙත් ඉවර වුණාට පස්සේ. කජු මාලුව කිරිහොද්දට බහින කොට කොහොමත් සෙනඟ ටික ටික අඩු වෙනවනේ. ඒ වෙනකොට ගෙදර ඉතුරු වෙලා හිටියේ පවුලේ අය විතරයි.චූටාගේ සිංගර් මහන මැසිම ලොකු අක්කලාගේ වෑන් එකට පටවන්න යනකොට තමයි ලියුම හම්බ වෙලා තිබුණේ.ලාච්චු අස් නොකර අරං ගියා නම් ඔය ලියුම කවදාවත් ලැබෙන්නේ නෑ.
'අක්කා සහ දූලා වෙත ලියමි' ටෙලි නාට්‍ය වල ,චිත්‍රපටි වල පෙන්නනවා වගේ එක්කෙනෙක් හඬනගා ලියුම කියවනකං අනික් අය වටවෙලා බලාගෙන හිටියේ නෑ. ලියුම මුලින්ම කියෙව්වේ ලොකු අක්කා. ඒ අර ලාච්චුව අස් කරනකොට හම්බ වුණ නිසා. ලොකු අක්කා කියන්නේ මම බැඳලා ඉන්න අසංගි ගේ ලොකුම අක්කා. එයාගේ නම විරංගි. දෙවැනි අක්ක සමංගි. මැරුණ චූටා කියන්නේ මේ ගෑණු ළමයි තුන්දෙනාගේ පුංචි අම්මා. එයා ලියුමේ අක්කා කියලා අමතලා තිබුණේ එයාගේ අක්කට. ඒ කිව්වේ ගෑණු ළමයින්ගේ අම්මට. ලොකු අක්කා විරංගි තුෂ්ණිම්භූත වෙලා බලා ඉන්නකොට අපි එක එක්කෙනා ලියුම අරං කියෙව්වා.
"මට දැන් තනියම වැඩපල කරගන්න බැරි කාලේ. අක්කලා මං වෙනුවෙන් වෙන මහන්සිය මට හරි හිතට කරදරයක්. මගේ ජීවිත කාලෙම අනුන්ට කරදරයක් වෙලා ජීවත් වෙන්න වුණු එක මගේ අවාසනාව වෙන්න ඇති" චූටා එහෙම ලියලා තිබුණා. මිටි ,මහත චූටා මට මැවිලා පෙණුනා. "ගෑණු ළමයගේ අක්කල දෙන්නම බැඳලා. ඒ ගෙදර ඉන්නේ අම්මයි , තාත්තයි , පුංචි අම්මයි විතරයි. පුංචි අම්මා බැඳලා නෑ. පොඩි කාලේ ඉඳන් පපුවේ සිදුරක් තියෙන කෙනෙක්." චූටා ගැන මට මුලින්ම අහන්න ලැබුණේ අසංගි ගැන යෝජනාව ගෙනාපු කපු මහත්තයාගෙන්. ඇත්තටම කිව්වොත් කසාදේ තීන්දු කරගන්න කලියෙන් අපේ අම්මලා වැඩියක්ම මහන්සි වුණේ චූටා ගැන හොයන්න. "කවුද දන්නේ? ඔය පපුවේ ලෙඩේ ආරෙට යනවද කියලා." එහෙම කිව්ව අපේ අම්මා මොසාඩ් ඔත්තු සේවය දාලාද දන්නේ නෑ , සතියකින් විස්තර හොයා ගත්තා. අසංගිගේ අම්මට චූටා ඇරුණාම තවත් සහෝදරියො දෙනෙකුයි , සහෝදරයො තුන් දෙනෙකුයි ඉන්නවලු. ඒ කාටවත් දෙයියනේ කියලා එහෙම අසනීපයක් නෑලු. දෑවැද්දට මහ ගෙදරත් හම්බ වෙන එකේ අම්මා හැරෙන තැපෑලෙන් අසංගිලාට හා කිව්වා. අපි මනමාලි බලන්න ගිය දවසේ චූටා සාලෙට ආවෙම නෑ කියලා මතක් වුණේ දැන් තමයි.
"පොඩි කාලේ ඉඳන්ම මට වුණේ අයියලාට අක්කලාට බරක් වෙන්න. ඉස්කෝලේ ගියත් එහෙමයි. ඒ නැතුව ගෙදර හිටියාමත් එහෙමයි. ඉතිං මට මේ ජීවිතේ ඇරලා යන එක ලොකු දෙයක් නෙමෙයි කියලා දැන් දැන් කල්පනා කරනකොට හිතෙනවා" මම අසංගිගේ කර උඩින් එබිලා චූටාගේ ලියුමේ පේන ඡේදයක් කියෙව්වා.
"ඉතිං අම්මේ ! චූටා ඇයි මෙහෙම දෙයක් ලිව්වේ ? අපි කවදාවත් එයාට වෙනස්කමක් කරලා නෑනේ. අපි කොච්චර ආදරෙන් හිටියද ?" ලොකු අක්කා විරංගි රතු වුණ මූණෙන් කියනකොට ඇස් දෙකේ කඳුළු බේරෙන්න වුණා. "වෙන එකක් තියා අපේ සමීරත් චූටාට කොච්චර නම් ආදරේද ? එයා එයාගේ පවුලේ මළ ගේකටවත් නිවාඩු දාන්නේ නැති කෙනා මෙහෙ සතියක් තිස්සේ වැඩනේ" ලොකු අක්කා වට පිට බල බල සමීරව හෙව්වට වැඩක් වුණේ නෑ. ලොකු මස්සිනා එවෙලේ හිටියෙ තාප්පේ ළඟ දුමක් දාගෙන.
"අක්කයි අයියයි දූලායි මට ආදරෙන් සැලකුවා තමයි. ඒත් මට දැන් හිතෙනවා මගේ ජීවිතේටම මට ඕනේ විදියේ ආදරයක් මතක ඇති කාලෙක ඉඳන් ලැබුණේ නෑ කියලා" චූටාගේ ලියුමේ ඒ කොටස පෙන්නපු අසංගි එයාගේ අම්මගේ අතින් අදින්න වුණා. " අනේ ඇයි අම්මේ ! චූටා මෙහෙම හිතලා තියෙන්නේ. අපි කොයි තරම් ආදරේද එයාට. අපි අම්මටත් වඩා ආදරේ එයාට කියලානේ හැමෝම කියන්නේ" අසංගි කියන කතාව ඇත්ත. පස්සේ කාලෙක දැනගත්ත විදියට චූටා තමයි ගෑණු ළමයි තුන්දෙනාගෙම භාරකාරයා වෙලා ඉඳලා තියෙන්නේ. මොන්ටිසෝරියේ ඉඳන් කැම්පස් යනකංම උදේ දවල් කෑම උයලා , ඇඳුම් ලෑස්ති කරවලා ඔක්කොගෙම අඩු පාඩු බැලුවේ චූටා කියලා අසංගි ඉස්සර කියනවා. "චූටා කැමති නෑ අම්මාවත් තාත්තාවත් ඒවට ඇඟිලි ගහනවට. එයාම ඔක්කොම කරලා , අපිට එක්කෙනාට එක්කෙනා අතින් අල්ලගන්න කියලා පේළියට ඉස්කෝලේ ළගටම ගෙනියනවා" අසංගි කියපු විදියට නම් චූටායි එයාගේ අත් ගුණේ ගැනයි ඉස්කෝලේ යාලුවෝ පවා දන්නවා. "චූටාට අසනීප හැදෙන දවසට අම්මා උයනවනේ. බත් එක දිග අරිනකොටම අපේ කෙල්ලෝ කෑ ගහනවා අද චූටා නෙමේ උයලා තියෙන්නේ කියලා" ඒ කාලේ ඒවා කිය කිය හිනාවුණ අසංගි අද අඬනවා.
"චූටි නංගිට පපුවේ හිලක් තියෙන බව දැනගන්න කොට එයා දෙකේ පංතියේ. මම අටේ පංතියේ." අසංගිගේ අම්මා ජනේලෙන් එළියේ ඈත බලාගෙන කතා කරන්න ගත්තා. හරියට අපිට නෙමේ වගේ. "ඊට පස්සේ තාත්තා කැමති වුණේම නෑ චූටිව ඉස්කෝලේ යවන්න. ඒ කාලේ ඩොක්ටර්ස්ලා කිව්වේ මහන්සි කරවන්න එපා කියලා. ඒත් චූටි උදේට අපි ඉස්කෝලේ යනකොට බිම පෙරළි පෙරළි කෑ ගගහ අඬන නිසාම අන්තිමට එයාවත් ඉස්කෝලේ එවන්න වුණා" අම්මා කතාව නවත්තලා ලියුම ඉල්ල ගත්තා. කණ්ණාඩිය දා ගත්තා." ඒත් ලොකු වෙනකොට චූටිට දූවිලි ඇලජික් වුණා. ඒ අස්සේ පපුවේ මහන්සියට කලන්තේ දාන දාන සැරේට අපිට පණිවුඩ එවන්න ගත්තාම චූටිටම ලැජ්ජා හිතිලා වෙන්න ඇති දහය වසරෙන් පස්සේ ගෙදර නැවතුණා. අපරාදේ ! ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්" අම්මා හීල්ලුවා.
චූටාගේ ලියුමේ තිබ්බෙම මේ ගෙවන ජීවිතේ ගැන තියෙන කළකිරීම සහ තමන්ට තියෙන තනිකම. ගෑණු ළමයින්ට තිබුණ ප්‍රශ්නය තමයි ඇයි ඒ වග මෙච්චර කාලයක් තමන්ට නොතේරුණේ කියන එක. අම්මා ආයෙම කිව්වේ නැතත් අපි හැමෝම දැනගෙන හිටියා චූටා මේ ගෙදර ළමයි බලාගෙන හිටියේ ආසාවෙන් කියලා. පන්සලකට යන්න උවමනාවක්, වෙලාවක් නැති තරමට චූටාට තමන්ම පවරගත්ත වැඩ රාජකාරි තිබුණා. ගෙදර තිබුණ මංගල්ල තුනේම වෙඩින් කේක් හැදුවෙත් චූටා. ලස්සන අකුරෙන් කාඩ් ලිව්වෙත් චූටා.
"මගෙ පපුවේ අමාරුව දැන් දැන් දවස ගාණේ එන්න ගත්තාම මට දැනෙනවා මම යන කාලේ ළඟයි කියලා. අක්කට මතකද ? තාත්තා ඉන්න කාලේ බයේ හිටියේ එයාලා නැති වුණාම මට මොනවා වෙයිද කියලා. ඒත් මට මොනවත් වුණේ නෑ. අක්කලා මාව බලා ගත්‍තා. අක්කාට මතකද එක පාරක් මට මනමාලයෙක් ගෙන්නලා වෙච්චි වැඩේ. මෙච්චර කල් ජීවත් වෙන බවක් දන්නවා නම් ඒ මනුස්සයාට කලින් කසාදේ ළමයි ඉන්න බව නොහිතා කැමති වෙන්නත් තිබුණා කියලා දැන් මට හිතෙනවා"චූටා ලියපු ඒ කොටස ගැන ලොකු අක්කා විරංගි අම්මගෙන් ඇහුවා. ඒ කාලේ චූටාට කසාද හොයපු වගක් ගෑණු ළමයි කවුරුවත් දැනං ඉඳලා තිබුණේ නෑ.
"අනේ ඒ මනුස්සයට කලින් කසාදේන් ළමයි හිටියේ නෑ" අම්මා කඳුළු පිහ පිහ කතා කරන්න ගත්තා."අපේ තාත්තා බයේ හිටියේ චූටි නංගිට කාත් කවුරුත් නැති වෙයි කියලා. අපි ඔක්කොම බැඳලා. එතකොට මට ලොකු දූ හම්බවෙන්න. තාත්තා කලින් කසාදෙකින් වෙන් වුණ කොල්ලෙක්ව ගෙන්නුවා. ඔය කඳාන පැත්‍තේ. රතු , හොඳ පෙනුම තියෙන කොල්ලෙක්. අපේ චූටිත් කැමති වෙලා හිටියේ. ඒත් අන්තිමට අපේ ගමේ කවුරුහරි ඒ ගෙදරට ලියුමක් යවලා චූටි ජීවත් වෙන්නේ පපුවට මැශින් එකක් හයි කරලයි කියලා. අර කොල්ලාගේ අම්මා මේක කරන්න බෑ කියලා පණිවුඩයක් එව්වා" අම්මා ලොකු සුසුමක් හෙළනකොට දූලා ටික පුදුමයෙන් අහගෙන හිටියා. "චූටිට දුක හිතෙයි කියල අපි හදපු බොරුව තමයි ඔය කලින් කසාදේ ළමයි ඉන්න කතාව"
කාමරේ තත්ත්වය එන්න එන්න සෝකාකූල වුණා. මෙතන ඉන්නේ අසංගියි , අක්කලා දෙන්නයි , අම්මයි විතරයි. පිට කෙනෙක්ට ඉන්නේ මම විතරයි. ලොකුමස්සිනා එළියේ මකරෙක් වගේ දුම් පිඹිනවා. දෙවැනි මස්සිනා ඊයේ රෑම ගෙදර ගිහිං. මම අමද්‍යප නිසා අනුන්ගේ ලියුම් කියව කියව බලා ඉන්නවා.
"එතකොට මොකක්ද අම්මේ අර ඥානප්‍රකාසම් කෙනෙක්ගේ කතාව?" සමංගි , දෙවැනි අක්කා පළවෙනි වතාවට කට ඇරියා. එයා ටීචර් කෙනෙක්නේ. උගන්නන්න තමන්ගේ පීරියඩ් එක එනකං ඉන්නවා වගේ තමයි එයාගේ කතාවත්. " චූටා ඒ මනුස්සයා එක්ක යාලු වෙලා හිටියද ?" සමංගිගේ කටහඬේ නොරිස්සුමක් තැවරිලා තිබ්බා. " වෙලාවට අරයා ඊයේ ගෙදර ගියේ. නැත්නම් මේවා දැකලා අපිටත් හිනාවෙයි" දෙවනි අක්කා කියවගෙන කියවගෙන ගියා.
"'මෙන්න ඒ ඔරලෝසුව." ලොකු අක්කා උදාසීන විදියට කළු පාට ඔරලෝසුවක් අම්මා දිහාවට දික් කළා. "මේ කියන විදියට මේක අවුරුදු තිස් ගාණක් පරණ ඇති. ප්‍රකාසම් අංකල් මෙහෙ ඉන්නකොට මට මම මොන්ටිසෝරියේ." ලොකු අක්කා කිව්වා. ඒ කියන්නේ දෙවනි අක්කට අවුරුදු දෙකයි. අසංගි ඉපදෙන්න කලින් අවුරුද්ද.
අම්මා ඔරලෝසුව අතට අරගෙන ඒක මූණට ළං කරලා බැලුවා. "ප්‍රකාසම් මෙහෙ හිටියේ සති තුනයි. ජූලි කලබල නිසා එයාට යාපනේට යාගන්න බැරුව ඉන්නකොට තාත්තා තමයි එක්කං ඇවිල්ලා හංගං හිටියේ. ඒත් මම දැනං හිටියේ නෑ මේ ඔරලෝසුවක කතාවක්. " අම්මා කල්පනා කර කර කියන්න වුණා. “චූටි නංගි කවදාවත් අපෙන් ඔරලෝසුවක් ඉල්ලුවේ නෑනේ. ඕනේ කිව්වා නම් අරං නොදෙනවද ? අනික් එක එයා මේ ඔරලෝසුව කවදාවත් දැම්මෙත් නෑ " අම්මා ආයෙම ඔරලෝසුව දිහා බැලුවා. "බොරු ගොතලා ලියලද මන්දා"
චූටා ඔරලෝසුව ගැන ලියලා තිබ්බේ පිටු දෙකක ලියුමේ අන්තිම ඡේදේ. ඒ තාක් ලියලා තිබුණේ තමන්ගේ තනිකම සහ මරණය හරහා ලැබෙන නිදහස ගැනමයි. ඒත් අන්තිම ඡේදේ වෙනකොට ඒක මළ ගෙදර දක්වා පැතිරිලා තිබුණා.
" අක්කේ. මේ ලියුම එක්ක ඔරලෝසුවක් ඇති. ඒක මට දුන්නේ ඥානප්‍රකාසම්. මතකද ? කළු ජූලිය වෙලාවේ අයියා එක්ක මෙහේ ඇවිල්ලා හැංගිලා හිටිය ‍කෙනා. එයා ඒ හිටිය දවස් ටිකේ මම කෑම දුන්නේ මමනේ. වෙජිටේරියන් කිව්ව නිසා වෙනම එළවළු කෑම හදලා , එයාව සතුටෙන් තියන්න අපි තෝසෙත් හැදුවා මතකද? අන්තිමට එයා යන දවසේ අපි ඔක්කොමව බදාගෙන අඬලයි ගියේ. ඒ ජූලි මාසේ. ඔක්තෝබර් මාසේ ආයේ ආවනේ ඉන්දියා යන බව කියලා යන්න. එදා එයා මට කිව්වා 'සමදරා. ඔයාට ඕනේම දේ ඔයා ගාව නෑ' කියලා මට මේ ඔරලෝසුව දුන්නා.එයා කිව්වා මට තියෙන වැඩ වල හැටියට පැය විසි හතරක් මදි , ඒ නිසා මගේ ගාව තියෙන්න ඕනේ බිග් බෙන් සයිස් එකේ ඔරලෝසුවක් කියලා. අක්කේ, මම හිතන්නේ කාලෙකට පස්සේ පිරිමි කෙනෙක් මට චූටි , චූටා නොකියා මගේ නම කියලා සමදරා කියලා කතා කළේ එදා. මම එයාට ගිහිං සැප දුක ලියලා එවන්නය කියලා එඩ්‍රස් එක දුන්නා. ඒත් එක ලියුමක්වත් ආවේ නෑ. මම කොච්චර බලං හිටියද ? ප්‍රකාසම් ගැන විස්තරයක් අයියාගෙන් අහන්න ලැජ්ජයි. ඉතින් මම කරබාගෙන හිටියා. මම හිතුවා මැරෙන්න දවසක් හරි තියලා එයා අපිව බලන්න එයි කියලා"
අම්මා ඉකි ගහන්න ගත්තා. "ඇත්තටම චූටි ට ඔරලෝසුවක් තිබුණා කියලාවත් මම දැනං හිටියේ නෑ. එයා ඒක මට කිව්වෙත් නෑ. අඩුම තරමේ.. අඩුම තරමේ .. එයා එදායින් පස්සේ ප්‍රකාසම් ගැන අහනවාවත් මම දැකලා නෑ"
"දැන් මේ ඔරලෝසුවට මොකද කරන්නේ." අසංගි සන්සුන්ව ඇහුවා. "මොනවා කරන්නද ? විසිකරලා දානවා මිසක්. විකාර" දෙවනි අක්කා සමංගි සැර වුණා. " ලියුමේ තියෙන විකාර කරන්න පුළුවනෑ. රට්ටු හිනස්සන වැඩ" සමංගි ගස්සගෙන කාමරෙන් එළියට ගියා.
"එපා" ලොකු අක්කා විරංගි අම්මා දිහාවට අත දික් කළා. " විසි කරන්න එහෙම එපා. ඒක මට දෙන්න" අක්කා තදින්ම කිව්වා. "මට ලාවට හරි ප්‍රකාසම් අංකල්ව මතකයි. චූටා කියපු දේ කරන්න බැරු නම් මම මේ ඔරලෝසුව මා ළඟ පරිස්සමට තියාගෙන ඉන්නවා. විසි කරන්නේ එහෙම නෑ චූටාගේ දේවල්" ලොකු අක්කා හැඬුම තදකරගෙන ඔරලෝසුව තුරුළු කර ගත්තා. මම අසංගිගේ අතින් ලියුම ගත්තා
" ඉතිං අක්කේ. ප්‍රකාසම් ආයේ එන එකක්ම නෑ නේද ? එයා දැන් ඉන්දියාවෙන් බැඳලත් ඇති. අක්කා එක දෙයක් මං වෙනුවෙන් කරන්න. මං මැරුණ දාට මේ ඔරලෝසුවත් මා එක්කම පෙට්ටියට දාන්න. කවදා හරි ප්‍රකාසම් ආවොත් ; එයාට කියන්න මම අර එයා සමදරා කියලා නුහුරට කියපු එකට හරියට ආස වුණා කියලා. ඒ නැතත් මේ ඔරලෝසුව කොහෙවත් නොදා පෙට්ටියටම දාන්න."
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: