According to Matthew හෙවත් ප්‍රේක්ෂකාගාරය According to Jacqueline බවට පත් වීම


බයිබලයට අනුව Gospel According to Matthew යනු මැතිව්ගේ ශුභාරංචිය ය.නමුත් චන්ද්‍රන් රත්නම් සිනමාවට නගන්නේ නව තෙස්තමේන්තුවේ මාර්ක් සහ ලූක් සමග සිටි මැතිව්ගේ ශුභාරංචිය නොව ; බොරැල්ල කිංසි පාරේ , ශාන්ත පාවුළු අපෝස්තලු දේවස්ථානයේ සිටි ඇන්ග්ලිකානු පූජකවරයෙකු වූ මැතිව් ජෝර්ජ් ෆෙඩ්‍රික් පීරිස්ගේ අශුභාරංචිය ය. එය බොහෝ දෙනා දන්නා පරිදි , රසල් ඉන්ග්‍රම් සහ ඉයුනීෂියා පීරිස් හට මරණය උදා කර දුන් මැතිව් පීරිස්ගේ සහ ඩැල්‍ රින් ඉන්ග්‍රම්ගේ තහනම් ගහේ ඵල නෙළීමය.
ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් සිනමාවට නගන්නේ එලෙස 1978 වසරේ සිදු වූ අතීත සිදුවීමකි. පැරණි මෝටර් රථ , පැරණි දුරකතන , පැරණි නිවාස සහ පැරණි නාම පුවරු ආදියෙන් හැත්තෑවේ දසකය නිර්මාණය කරන්නට උත්සාහ ගත්තද මෙම චිත්‍රපටය ගලා යන්නේ ඩොකියුමන්ට්‍රියක ස්වරූපයෙන් යැයි කීම වඩාත් උචිතය.
සමස්ත චිත්‍රපටයම ජීව ගුණයෙන් වියුක්තය. සැලසුම් සහගත මිනීමැරුම් ද්විත්වයක් ප්‍රස්තුත කොට ගත්තද සිනමාරූපී බවින් තොර වූ තිරපිටපත එයට ප්‍රධාන වග උත්තරකරුවා විය යුතුය. කැමරා කෝණ සහ රූප රාමු ප්‍රශස්ත මට්ටමේ ය. නමුත් ශේක්ෂ්පියර් නාටක වල හෝ රේඛාව චිත්‍රපටයේ මෙන් කට ඇර දෙබස් කියන , එකෙක් කතා කර අවසන් වන තුරු බලා සිටින නළු නිළියන් ය.
According to Matthew චිත්‍රපටයෙන් හරි අඩක් අනුභව කර ඇත්තේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසිනි. ඇය ශ්‍යාමි ප්‍රනාන්දු බව පසුසිරැසි වල සඳහන් විය. ශ්‍යාමි උපකල්පනය කළ හැත්තෑව දසකයේ ඇඳුම් විලාසිතා සහ අද පවතින ඇඳුම් විලාසිතා අතර ඇත්තේ අරුම පුදුම සමානකමකි. ඩැල්රින් ඉන්ග්‍රම් ගේ චරිතය හෙවත් ඩැෆ්නි රේමන්ඩ්ස් ලෙස රඟන ජැකලීන් ෆර්නැන්ඩස් ගේ ඇඳුම් මනහරය. නමුත් පැරණි මෝටර් රථ සහ නාම පුවරු සහිත අපට ඒත්තුගන්වන හැත්තෑව දසකය ජැකලීන් ගෙන් නියෝජනය වනවාද යන්න අප ශ්‍යාමිගෙන් ඇසිය යුතුය. රෝහල් වල හෙද නිල ඇඳුම් වුවද අපට සිහි ගන්වන්නේ පුද්ගලික රෝහලක වෙළඳ දැන්වීමකි. රැන්ඩි රෙනෝල්ඩ්ස් සහ ස්ටීවන් ක්‍රිකට් ක්‍රීඩා කරති. කතාව හැත්තෑව දසකයේ ය. ඇඳුම් නිර්මාණ ශිල්පිනිය හැත්තෑව දසකයේ ක්‍රිකට් නොව අඩුම තරමින් 1996 ලෝක කුසලානයවත් නරඹා නැත. චිත්‍රපටයට අනුව හැත්තෑව දසකයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එදා ඇඳි කමිස නොව අඳින්නේ අද කාලයේ ක්‍රිකට් ආයිත්තම් ය. එල්ලාගෙන යන්නේ අද කාලයේ බෑග් ය. වෙනකක් තබා අවමංගල්‍යයට පැමිණෙන පරිවාර ජනයා පවා ඇඳ සිටින්නේ අද කාලයේ ස්ලිම් ෆිට් කලිසම් කමිස විනා හැත්තෑව දසකයේ ඇඳුම් නොවේ. නූතන වෙස්ලි ක්‍රීඩාංගනයේ ප්ලාස්ටික් පුටු මත වාඩි වී යෙහෙළියන් සමග කතා බහ කරන ස්ටීවන්ගේ තොප්පිය පූමා ද නයිකි දැයි අසන්නට සිතෙන්නේ ශ්‍යාමි ප්‍රනාන්දුගෙන් ය.

ජැකලීන් : මහා පොදු සාධකය බවට පත් වන තරු ගුණය 
සැබෑ මැතිව් පීරිස් ගුප්ත විද්‍යා සහ සුවපත් කිරීම් (Healing) සම්බන්ධ නමක් දිනූ පියතුමෙකි. නමුත් සිනමාකරුවා සුවපත් කිරීමේ දර්ශන The Conjuring මොඩලයෙන් පවසන්නට යාමේ අවසාන ප්‍රතිඵලය ලෙස නරඹන්නාට එකිනෙකට සම්බන්ධ නැති රූපරාමු පෙළක් පමණක් ඉතිරි වේ. සුසාන භූමියට ගොස් බැසිල් ජයවීර පියතුමන්ගේ සොහොන් කොතට ඇන අත තුවාල කරගන්නා මැතිව් පීරිස් ; එම තුවාලය වෛද්‍යවරයා වෙත හඳුන්වාදෙන්නේ Stigmata හෙවත් ශ්‍රී වණ කැළැල් හට ගැනීමක් ලෙසය. එකදහස් නමසියය මුල් භාගයේදී ඉතාලියේ හුන් පාදිරි පියෝට යේසුස් වහන්සේගේ ශ්‍රී වණ කැළැල් පිහිටීමෙන් පසුව අද දක්වාම කැළැල් හටගත් පුද්ගලයෙක් සනථ වී නොමැත. එවන් පසුබිමක වෛද්‍යවරයා විසින් මැතිව් පීරිස්ගේ වදන එලෙසින්ම පිළිගන්නට තරම් ප්‍රබල හේතුව ; එනම් මැතිව් පීරිස් පිළිබඳ සමකාලීන සමාජයේ මුල් බැසගෙන තිබූ අදහස තහවුරු කරන්නට සිනමා කරුවා අසමත් වී ඇත.
ඇත්ත කතාවේ දී රසල් ඉන්ග්‍රම් සහ ඉයුනීෂියා පීරිස් ට ඇති ප්‍රධාන රෝග ලක්ෂණය වූයේ නිදිමත ස්වභාවය ය. චන්ද්‍රන් රත්නම්ගේ සිනමා පටයේ මැතිව් පීරිස් ලෙස රඟ පෑ ඇල්ස්ටන් කෝච් හැරෙන්නට අනෙක් සියළුම නළු නිළියන් සිටින්නේ නිදිමතේ ය. සුප්‍රකට බොලිවුඩ් තාරකාව ජැකලීන් ෆර්නැන්ඩස් රඟපාන්නේ කතානාද චිත්‍රපටයක නොව නිහඬ චිත්‍රපටයකයැයි සැක සිතෙන තරම් ය. ඉයුනීස් ද ඇයගේ සොයුරා ද ; සොයුරාගේ බිරිඳ ද , රැන්ඩිගේ දෙමාපියන්ද; දේවගැති නිවසේ සිටින කන්‍යා සොයුරියද යනාදි සකල විධ පාත්‍ර වර්ගයාම රඟන්නේ මලානික අයුරිනි. අවසානයේ ඒ සියල්ලටම සරිලන ලෙස ලංකා සිනමාවේ වන් ෂොට් ගමනෙන් ; හින්දි සිනමාවේ සනී ඩියෝල් පෙනුමෙන් ඉන්ස්පෙක්ටර් කෲස් කියා චරිතයක් කඩා පනී. අවසාන චන්ද්‍රන් රත්නම් ලකුණ ද දිය වී හේමසිරි සෙල්ලප්පෙරුම චිත්‍රපටය භාරගන්නේ එතැනිනි.
According to Matthew පිළිබඳ සිහිපත් කරන විට ; 1992 දී ලත් තැනම ලොප් වූ "මාගම් සෝලිය" චිත්‍රපට ප්‍රයත්නය අමතක කළ නොහැකිය. ජානක මල්ලිමාරච්චි විසින් සිරගතව සිටි මැතිව් පීරිස් මුණගැසී සාකච්ඡා කර අරඹන්නට යෙදුණු එම සිනමා නිර්මාණයේ තිර පිටපත ලියා තිබුණේ සුගතපාල ද සිල්වා විසිනි. අර්නස්ට් පෝරුතොට පියනම ප්‍රමුඛ කතෝලික සභාව ද එම පිටපත කියවා අනුමැතිය ලබා දී තිබූ අතර ; මැතිව් පීරිස් ලෙස රවීන්ද්‍ර රන්දෙණිය ද ; ඉයුනීෂියා ලෙස අනෝජා වීරසිංහ ද ; ඩැල්රින් ඉන්ග්‍රම් ලෙස වසන්ති චතුරාණි ද තෝරා ගැනීමට මේක්අප් ටෙස්‍ට් පවා අවසන් කර තිබිණ. නමුත් ජනපති ප්‍රේමදාස පැවසුවා යැයි පණිවුඩයක් රැගෙන එන ; දැනට ජීවතුන් අතර නොමැති ප්‍රකට සංගීත පවුලක සාමාජිකයෙක් එම නිර්මාණය නොකරන ලෙස දන්වා සිටී. එම දූතයා ජනපති ප්‍රේමදාසගේ සමීපතමයෙක් නිසා ඔහු කී පණිවුඩය අසා චිත්‍රපටය නැවැත්වූ ජානක මල්ලිමාරච්චි කවදා හෝ ඒ සුගතපාල ද සිල්වාගේ පිටපත සිනමාවට නැගිය යුතු යැයි අප පවසන්නේ චන්ද්‍රන් රත්නම්ගේ සිනමාව දැක නැගෙන කලකිරීම මතය.
හොලිවුඩය සමග ප්‍රබල සම්බන්ධතා තිබූ පමණින්ම සාර්ථක සිනමා කරුවෙක් වීමට නොහැකිය යන පණිවුඩ හැර චන්ද්‍රන් රත්නම් මෑත කාලයේ ලාංකේය සිනමාව වෙත දායාද කළ කිසිවක් නැත. සර් බෙන් කිංස්ලි ගෙන්වා The Common Man කරවා නිෂ්පාදක සිනමා ආයතනය බංකොළොත් කළාට පසුව ජැකලීන් ෆර්නැන්ඩස් ගෙන්වා කළ According to Matthew ගැනත් පවසන්නට ඇති අවංක අදහස නම් මෙවැනි සිනමා නිර්මාණ අනාගත සිනමා ක්ෂේත්‍රයේ අපගමනයට විනා කිසිදු ප්‍රගමනයකට දායල නොවන බවය.
හොලිවුඩය අතැඹුලක් සේ දන්නා බවටද , වැලි කෙලියේ සිටම ස්පීල්බර්ග් හඳුනන බවටද නිල නොලත් ගෞරවනාම දරණ ප්‍රවීණ චිත්‍රපටකරුවන් එක චිත්‍රපටයකට කෝටි විස්සක් තිහක් පමණ කාබාසිනියා කරති. ආයෝජකයා බංකොළොත් වන ලෙස කන්දක් විළි ලා මී පැටවෙක් වදති. හොලිවුඩය පවා දන්නා සිනමාකරුවන්ගේ වැඩ ද එසේ යැයි සිතන විට නවක නිර්මාණ කරුවෙක් වෙනුවෙන් එක ලක්ෂයක් වියදම් කරන්නට අවදානම ගන්නා එකදු ආයෝජකයෙක් ඉතිරි වන්නේ නැත.
මැතිව්ගේ ශුභාරංචිය අපට පවසන අශුභාරංචිය එය ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment