විසි වසරක භාතිය - සන්තුෂ්



භාතිය - සන්තුෂ් ගායන ජීවිතයට විසි වසරක් පිරීම උදෙසා සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු බව අසන්නට ලැබිණ. ඒ හරහා සිහිපත් වන අතීත මතකයන් බොහෝ ය. 

ඔවුන් 1998 දී ජාතික තරුණ සේවා සභාවේ පැවති උත්සවයකදී ගැයූ "වසන්තයේ" ගීතය පුංචි තිරයට ගෙන ආවේ සිරස නාලිකාව විසිනි. භරත නර්තන ශිල්පිනියක් ද මෝස්තර නිරූපණ ශිල්පිනියන් ද එක සමෝසමේ වේදිකාවේ රඟ දුන්හ. නොඑලින් හොන්ටර් , ඩැල්රීන් සුබී මෙන් දිලිසෙන වීදුරු කෑලි ඇල්ලූ ඇඳුමකින් සැරසී නොසිටි යමුනා නම් ගායිකාවක් උපකරණයක් ද කණ පැළඳ රිද්මයානුකූල ඉඟ නැටවීමක යෙදෙමින් බටහිර පන්නයේ හඬක් නැගෙන සේ යටි උගුරෙන් කෑ ගැසුවාය. සන්තුෂ් සමග ඉතාමත් සංයමයෙන් සීරුවෙන් ගායනා කරමින් සිටි භාතිය එකවර ඉදිරියට පැන නෝක්කාඩු කියන්නාක් මෙන් ආවේගයෙන් සහ ආවේශයෙන් වචන රැසක් කියාගෙන කියාගෙන යන්නට විය. ඒ රැප් ය.

මිත්‍රවරුනි ; ඒ අපේ යුගයේ ලාංකේය රූපවාහිනී ගීත කලාවේ අමතක කළ නොහැකි සංධිස්ථානයකි. 1998 වසර යනු හොලිවුඩය 'ටයිටැනික්' නමින් ගිළුණු නැවක් ගැන අති දැවැන්ත චිත්‍රපටයක් හදන ආරංචිය අප සමුදුර පත්තරෙන් කියවන යුගය ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශිෂ්‍ය පැවරුම් අගයනු පිණිස බිත්තියේ ඇලවූ නාම ලේඛනයක රතු , කොළ , කහ පැහැ බෝල ඇලවීම හඳුන්වා දුන් වසර ය. ප්‍රසංග වේදිකාවේ ගීත තුනක් ගයනු පිණිස චන්දන ලියනාරච්චි , සනත් නන්දසිරි වැනි ගායකයින් රුපියල් හත් දහස් පන්සියයක් අය කරන විට සේනානායක වේරලියැද්ද රුපියල් පහළොස්දහසක් අය කළ යුගය ය. නාලන් මෙන්ඩිස්ගේ නිමක් නැති පවුලේ කතන්දර අපගේ සතියේ ප්‍රශ්නය වුණු යුගය ය. දවසක් පැල නැති හේනේ ගීතය ගුණදාස කපුගේ ලෙසින්ම ගයන පාසල් සිසුවෙක්ව කද මල්ලට පෙන්වන යුගය ය. ඉංග්‍රීසි ඇක්සන්ට් එක වැරදියට ඉගෙන ගනී යැයි බියට 'මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්' නොබලන්නටත් , අනියම් පෙම් සබඳතා පෙන්වන නිසා 'මෙල්රෝස් ප්ලේස්' නොබලන්නටත් , පැමලා ඇන්ඩර්සන් බාගෙට හෙළුවෙන් සිටින නිසා 'බේවොච්' නොබලන්නටත් නීති පැනවෙන යුගය ය. ඉංග්‍රීසි වුවද ඉන්දියානු නිෂ්පාදනයක් නිසා 'මවුත් ෆුල් ඔෆ් ස්කයි' බලන්නට අවසර දෙන යුගය ය. 

භාතිය - සන්තුෂ් මේ සියලුම සම්ප්‍රදායයන් කම්පනයට පත් කරමින් වේදිකාව අතික්‍රමණය කළහ. ඔවුහු සිංහල සිංදු වලට රැප් කොටස් එකතු කළහ. 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගයන විට ජාතික ඇඳුම ඇඳ සපත්තු පැළඳ සිටීයැයි විද්වත් සුධිමතුන්ගෙන් පාරාජිකා ලදහ. 'සිරිසඟබෝධි මාලිගාවෙදි' නව්‍යකරණය කළහ. ඒ අසා සියලුම සිංහල ගුරුවරුන් , පැවිද්දන් , හීරළුවන් තැන නොතැන නොබලමින් සිංහල ටීකාව ගැන අනාරාධිත දෙසුම් පවත්වන්නටත් , බටහිරෙන් එන්නට පෙර මේ ගායන සම්ප්‍රදාය ලංකාවේ තිබූ බවට තර්ක කරන්නට වූහ. එතෙක් ලංකාවේ අධ්‍යපන ක්‍රමය තුළ කිසිම සංවාදයකට බඳුන් නොවුණු ටීකා සිව්පද ගැන පොදුජන කතිකාව ඇරඹෙන්නේ භාතිය - සන්තුෂ් ට පින් සිදුවන්නට ය. නමුත් එය ඔවුන්ගේ අනුදැනුම මත සිදු වූවක් නොවන බවද දනිමි. 

නිලාර් එන් කාසිම් ගැන ලියන මොහොතක මා මෙසේ ලියන්නේ එබැවිනි 'සහස්‍රය ආරම්භ වන්නේ භාතිය - සන්තුෂ්ගේ නච්ච ගීත වාදිත විසූක දස්සන සමගිනි. ඔවුහු වේදිකාවේ අණසක පැතිරූහ. රූකාන්තගෙන් පසුව පාද වල ලාටු තැවරුණු ගායන සම්ප්‍රදායෙන් මිදුණු වඩාත්ම කැපී පෙනෙන ගායකයෝ බවට පත් වූහ. සරම ඇඳ සපත්තු ලාගෙන ද " සිරිසඟබොධි මාලිගාවේ" ගීතය රැප් සමගින් ද ගැයූහ. මුල් කාලයේ රන් කුරහන් මල ගීතය ආරම්භයේ " නා නම්දෙනා නම්දෙනා " යනුවෙන් නොදන්නා තානමක් වැරදියට ගැයූහ. නොබෝ කලෙකින් භාතිය - සන්තුෂ් සුභාවිත කලාවේ පිලිස්තීනු හතුරන් බවටත් සරම් ඇඳ සිවුරු බණ කියන රූපවාහිනී කෙළතොල්ලන්ගේ කටගැස්ම බවටත් පත් වූහ. '

භාතිය - සන්තුෂ් ගෙන් ඇරඹි ප්‍රවණතාව ලාංකේය සංගීතයේ පිබිදීමක් ඇති කිරීමට සමත් විය. රූපවාහිනී පසුතල වල , ගුවන්විදුලි මැදිරිවල , ප්‍රසංග වේදිකා මස්තකයෙහි ගල්ගැසී ගී ගයන්නට නොකැමති ජවසම්පන්න තරුණ පරපුරට බලාපොරොත්තුව ඇති කළේ ඔවුන් ය. රජිව් ගාන්ධි ගුවනින් හෙළූ පරිප්පු වලින් පසුව කලෝනියල් කසින්ස් , ඌෂා උතුප් , අනයිදා - මේනාස් , අනුරාධා පෞද්වාල් සිට ශාන්ති නන්දා , ප්‍රවීණා දක්වාම ඉන්දියාවෙන් එන ඕනෑම මළදානයක් කටුනායක සිට පාර දෙපැත්තේ පෙළ ගැසී අතවනා පිළිගන්නට පුරුදු වූ රටකට හරිහරන් , ආශා බෝස්ලේ සමග එක පෙළට ගී ගයන්නට පුළුවන් බව පෙන්වා දුන්නේ ද භාතිය - සන්තුෂ් ය. යමුනාගෙන් පසුව අශාන්ති , රනිඳු , රන්දීර් , ඉන්ෆාස් , නෙවන්ති , උමාරා ආදී නානාවිධ ස්ව අනන්‍යතා ඇති ගායක ගායිකාවන්ගෙන් හැඩ වූ මේ සංගීත චාරිකාව තුළ සංගීතමය කාරණා හැරෙන්නට වෙනත් පුද්ගලික කරුණු පුවත් බවට පත් නොවීම ද සිහිපත් කළ යුතුය. ඊයේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටි කණ්ඩායම් හෝ යුගළ අද වන විට විරසකව ආඩපාලි , ඇනුම්පද කියාගන්නා යුගයක දසක දෙකක භාතිය - සන්තුෂ් සහ ඔවුන්ගේ මිතුරු ගායක කැළ ප්‍රකට කළ සංයමය ඉස්මතු කරනු වටී. 

මේ තරම් වචන නාස්ති කර ලියන්නට සිත් වූයේ භාතිය - සන්තුෂ් යනු අපට තේරෙන වයසක ලංකාවේ ගීත කලාවට බලපෑම් කළ ගායක යුවළක් වන බැවිනි. ඔවුන් නොපැමිණෙන්නට බාගදා අප තවමත් අසන්නේ වේරලියැද්දගේ සිව්වැනි අනුකාරක ගායකයාගේ දෙවැනි අනුකාරක ගායකයා ගයන ''මල් වියනෙන් බැඳ මහබැද්දේ උන්' මොඩලයේ අලුත්ම ගීතය විය හැකිය. 

ඉතින් භාතිය - සන්තුෂ් ! 
විසි වසරට බොහෝම ස්තුතියි. 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment