සදා මේ සංසාරේ


පි අනුරාධපුර ටවුන් එකෙන් 'පදවි - ශ්‍රී පුර' බස් එකකට නගිනකොට උදේ දහය පහුවෙලා තිබුණා. කට්ටිය එකතු කරගෙන කැම්පස් එකෙන් එළියට බහින්න පරක්කු වුණා. මිහින්තලේ ඉඳන් පුරේට එන්න කොහොමත් පැය බාගයක් විතර යනවා. සඳුන්ට චින්තන එකෙන් තේ එකක් බොන්න ඕනේම කිව්ව නිසා අපි අලුත් බස් ස්‍ටෑන්ඩ් එකෙන් බහින්නේ නැතිව පරණ බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සා. ඒ අස්සේ ඒ.එස්.බී ෆැෂන් එකෙන් කුඩයක් අරගෙන විනාඩියෙන් එන්නම් කියලා නිශාදියි , රසුනියි පැන ගත්තා. කොහොමත් මුං එක්ක ගමනක් යනවා කියන්නේ මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. අන්තිමට නිශාදියි රසුනියි එනකොට සඳුන් තුන්වෙනි සිගරට් එකත් බීලා නාකි මකරෙක් වගේ දුම් පිඹ පිඹ හිටියා. මම නම් කටින් පිම්බේ හුළං. බස් ස්ටෑන්ඩ් එකේ ගිනි රස්නේ ඉවස ගන්න බැරිව. 'ඕනේ කරන පාට තිබුණේ නෑ අනේ' කියාගෙන කුඩයක් ගේන්න ගිය නිශාදියි , රසුනියි ලේන්සු දෙක තුනක් හුණ්ඩු බෑග් එකක දාගෙන ලතාවට ඇවිදගෙන ආවා. අව්වට වැස්සට ඉහලන කුඩ වලට මොන පාටද කියලා අහන්න හිතුණට වෙලාවක් හම්බ වුණේ නෑ. 'තමුසෙලා එක්ක ගමන් යන්න එනවට අපිට මඩු වල්ගෙන් තලන්න ඕනේ' කියලා සඳුන් මාවත් ඇදං බස් එකට නැග්ගා.

කඩාගෙන බිඳගෙන 'පදවි - ශ්‍රී පුර' බස් එකේ නැග්ගට පාර දන්නේ නිශාදි. එයාගේ ගම පදවිය. ශ්‍රී පුර තියෙන්නේ ඊටත් එහා. කට්ටියම එකතුවෙලා මේ යන්නේ රසුනිගේ වැඩකට. ඇත්තම කිව්වොත් අපි යන්නෙ ළමයෙක් හොයන්න. කවුරු හරි යන්නෙ කොහෙද කියලා ඇහුවොත් මරු උත්තරේ. හරියට ' ටක් ! ටක් ! කවුද ආවේ .. රාස්සියෙක් .. මොකටද ආවේ' කියලා ඇහුවාම දෙන උත්තරේ වගේ. 'ළමයෙක් හොයන්න' ළමයා කවුද කියලා අපි හරියටම දන්නේ නෑ. වීඩියෝ එකක් දැකලා තියෙනවා විතරයි.

මෙහෙමයි ඒක වුණේ. පොඩි ගෑණු ළමයෙක් ඉස්කෝලේ ඇඳුමෙන් ලස්සනට සිංදුවක් කියන වීඩියෝ එකක් කවුරු හරි ෆේස්බුක් එකට දාලා තිබුණා. ඒ ළමයා 'වියෝ ගී ගැයෙනා හදේ' සිංදුව හරිම ලස්සනට කියනවා. ඒ වීඩියෝ එක දාස් ගාණක් ෂෙයාර් කරලා තිබුණා වගේම හැම දෙනාම ඒ කට හඬට , හැකියාවට සුබ පතලා තිබුණා.

වියෝ ගී .. ගැයෙනා හදේ - ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ - අපේ හමුවීම නොවේ

ඒක හරිම ලස්සන හැඟීම්බර කටහඬක්. ඒ සිංදුව නීලා වික්‍රමසිංහටත් වඩා ලස්සනට කියනවා වගේ. හැබැයි අපිත් ඒක දැක්කේ අපේ බැච් එකේ රසුනි ඒක පෙන්නලා අපිට අහන්න දුන්නට පස්සේ. ඩේටා කැපෙනවට බයේ වට්සැප් ගෘප් එකක්වත් බලන්නේ නැති රසුනි ඉතා නිර්ලෝභීව, ඩේටා පුච්චගෙන මේ සිංදුව අපිට අහන්න සැලැස්සුවේ ඇයි කියලා අපිට තේරුණේ ඊට පස්සේ. 'නිශාදි , මට මේ ළමයගේ ගෙදර හොයාගෙන එහේ යන්න ඕනේ' රසුනි කිව්වා. බලනකොට මේක රසුනිගේ වැඩක්ම නෙමේ. බෝයි ෆ්‍රෙන්ඩ්ගේ කොන්ත්‍රාත්තුවක්. රසුනිගේ බෝයියා කොළඹ කැම්පස් යන ගමං පත්තරේක පාර්ට් ටයිම් වැඩ කරනවා. මේ ළමයව ඉන්ටර්වීව් කරලා අලුත් ෆොටෝ ටිකක් ගන්න කියලා පත්තරෙන් භාර දීලා. ඒත් එක්සෑම් නිසා ඩයල් එකට මෙහේ එන්න වෙලාවක් නෑලු. 'එයා බයේ ඉන්නේ වෙන පත්තරේකින් ගිහිං ආටිකල් එකක් කළොත් කියලා. ඔක්කොටම හපං අර වෙබ් කාරයෝ' රසුනි නාසික්‍ය ස්වරයෙන් කිව්වා. ඉතිං නිශාදි 'හා'කියලා වැඩේ භාර ගත්තා.
'තමුසෙලා නේද ඔබාමා පදවිය භාර ගනී කියලා පත්තරේ ගියාම රතිඥ්ඥා පත්තු කළේ' පදවිය පහු වෙනවා කියලා දැනගත්තාම සඳුන් නිශාදි දිහා බලලා හයියෙන් දොඩවන්න පටන් ගත්තා. නිශාදි ඇහෙන්නේ නෑ වගේ ඉන්න බව තේරුණාම සඳුන් බස් එකේ බඳට ගහ ගහ 'වියෝ ගී' සිංදුව සික්ස් එයිට් බීට් එකෙන් කියන්න ගත්තා. 'ඒයි !' නිශාදි නොරිස්සුමෙන් සඳුන්ගේ පිටට ගැහුවා.'ඕකට ගහන්න එපා මනුස්සයෝ. කොන්දොස්තර බනීවි' කියලා නිශාදි රසුනි දිහා බැලුවා. 'යුද්දෙ කාලේ මේ බස් වල ඇතුළෙන් ගණකම තහඩු ගහලා තිබුණේ. ක්ලේමෝ වදින නිසා' කියලා නිශාදි කියනකොට සඳුන් දැඟලිල්ල නැවැත්තුවා. ඊට පස්සේ අපි කතා වුණේ මේ ඉන්ටර්වීව් කරන්න යන ළමයා ගැන. 'ඒ ළමයා දැන් ටී.වී වල සිංදු කියන ළමයෙක් වගේ කුරුවල් වෙලා නෑ. බලපංකො සීරුවෙන් හිටගෙන සිංදුව කියන හැටි' කියලා මම කිව්වා. සඳුන් කට ඇද කළා. 'බලපංකෝ දෙපාරක් ටී.වී එකේ පෙන්නුවට පස්සේ වෙන දේ. කෙල්ල ස්ටේජ් නගින්නේ ජින්ජර් වගේ ! ජින්ජර් වගේ' කියලා සද්දේ පිට නොකර ජින්ජර්ව රඟපාලත් පෙන්නුවා. ඇති පදම් හිනා වුණාට පස්සේ රසුනි ටිකක් සීරියස් විදියට කතා කරන්න ගත්තා. 'බලන්න ! මේ ළමයා කියන සිංදුව. ඒක ගැහැණු ළමයි ෆිල්ම් එකේ සිංදුවක්නේ. ඒ වගේ සිංදුවක් මේ වගේ ළමයෙක් කියන එකම මදිද ? ' කියලා පටන් ගත්ත රසුනි , ගෑණු ළමයි චිත්‍රපටියේ තිබ්බ සිංදු ගාණයි , ඒකේ කුසුම්ට හිටිය වසන්ති චතුරානිගේ ගෙවල් ගම්පහ කියලයි සෝමාට රඟපාපු ජෙනිටා සමරවීර කියන්නේ මල්කාන්ති නන්දසිරිගේ නෑදෑයෝ කියලයි එක හුස්මට කියෙව්වා. 'සෝමා එදිරිසිංහ ද බං ?' කියලා රසුනි හිනා වුණා. 'නෑ නෑ . ඔය කතාවේ සෝමා කියන්නේ අනාථ වෙන කෙල්ලෙක්. බියුටි පැජන්ට් එකක දිනලා ෆිල්ම්ස් වල රඟපාන්න ගිහිං අමාරුවේ වැටෙනවා. ළමයාව ගෙදර තියලා අතුරුදහන් වෙනවා. අන්තිමට ඒ ලැබෙන ළමයා ආච්චිටයි - ලොකු අම්මටයි , අම්මා - අක්කා කියලා කතා කර කර ලොකු වෙනවා' රසුනි පටන් ගත්තා. අපි ශ්‍රී පුරෙන් බැස්සා. එවෙලේ රසුනි කිය කිය හිටියේ කරුණාසේන ජයලත් සෝමා කියන චරිතය ගොඩ නැගුවේ ඇඩ්ලින් විතාරණ ඝාතනයෙන් ඇති වුණු කම්පනය නිසා කියලා. 'අරූ මේකිට දන්න ඔක්කොම ටික කොටලා පොවලාද ද කොහෙද මේ ඩිංගට. නැත්නම් මේ බොඳ මීදුම් කියව කියව උන්න ගෑණු කියවන කරුණාසේන ජයලත්' කියලා සඳුන් මගෙ කණට කරලා හිනා වුණා.
නිශාදි අපි එන්න කලින්ම ළමයාගේ ඉස්කෝලේ ගුරුවරියක් හරහා ගෙවල් වලට යන හැටි අහගෙන තිබුණා. ඒ නිසා කඩේ ළඟින් හැරෙන්න ඕනේ පාර හොයාගන්න එච්චර අමාරු වුණේ නෑ. ළමයා ඉස්කෝලෙදි සිංදු කියන්න එහෙම ඉදිරිපත් වෙන්නේ නැති කුලෑටි ළමයෙක් ලු. අලුතෙන් ආපු අක්කා ටීචර් කෙනෙක් තමයි මේ ළමයාට සිංදු කියන්න පුළුවන් බව හොයාගෙන තිබුණේ. ඒකත් ගෙවල් අහළ පහළ ළමයෙක්ගේ හිතෛෂී කේලමකින්. සිංදුවක් කියන්න කිව්වාම බෑ කියලා කියන්න බැරි තරම් කීකරුම කීකරු ගෑණු ළමයා සීරුවෙන් හිටගෙන සිංදුව කිව්වා.

මගේ කඳුළු හංගා මා - සිනාසිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා - සදා සිනාසේවා

කීකරු ළමයාගේ ලස්සන කටහඬ අක්කා ටීචර් ෆේස්බුක් දැම්මා.

සමර ගාපු ගෙයක් ඉස්සරහා අපි නැවතිලා හිටියා. ළමයාගේ අක්කා කෙනෙක් වෙන්න ඇති, අපි කියපුව අහලා 'අම්මේ ... ' කියාගෙන කියලා ඇතුළට ගියා. වාඩිවෙන්න කිව්වෙත් නෑ. ටිකක් ඉන්න කිව්වෙත් නෑ. දිලිසෙන ඇස් දෙකක් දොර මුල්ලෙන් අපි දිහා බලන් ඉන්න බව මම දැක්කා. වයස්ගත අම්මා කෙනෙක් එළියට ආවා.
'කරුණාකරලා අපිට අපේ පාඩුවේ ඉන්න දීලා යන්න මහත්තයෝ. වැඳලා කියන්නම්' කියලා කේන්තියයි වේදනාවයි මිශ්‍ර වුණු කටහඬක් කෑ ගැහුවා. 'නෑ අම්මේ ... අපි මේ නංගි ගැන ලියන්න හදන්නේ..' මුලින්ම සිහි එළවා ගත්ත නිශාදි කරුණු පැහැදිලි කරන්න ගත්තත් , අර අම්මා ඒකට උඩ දුන්නේ නෑ.
'නංගි ගැන ලියන්න ? ලියලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා මම දන්නේ නැද්ද ? ඊ ළඟට ලෝකෙ වටෙන්ම කැමරා අටවගෙන උකුස්සෝ වගේ වටවෙලා මේකිවත් විනාස කරයි' අම්මා හති දැම්මා. 'නෑ ! ඕනේ නෑ... බහින්නයි කිව්වේ එළියට '
'අම්මේ මේක අහන්නකො' කියලා වචනයක් පිට කරගන්න මම සමත් වුණා. ඒත් වැඩක් වුණේ නෑ. අම්මා ඒ වෙනකොට කෝපාග්නියෙන් දැවෙමින් හිටියේ.
'මොනවා අහන්නද ? මේකිගේ අම්මට වුණ දේම මේකිට වෙනවා බලාගෙන කට පුක වහගෙන ඉන්න කියලද මට කියන්නේ ?' අම්මා තමන්ගේ වයසට නොගැලපෙන ජවයකින් අපේ ඇඟට කඩාගෙන පැන්නා. 'මම කියලා තියෙනවා මේකිට ! මම කියලා තියෙනවා. සබේ මැද්දේ නටන්න ගයන්න ගිහිං මහ එකී කරගත්ත දේම කරගන්න එපා කියලා. ඔය කළේ මහ ලොකුවට. දැං උත්තර දීපල්ලකො පත්තර වලට. මේකිව කෑවත් මදි." ආයෙමත් හතියකට විරාමයක් ලැබුණා. "අනේ අම්මපා. අර අලුතෙන් ආපු ගුරීව හම්බ වුණොත් මම ඕකිගේ කුළල කන්නේ. මොන හයිකාරකමකටද ඒකි මේ සිංදු කියන ඉලව්ව රට වටේ යැව්වේ' දොර පළු අතරින් 'අම්මේ' කියලා කතා කරන අසරණ හඬක් ඇහුණා. අම්මා ටිකක් විතර සන්සුන් වුණා.
'කිව්වාම අහලා ඔය ළමයි යන්න' හඬ තරමක් නිවිලා. 'මම අල්ලගන්නම් අපේ එකීව. ඒකි දැන් හොඳටම දන්නවා මම ආච්චි මිසක් අම්මා නෙමේ කියලා. අර ගෙදරට නාකි වෙවී මේකිව ඉස්කෝලේ යවන්නේ ලොකු අම්මා මිසක් අක්කා නෙමේ කියලා. අම්මට මොකද වුණේ කියලා දැන දැනත් මේකි ගියානේ අම්මපා අසන්නන්ගේ ඉල්ලීම් තීරෙ වගේ සිංදු කියන්න. කෝ ඕකි' අම්මා ගේ ඇතුළට කඩා පැන්නා.
අපි ආයෙම හැරිලා ආවා. 'රසුනි. මට අර තමුසේ කිව්ව ගැහැණු ළමයි පොත දෙනවකෝ කියවන්න' සඳුන් කිව්වේ එච්චරයි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: