අජිත් තමයි හොඳ


"දූවිල්ලෙන් තිලක තියන්න..." මාවතගමින් පායපු ගායන තරුව බොහොම අමාරුවෙන් අමාරුවෙන් තමන්ගේම සින්දුවක් කියනවා. පව් වැඩේ ! මිනිහා ප්‍රියා සූරියසේනගෙ සින්දු ටික නම් කජු කනවා වගේ කිව්වා. ප්‍රියලාල්ට මතක් වුණේම අකැමැත්තෙන් කෑ ගහන තෙල් නොදාපු බොලොක්කයක්. සින්දුව ඉවර වුණාට පස්සෙ වැල්වටාරම් කියවපු නිවේදකයා ගායකයගේ නම අජිත් බණ්ඩාරය කියලා කිව්වා. අජිත්...!!! එකපාරටම අජිත්ව මතකෙට ආවා. හැබෑටම දැං අජිත් මොන දීපංකරේක ඉන්නව ඇතිද කියලා ප්‍රියලාල් කල්පනා කළා. ඒත් එහෙමට දෙයක් කල්පනාවට එන්න තරම් භූගෝල විද්‍යාව ගැන දැනුමක් ප්‍රියලාල්ට තිබුණේ නෑ. අන්තිමට ඔය මලාවි කියල දූපතක ද කොහෙද ඉඳලා තව රටකට ගිය වගක් යමුනා ඇස් නටව නටව කිව්වා මතකයි. යමුනා කොහොමත් ඒ කාලේ ඉඳන්ම කතා කරන්නේ ටී. වී එකේ ප්‍රවෘත්ති කියනවා කියලා හිතාගෙනනේ. ඕනේම සරල ඕපාදූපයක් බොහොම ගාම්භීර මූණක් හදාගෙන මහා වගකීමකින් කියන්න පුළුවන්කම එයාට තිබුණා. ඒ දේවල් ඔලුවට ගන්න ගියොත් පරණ කතන්දර මතක් වෙලා සූරියකන්ද වගේ යටගිය ඇටසැකිලි , මිනී ඔළු ගොඩට එනවා. ප්‍රියලාල් ට ඒවයින් ඈත් වෙන්න ඕනේ නිසාමයි ඉගෙන ගත්තු දේවල් අමතක කරලා බැංකුවක රස්සාවක් භාර අරගෙන ගම් පළාතටම මාරු වුණේ. දැන් ඉතිං සරච්චන්ද්‍රගේ නාට්‍ය දෘෂ්ටිය, මනමේ කුමරියගේ සන්දර්භය වගේ දේවල් හිතන්න තරම් ප්‍රශ්න නෙමෙයි. මනමේ කුමරි නෙමෙයි, වැද්දා ආවත් ක්‍රිබ් රිපෝට් එක පිරිසිදු නම් හිත හදාගෙන නිවාස ණයක් දෙන්න පුළුවන් තරමට ප්‍රියලාල් වෘත්තීමය බැංකුකරුවෙක් වෙලා හිටියා. 

ප්‍රියලාල්ගෙ ජීවිතේ හොඳම කාලේ කැම්පස් කාලෙ බවට ආයෙ සැකයක් නැහැ. ඒ තමරා හිටපු නිසාද, ඒත් නැත්නම් ප්‍රියලාල් ජනප්‍රිය චරිතයක් වෙලා හිටිය නිසාද කියන එක හිතාගන්න අමාරුයි. දැන් නම් ප්‍රියලාල් කියලා කෙනෙක් ඉන්නවද කියලා බලන්න කන්තෝරු කාමරේට එබිලම බලන්න ඕනෙ. ඒත් ඒ කාලෙ නම් කැම්පස් එකේ මොන දේ වුණත් ප්‍රියලාල් ඉස්සරහින්ම හිටියා . ඒ විතරක්ම නෙමෙයි. ප්‍රියලාල් - තමරා කියන නම් දෙක මජ්නූ - ලයිලා , ශිව- පාර්වතී වගේ එකටම ඈඳිලා තිබිය යුතුයි කියලා මුළු පේරදෙණියම වගේ තීරණය කරලා තිබුණා. කැම්පස් එකටම හිටියේ නෑ ඒ වගේ කලාකාමී ජෝඩුවක්. කට්ටිය කතාවට කිව්වේ මේ ජෝඩුව සණ්ඩු වෙන්නෙත් පොතක්, චිත්‍රපටියක් ගැන ප්‍රශ්නෙකට විතරමයි කියලා. "උඹ මාර ලකී බං" ඉඳලා හිටලා ප්‍රියලාල් එක්ක බීර වීදුරුවක් බොන කොට අනිත් යාළුවො තමන්ගෙ අවංක ඊරිසියාව ප්‍රකාශ කළා. තමන්ගේ පෙම් ආරවුල් වගේ නෙමෙයි ප්‍රියලාල් - තමරාගේ ආරවුල් ඉතා කලාත්මක ඒවා කියලා ඒ අය පූර්ව නිගමනය කරලා තිබුණා. කලාව ගැන කතා කරද්දි කන්න බොන්නත් ඕනේ නැති තරම්. 'වජිරා' චිත්‍රපටියේ ලලිත්ගේ චරිතෙට අධ්‍යක්ෂවරයගෙ මල්ලිව දාපු එක මෝඩ තීරණයක් කියලා ප්‍රියලාල් කියනකොට තමරා ඒකේ ගුවන්විදුලි නාට්‍යය මතක් කළා. කමල් දේශප්‍රියගේ ලස්සන කටහඬින් මැවිලා තිබ්බ 'ලලිත්' ගේ රූපය නිමල් දයාරත්නගෙ රඟපෑම් නිසා දිය වෙලා වැටෙන හැටි හැමෝටම දැනුණා. 'ගඟ අද්දර' නිර්මලාට ගැලපෙන්නෙම වසන්ති චතුරානි කියන එකට දෙන්නම එකඟ වුණත් ස්වර්ණා මල්ලවාරච්චි 'අංජානා' චිත්‍රපටයේ නටපු එකට හිනා වුණා කියලා තමර දවස් දෙකක්ම ලෙක්චර්ස් එන්නෙත් නැතුව තරහා වෙලා හිටියා. වෙලාවට කවුරුත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. 

අජිත් මේ සිනමාලෝලී, කලාකාමී කණ්ඩායමට එකතු වෙන්නෙ ටිකක් පහුවෙලා. නලුවෙක් වෙන අදහසකුත් පොඩියට හිතේ තිබ්බ අජිත්ට ගෑණු ළමයින්ගේ ඉඟි බිඟි නොඅඩුව ලැබුණා. 'තනිතරුව' චිත්‍රපටියේ අලුත් නලුවාට වඩා මිනිහා කොච්චර ලස්සනද කියලා ඒක බලපු කෙල්ලො කතා වුණා. කෙට්ටුයි උසයි මදිවට ඩග්ලස් රණසිංහට වගේ කැත කොණ්ඩයක් තිබුණ ජීවන් කුමාරතුංග තමන්ගෙ පළවෙනි චිත්‍රපටියෙන්ම අජිත්ට පරාද වුණේ එහෙමයි. මේ කතා ඇහෙන්නෙ නෑ වගේ හිටිය අජිත් මොන වැඩ තිබුණත් පුස්තකාලෙ යන්නයි පාඩම් කරන්නයි අමතක කළෙත් නැහැ. එක වෙලාවකට 'හීන් සැරේ ඔබ ආවා' සින්දුවට ගැලපෙන්නෙ සුනේත්‍රා ජාගොඩ නෙමෙයි සුනිලා අබේසේකර කියලා කට්ටිය එක්ක තර්ක කරන අජිත් තව ටිකකින් බලද්දි කෙල්ලො රංචුවකට ඉංග්‍රීසි කියා දෙනවා. තමරාටත් කඩ්ඩ හදාගැනීමේ උණ මද වශයෙන් තිබුණ නිසා නිතරම අජිත් එක්ක කාලෙ ගෙවන්න පුරුදු වුණා. විභාගෙ ළං වෙලා නිසා ප්‍රියලාල්ටත් හුඟක් දේවල් වලට එකතු වෙන්න බැරිකමක් තිබුණා. හොස්ටල් එකට වෙලා කුප්පියක් දාන නිසා තමරාව නිතරම මුණ නොගැසුණට හවසට කයියකට එකතු එන්න නම් කොහොමහරි වෙලාව වෙන් කරගත්තා. 

ඒත් තත්ත්වය එන්න එන්නම දරුණු වෙලා කියලා ප්‍රියලාල්ට තේරුණාට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. තමරා පොඩි පොඩි දේටත් රණ්ඩුවෙලා තරහවෙන එක ප්‍රියලාල් ට ඒ වෙනකොට මානසික වධයක් වෙලා තිබුණා. නමුත් කාටවත් මේ පීඩනය පෙනුණේ නැහැ. හැම රණ්ඩුවකටම හේතුවුණේ මොකාක් හරි චිත්‍රපටියක් හරි නවකතාවක් හරි කියලා හිතෙනකොට 'ලෙස්ටර් - සුමිත්‍රා' ගෙ ගෙදර තියෙන්නෙ අධි ආරක්ෂිත කලාපෙකද දන්නෙ නෑ කියලා ප්‍රියලාල් කල්පනා කළා. ඔය අතරේ තමයි කට්ටිය 'මලට නොඑන බඹරු' චිත්‍රපටිය බලන්න ගියේ. එන අතරමග අජිත් කොක්හඬලලා හිනාවෙවී ස්ටෙලා විදියට රඟපාපු සුවිනීතා කෝන්ගහගේව අනුකරණය කරපු හැටිත් කට්ටියම බඩ අල්ලං හිනාවුණු හැටිත් ප්‍රියලාල්ට තාම මතකයි. හැමදෙනාම කතාකළේ 'ගැහැණු ළමයි' එකේ ලොකයියා වගේ චරිතයක් කරපු අජිත් ජිනදාස මේ වගේ චිත්‍රපටියක මොකට හිටියද කියලා. ඒත් ප්‍රියලාල් කිව්වෙම ලොකයියගෙ චරිතයට අජිත් ජිනදාස ගැලපෙන්නෙ නෑ කියලා. තමරා ඒකට විරුද්ධ වුණත් එක පාරට මතුවෙච්ච ස්ටෙලාගෙ හිනාව නිසා ඒ සංවාදෙ බිඳවැටිලා සිනා සාගරයක් හටගත්තා. 

ඊළඟ දවසේ උදේ හමු වෙච්ච වෙලාවේ ඉඳන්ම තමරා කතාකළේ ලොකයියාගේ චරිතේ ගැන. ඒකට අජිත් ජිනදාස තරම් ගැලපෙන කෙනෙක් නෑ කියලා තමරා තර්ක කරනකොට විනෝදකාමී ස්වරූපෙකින් හිටිය ප්‍රියලාල් ඒකට විරුද්ධවම කතා කළා. තමරාට කේන්ති ඇවිත් බව දැන දැනත් මේ සෙල්ලම නවත්තන්න ප්‍රියලාල්ට හිතුණෙම නෑ. අන්තිමට "අජිත් හරියන්නෙ මලට නොඑන බඹරු - මඩොල් දූව වගේ ඒවටම තමයි" කියලා කියපු කතාවට හොඳටම තරහා ගිය තමරා තරහ වෙලා යන්න ගියා. ඒ, සතියක් ඇතුළත තමරා තරහ වුණු තුන්වෙනි වතාව. ප්‍රියලාල්ටත් ඒ වෙලාවෙ එයා ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නැද්ද උවමනාවක් තිබ්බෙ නැද්ද කියලා තාම තේරෙන්නෙ නැහැ. කොහොමහරි තමරා වහබීලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා කියලා ආරංචිය එනකොටත් ප්‍රියලාල් හිටියේ සැප නින්දක. 

එතැනින් පස්සෙ වුණේ ඛේදවාචකයක්‍ ය කියලා හැමෝම අදටත් කතාවෙනවා. මැහිතෙල් කුප්පියක්ම බීපු තමරා ජීවිතෙන් සමුගන්නයි , එයා අන්තිම මොහොතෙ කියපු වචන ටික කැම්පස් එක පුරා පැතිරෙන්නයි වැඩි වෙලාවක් ගියේ නෑ. "අජිත් තමයි හොඳ" කියලා තමරා කියපු බව අහලා හැමදෙනාගෙම අනුකම්පාව සහ කරුණාව ප්‍රියලාල්ට ලැබුණා. මොකක්දෝ හේතුවකට ප්‍රියලාල් ඒ තත්ත්වය ප්‍රතික්ෂේප නොකර බාරගත්තා. ඒ එක්කම අජිත්ට අත්වුණේ කණගාටුදායක ඉරණමක්. අජිත්ව සමාජෙන් කොන් කරද්දි ප්‍රියලාල් ස්ව කැමැත්තෙන්ම සමාජෙන් වසං වුණා. ඉතිරි අවුරුදු කීපය ගෙවුණේ මේ දෙන්නටම ඉක්මණින්ම ලෝකෙන් වසං වෙන්න මඟ පාදමින්. ඇත්ත ඛේදවාචකය මොකක්ද කියන එක දැනගෙන හිටිය ප්‍රියලාල්ගෙ නිහඬ බව සහ උපාධිය ලද වහාම පලා යාම නිසා තමරා අතීතයටම එකතු වුණා. ඇයි අජිත්? අජිතුත් ජීවත් වෙලා හිටියට අතීතයේදිම මැරුණා නේද කියලා ප්‍රියලාල් හිතුවා. දැන් ඒවා හිතලා වැඩක් නෑ. ප්‍රියලාල් ආයෙමත් හිතුවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. වරක් කියවා ඇතිමුත් යලිත් කියවන්න ට මෙහි ආවෙමි.

    ReplyDelete