'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය අවසානයේ දී නාමාවලිය සමග පසුබිමෙන් ඇසෙන්නේ ඉමිහිරි ගී නාදයකි. නවරත්න ගමගේ සහ උමාරියා සිංහවංශ මුදා හරින හැඟුම්බර ගී හඬ සිනමා ශාලාවේ අඩ අඳුර සිසිරා ඇසේ. බොහෝ දෙනෙක් ඒ ගීතය පසසනු පෙනේ. නමුත් 'අනේ ගණඳුර සොයා නොමයනු මැනේ' නම් එම ගීතය සිනමා නිර්මාණයේ දෘෂ්ඨිවාදය සමග එක් ව ගත හැකිද ?
සිනමා නිර්මාණයේ නම 'ගින්නෙන් උපන් සීතල' ය. එහි ටැග් ලයිනය 'අප මරාදැමුවද අප නැගූ හඬ සදා අමරණීය ය' යන්නය. නමුත් උමාරියා සහ නවරත්න ඉතාමත් හැඟීමෙන් ගයන්නේ කුමක්ද ?
අනේ ගණඳුර සොයා නොමයනු මැනේ
මගේ සිහිනය මරා නොදමනු අනේ
අහෝ ගණඳුර සොයා නොමයනු සහෝ
අපේ සිහිනය මරා නොදමනු අහෝ
ගණඳුර සොයා නොමයන්නටත් , සිහිනය මරා නොදමන්නටත් යැයි ආයාචනා කරන, වේදනාභරිතව ඉල්ලා සිටින මේ සංවේදී හඬ විප්ලවයක් අරභයා වූ සිනමා නිර්මාණයක් අවසානයේ දී අසන්නට වීම එක් අතකින් විසුළුවක් නොවේ ද? විශේෂයෙන්ම 'අනේ' සහ 'අහෝ' වැනි භාවතීෂ්‍ය වදන් සහිත යැදීම් ! සිහියට නැගෙන්නේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටය වෙනුවෙන් රුක්මණී දේවි ගැයූ ' ප්‍රේම දයා මගේ පියාණෝ - අයියෝ ගියා අප දාලා ලෝකේ' වැනි ගී පද ය.
'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය තුළ සාකච්ඡාවට ගන්නේ රජයේ මර්දනය නොතකා , ජීවිත පරදුවට තබා යටිබිම්ගතව රජයට අභියෝග කරන තරුණ පරපුරක් ගැන ය. ඉතිහාසය පවසන පරිදි අවසන් භීම සමය තුළ දිවි කැප කොට රහස් රැකගත් සාමාජිකයින් සහ නායකයත්වයේ අනන්‍යතාව හෙළි නොකොට මරණය තෝරා ගත් තරුණයින් රැසකි. කාකි ඇඳුම හෝ තුවක්කුව අබියස ආත්මය පාවා නොදී , විධායකයේ අණ පා දූවිල්ලක් මෙන් පිළිකෙව් කර තම අරමුණ වෙනුවෙන් දිවි පිදූ ඔවුන් ගයන්නේ මේ සා විලාපයක් ද ?
අනේ ගණඳුර සොයා නුඹ ගිය තැනේ
මගේ සිහිනය මරා දැමුවා අනේ
ගීතය පුරා සංකථන ස්වරූපයෙන් ගැයෙන වචන වල සහ ප්‍රධාන වශයෙන් ගැයෙන වචන වල අර්ථය එකිනෙක හා පරස්පරය.
විටෙක නවරත්න ගමගේ මෙසේ හඬ නගයි.
'මේක අපරාජිත සංසාරයක් - මට ඒක සන්තර්පණ විශ්වයක්'
තවත් තැනක මෙසේ ඇසෙයි.
'මේක ගන්ධබ්බ හීනයක් -ඒත් ඒක මහා අහස් භූමියක්'
සියල්ලට පසු ඔවුහු මෙසේ ගයති.
'මරණ විළිරුදාවෙන් මොරදෙන සංග්‍රාම සුරාන්තයක්
දහස් මිනිස් සුසුම් පිණිස පිදෙන පාංශුකූලයක්'
සංසාරය , ගන්ධබ්බ සහ පාංශුකූලය වැනි විෂයයන් අරභයා වූ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය ගැන ගැඹුරින් සිතා බලන්නෙකුට මේ පද සවනත වැකෙත්ම සිනහ පහළ වීම අරුමයක් නොවේ. විශේෂයෙන්ම කැළෑ නීතිය විසින් මරා දැමුණු අයගේ මිනිය දණහිසට පහළින්ම ඔසවාගෙන යන්නට බල කෙරුණු , පාංශුකූල සහ මතක වස්ත්‍ර වැනි චාරිත්‍ර තහනම් කරන ලද යුගයක් සහ ඒවාට වගකිවයුතු පාර්ශ්වය පිළිබඳ තැනෙන සිනමා නිර්මාණයක් අවසානයේ 'දහස් මිනිස් සුසුම් පිණිස පිදෙන පාංශුකූලයක්' වැනි යෙදුම පවා අසන්නා කෙරේ ඇති කරන උත්ප්‍රාසය අති මහත් ය.
දෘෂ්ටිවාදය සහ සිනමාව පිළිබඳ අරගලයේදී අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ බොහෝ දුරට සාර්ථකව , බොහෝ අභියෝග ජයගෙන ඇති නමුත් , අවසාන ගීතය සම්බන්ධයෙන් එම ප්‍රසාද ලකුණ ඔහුට ලබා දීමට අපහසුය. චිත්‍රපටය මැද දී ගැයෙන චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ 'වස් කවිය' සිනමා පටයේ දෘෂ්ටියට සමපාත වන නුමුදු මේ ඉමිහිරි ගැයුම වෙනමම ගෙන අසනවා විනා 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය සමග එක් පෙළට තබා රස විඳීම අපහසුය.
එකල ජාතික රූපවාහිනියේ විකාශය වූ 'ඇසළ කළුවර' නම් ටෙලි නාට්‍යය අවසානයේ වාදනය වූයේ කුමාරි මුණසිංහ ගැයූ 'මගෙ ගන රන් තිසාමිනේ... ' නම් අනාඝාතාත්මක වැලපුම් ගීතයකි. කුමාරි මුණසිංහගේ ඉමිහිරි ගායනය වෙනම ගන්නට නුවුවමනා ලෙසින් එම ගීතය ටෙලි නාට්‍යයේ සන්දර්භය සමග සියයට සියයක්ම ගැලපිණ. නමුත් 'ගින්නෙන් උපන් සීතල' අවසන් විය යුත්තේද වැලපුම් ගීතයකින්ම ද ?
ඉතිහාසය සාක්ෂ්‍ය දරණ පරිදි බණ්ඩාරගම මහවිල නිවසේ දී අත් අඩංගුවට පත් වූ උපතිස්ස ගමනායක මත්‍තේගොඩ කඳවුරේ වධබන්ධනයට ලක් වුවද පක්ෂය සම්බන්ධ කිසිදු තොරතුරක් එළිදරව් නොකළේය. විජේවීර ඇතුළු නායකයින් සැඟව සිටි තැන් පවා දැන හුන් දේශපාලන මණ්ඩලයේ සාමාජික සුමිත් අතුකෝරල අත් අඩංගුවට පත් ව හලාවත පොල්වත්තක වධබන්ධනයට ලක් වුවද කිසිවක් හෙළිදරව් කර තිබුණේ නැත. මහඔය පාලමෙන් පහළට වැටුණු මළ සිරුරක් බවට පත් වුණු සුමිත් අතුකෝරල වෙනුවෙන් කුරුණෑගල පුරවරය 'අතුකෝරල පුරවරය' ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් නම් කරන ලද්දේ එබැවිනි.
එවන් අදීන ඉතිහාසයක්, කැපකිරීම් සහ තුවාල වලින් පීඩිත නුමුදු අත් නොහැර ගත කළ ලෙයින් කඳුලෙන් ලියැවුණු යුගයක් අළලා නිර්මාණය කළ සාර්ථක සිනමා නිර්මාණය අවසන් වන්නේ "අනේ ගණඳුර සොයා නොමයනු මැනේ - මගේ සිහිනය මරා නොදමනු අනේ" යන ආයාචනයෙනි.
හැත්තෑව දසකයේ දී සුබසීල කොඩිකාර 'ජනතා විමුක්ති' නම් පක්ෂ ප්‍රකාශනයට ලියන්නේ මෙබඳු කවියකි.
දණින් වැටී ජීවත් වනු වෙනුවට
හුරුවවු දෙපයින් සිට මියෙන්නට
නැතිවන්නට කිසිත් නැති අපහට
ලොවක් තිබේ සටනින් ජය ගැනුමට
එසේ වූ පක්ෂයක් අරභයා නැගුණු සිනමා නිර්මාණයේ අවසාන ගීතය අපට සිහි කරන්නේ 'කළු දිහ දහර' චිත්‍රපටයේ එන 'මාස්ටර් සර්' ගීතයයි. අනේ සර් අපි මිතුරන් වේදෝ යන සානුකම්පිත යැදුමයි.
අසූ අට අසූ නවයෙන් පසු කාලයක සමහර ත්‍රී රෝද රථ
'හෙට වුණත් නෑ පමා පණ පොවවු ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ'
එය එඩ්වඩ් - චරිතා ගැයූ 'පන්සලේ පල්ලියේ 'ගීතයේ කොටසකි. එහි බරසාර වදන් හරඹ හෝ , මුල මැද අග අවස්ථා සම්බන්ධයක් නැති මහප්‍රාණ යෙදුම් දක්නට නැති නුමුදු එහි අවසාන පද කීපය මේ සමස්ත ගීතයටම වඩා අවංක ලෙස 'ගින්නෙන් උපන් සීතල' නිර්මාණයේ මතවාදය නියෝජනය කරනවා යැයි ඔබට නොසිතේද?
0 comments:
Post a Comment