යුද්ධය නිසා දෙමළ සංස්කෘතික ව්‍යාපාරය සමතලා වුණා : නිලාර් එන් කාසිම්


නිලාර් එන් කාසිම් අප හඳුනන්නේ ගීත රචකයෙක් ; කවියෙක් , පරිවර්තකයෙක් සහ නිවේදකයෙක් ලෙස විවිධ ක්ෂේත්‍ර වල නම දිනූ කලාකරුවෙක් ලෙසිනි. ස්වාධීන සාහිත්‍ය , ජනතා සාහිත්‍ය , සිග්නිස් වැනි සම්මානයන්ට පාත්‍ර වූ හෙතෙම බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබීය. ආශා බෝස්ලේ , හරිහරන් වැනි ලෝප්‍රකට ගායක ගායිකාවන් ට ද ගීත රචනයෙන් දායක වූ නිලාර් තම පද රචනා ඔස්සේ ලාංකේය ගීත යුග කිහිපයක්ම ආවරණය කිරීමට සමත් විය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුවද සිංහල බස මැනවින් සහ අලංකාර ලෙස හසුරවන ඔහු දෙමළ සාහිත්‍යය සිංහල පාඨකයින් හමුවට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. නුදුරු දිනයකදී තම ගීත රැගත් සංගෘහිත තැටි කිහිපයක් එළි දක්වන්නට අදහස් කර සිටින නිලාර් එන් කාසිම් සමග ඉරිදා ලක්බිම කතා බහට එක් වන්නේ ඔහුගේ සාහිත්‍යික ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමක් ලෙසිනි.
01. දෙමළ බස කතාකරන මුස්ලිම් සංස්කෘතික පසුබිමක් සහිත නිවසකින් සිංහල ගීත රචකයෙක් බිහි වීම ගැන ආවර්ජනය කරමුද ?
මගේ ගම මාතර. පුංචි කාලේ ඉඳන්ම අපි භාෂා දෙකම කතා කළාට ගෙදරදි කතා කළේ සාමාන්‍ය දෙමළ භාෂාව.ඒ කියන්නේ ඉතිං මගේ මවුබස දෙමළ. මගේ පවුලේ මම ඇතුළුව පිරිමි ළමයි තුන්දෙනා සිංහල භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබනකොට සහෝදරියන් දෙන්නා දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවා. මගේ දෙමාපියන් කුමක් හෝ හේතුවකට ගත්ත ඒ තීරණය තමයි අද මම මේ දක්වා යම් ගමනක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ගමනේ පදනම වෙන්නේ. මාතර රාහුල විද්‍යාලයේ පරිසරයත් එක්ක සාමාන්‍ය පෙළ වයසේදි නිර්මාණකරණයේ යෙදෙන්න වුණාම මට ඕනෑ වුණා මේ දේ හරියට හදාරන්න.මම උසස් පෙළට මුලින්ම කළේ විද්‍යා විෂය. සිංහල ඉගෙන ගන්න ඕනේ නිසා මාස තුනකින් මම කලා අංශෙට එනවා. එතනදි මට වුණු හොඳම දේ තමයි මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ගෝලයෙක් වෙන රංජිත් ප්‍රනාන්දු ගුරුතුමාව හමුවෙන එක. එතුමා උසස්පෙළින් පසුව මාව දෙවිනුවර කපුගම විහාරස්ථානයේ සුගතසාර හිමියන් වෙත යොමු කරලා සංස්කෘත බසත් ඉගැන්නුවා. විශ්ව විද්‍යාලයේත් සිංහල විෂය හදාරන්න තීරණය කරලා ගීතය සහ සාහිත්‍යයට ඇති වුණු ඇල්ම නිසාම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තෝරා ගත්තා. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගෝලයෙක් වෙන්න තියෙන උවමනාවට. අන්තිමට මම ජ'පුර විශ්ව විද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය නිම කරනවා.
02. ඔබ ක්ෂේත්‍රයට පිවිසුණු මුල් අවධියේ සිංහල විෂයය සඳහා ගෞරව උපාධියක් හිමි එකම මුස්ලිම් ජාතිකයා ලෙස හැඳින්වුණා නේද ?
ඔව්. මම ගෞරව උපාධියෙන් පස්සේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල විෂයය සඳහා ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගත්තා. මම දන්න විදියට ලංකාවෙන්ම සිංහල විෂයය සඳහා ගෞරව හෝ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තියෙන එකම මුස්ලිම් ජාතිකයා මමයි.
03. මාතර ජීවිතය සහ නිර්මාණ ජීවිතය කොහොමද ගත වුණේ ?
ඉස්කොලේ කාලේ "රාහුල පුවත්" කියන බිත්ති පුවත්පතේ ලිපි පළ කළා. අන්තිමට ඒකේ සංස්කාරකවරයා බවට පත් වුණා. ඒ කාලේ "රුහුණු"සේවයට මම කවි , පිටපත් , කෙටිකතා ලියනවා. සමන් සුසිරි , තිලක් රාජපක්ෂ , ජිනදාස අබේවික්‍රම , පද්මිණි කරනායක , චන්ද්‍රිකා ජයකාන්ති වගේ නිවේදක නිවේදිකාවෝ මගේ නිර්මාණ වලට ඉඩ ලබා දුන්නා. සමහර වෙලාවට ඒ නිර්මාණ කියවන්න , ගුවන් විදුලි නාට්‍ය වල , විචිත්‍රාංග වල හඬ නළුවෙක් වෙන්න වගේ අවස්ථා එහෙමත් ලැබුණා. "රුහුණු සේවය" තමයි මගේ විද්‍යුත් මාධ්‍යකරණයේ මුල්ම පියවර. ඒ ඇරුණාම මම පත්තර වලට කවි ලිවුවා. ඒ කාලේ "නවලිය" පුවත්පතේ තිබුණා පුෂ්පා ඉලංගන්තිලක කරපු හොඳ කවි පිටුවක්. ඒකට වගේම යොවුන් ජනතා , දිවයින , කුමරි වගේ පත්තර වලට ලිව්වා. අපිට ඒ කාලේ ඕනේ කළේ ලියපුවා කොහොම හරි පළ කරගන්න. මට මතක විදියට මං ගැන මුලින්ම පුවත්පතක සඳහනක් පළ වුණේ "කුමරි " පත්තරේ. "ආධුනික ලේඛකයෙක්" කියලා මං ගැන ඒ ලිපිය ලියන්නේ ඒ කාලේ කුමරි පත්තරේ විශේෂාංග රචකයෙක් වුණු උපුල් ශාන්ත සන්නස්ගල. මේ ඇරුණාම මාතර හිටිය ජනප්‍රියම පුවත්පත් කලාවේදියෙක් තමයි දෙනගම සිරිවර්ධන.එතුමා අපේ නිර්මාණ කියවලා ,ගුණ දොස් කියනවා. පත්තර වලට යොමු කරනවා. ඊට අමතරව රත්න ශ්‍රී විජේසිංහ මහතාට නිර්මාණ යොමු කළාම එතුමාත් ගුණ දොස් කියලා පිළිතුරු එවනවා.
04. පසුකාලීනව ඔබ විකල්ප අදහස් දරන ලේඛකයෙක් ලෙස කොළඹ සාහිත්‍ය කේන්ද්‍රය තුළට පිවිසෙන්නේ කොහොමද ?
විශ්ව විද්‍යාලය පටන් ගන්න තුරු ගෙදරට වෙලා හිටිය කාලේ අපි විකල්ප මතවාද වලට නැඹුරු වෙලා "රාවය " සඟරාව , "යුක්තිය" ටැබ්ලොයිඩ් එක , "විවරණ" සඟරාව වගේ විකල්ප ප්‍රකාශන වලට ලියන්න පෙළඹුණා. හොඳ සමාජ සවිඥ්ඥානිකත්වයක් තිබුණු තරුණ පිරිසක් එක්ක අපේ ගෙදර කේන්ද්‍ර කරගෙන "රිද්ම සංවාද සාමූහිකය" කියලා කවයක් පිහිටුවා ගත්තා.රෝනියෝ පිටපත් කරපු "රිද්ම" කියලා සඟරාවක් නිකුත් කළා.මම මේ කියන්නේ අනූව දසකයේ මුල. පාරවල් වල තරුණයෝ පිච්චෙන ඒ කාලේ වෙනකොට මාතර සංස්කෘතික ක්‍රියාකාරකම් කිසි දෙයක් සිද්ධවුණේ නැහැ. දවල්ට නිල ඇඳිරි නීතිය - රෑට නිල නොවන ඇඳිරි නීතිය. අපි ඒ කාලේ කේමදාස , කපුගේ ,දිවුල්ගනේ , මාලිනී බුලත්සිංහල , ජයතිලක බණ්ඩාර , ජැක්සන් ඇන්තනි , ලූෂන් බුලත්සිංහල වගේ අයව මාතරට ගෙන්නුවා. ඉරාන චිත්‍රපට පෙන්නුවා. රටම සෝදා පාලුවකට ලක් වෙලා තිබුණ කාලෙක තරුණයෝ එළියට බහින්න මැලි වෙනකොට අපි වගේම තරුණ කණ්ඩායම් වෙන පළාත් වලත් හිටියා. රෝහිත භාෂණ කරපු "පවුර" සඟරාව, පරාග , අත්වැල වගේ සඟරා තිබුණා. ඕනෑම කෙනෙක් මතු වෙන්නේ සංස්කෘතික ක්‍රියාවලියක් තුළින්. අපි මතු වෙන්නෙත් එහෙමයි. මේ අතරේ සුනන්ද දේශප්‍රිය "යුක්තිය" ටැබ්ලොයිඩ් පුවත් පතට ලියන්න ආරාධනා කළත් මට කොළඹ නවතින්න තැනක් තිබුණේ නැහැ.ඊට පස්සේ එස්.ජී. පුංචිහේවා මහත්තයා නවතින්න තැනකුත් ලෑස්ති කරලා "විවරණ" සඟරාවට කතා කළා. විශ්ව විද්‍යාල පටන් අරගෙන නැති කාලෙක සහාය සංස්කාරකවරයෙක් විදියට පුංචිහේවා මහත්තයා යටතේ තමයි මම පුවත් පත් ක්ෂේත්‍රයට අත් පොත් තිබ්බේ.
05. එතකොට ඔබ ගීත රචකයෙක් වෙන්නේ කොහොමද ?
එතකොට මම කවි ලියනවා. මගේ කවි වල කාව්‍යමය ගතියට වඩා ගීතමය බවේ නැඹුරුව වැඩියි කියලා මටම තේරිලා තිබුණේ. ඉතිං මම ගීත ලියලා එක එක්කෙනාට යොමු කරනවා. ඒ අතරේ මම දැනගත්තා කරුණාරත්න දිවුල්ගනේගේ ලිපි ගොනුවක තිබුණු මගේ ගීතයක් මාලනී බුලත්සිංහල ගායනා කරන්න තෝරා ගත්ත බව. "සමනළුන් රොදක් නිල් ගොයමට" කියන ඒ ගීතය තෝරන්න රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ මැදිහත් වෙලා තිබුණා. ඒ කැසට් පටයේ නම " සුසුමක රාවය"
06. ඒ කාලේ ඔබව දන්නේ නිලාර් එන් කාසිම් නමින් නෙමෙයි?
ඔව්. මම ඉස්සර ලිව්වේ නිර්රූල් නිලාර් කියන නමින්. මේ මාලනී ගායනා කරන ගීතයත් එක්ක මට රඹුකන හාමුදුරුවෝ ගංගාරාමෙට එන්න කියලා කිව්වා " ඔක්කොම හොඳයි. ඔයාගේ නම තමා කියවන්න බැරි " කියලා. අපි නම වෙනස් කරලා දාමුද කියලා හාමුදුරුවෝ ඇහුවාම මම කල්පනා කරලා කියන්නම් කිව්වා. කැසට් පටයට දාලා තිබුණේ "කාසිම් නිලාර් " කියලා. ඉතිං මම ඉක්මණට මගේ නම නිලාර් එන් කාසිම් විදියට යොදන්න ගත්තා. ඊට පස්සේ "සඳ දිය දෙවුණ සේ , පැහැසර අරණක , විහඟ ගීතය , සිත මනමාලකම් කරයි" වගේ ආරම්භක කාලපරිච්ඡේදයේ ගීත ජනප්‍රිය වුණා. "විවරණ" සඟරාවට ලියන කාලේ ඉරණවිල ධීවර ප්‍රජාව "ඇමරිකන් හඬ"ට විරුද්ධව කරපු උද්ඝෝෂණයකට සහභාගී වෙන්න ගිහිං මම "ඉරණවිල වේදනාව" කවිය ලිව්වා. ප්‍රදීපා ධර්මදාස සිංදුවක් ලියලා දෙන්න කිව්වාම මම ඒ කවිය සිංදුවක් විදියට සංස්කරණය කරලා දුන්නා. ඒක සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්.ඒ හරහා තමයි මට මාස්ටර් ව ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ .
07. ප්‍රේමසිරි කේමදාසයන් සමග තිබුණු සංගීතමය ගනුදෙනුව මොන වගේ ද ?
ඇත්තටම ඒ වෙනකොටත් මම පදිංචි වෙලා හිටිය විවරණ කාර්යාලය තිබුණේ මාස්ටර් ගේ ගෙදරට එහා ගෙදර. තාප්පෙන් එහා පැත්තේ. මේ සිංදුවෙන් පස්සේ මාස්ටර් මා එක්ක හවසට පැයක් දෙකක් කතා බහ කරන්න පුරුදු වුණා. මාස්ටර් හවසට එහා ගෙදර ඉඳන් සරම බඩට උඩින් ඇඳ ඇඳ මිදුලට ඇවිල්ලා "නිලාර් .." කියලා කෑ ගහනවා. " වැඩක් නැත්නම් මේ පැත්තට එනවකො" කියලා අඬ ගහනවා. ගීතය , සංගීතය ගැන ඒ කතා කරපු දේවල් වලින් මම විශ්ව විද්‍යාලයකින් ලබන දැනුමක් ලබා ගත්තා. ඒ ඇසුර සහ මග පෙන්වීම ලොකු දෙයක් වුණා. සමහර වෙලාවට මාස්ටර් එක්ක කතා කරන්න ලූෂන් බුලත්සිංහල , ගාමිණී සුමනසේකර වගේ අයත් එනවා.
08. ඔබ පසුකාලීනව රූපවාහිනී නිවේදකයෙක් බවට පත් වෙන්නේ කොහොමද ?
රූපවාහිනිය සහ වැඩසටහන් මෙහෙයවන්නෙක් වීම මට තිබුණ හීනයක් නෙමෙයි. ඒකේ ගෞරවය හිමිවෙන්න ඕනේ රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ - සැලසුම් ව හිටිය චන්ද්‍රසෝම විතානගේ මහතමායට. මුල් කාලේ "ආයුබෝවන්" වැඩසටහනේ අලුත් පොත් ගැන වැඩසටහනක් කරලා විශ්වාසයක් ගොඩ නගා ගත්තට පස්සේ වැඩසටහන් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒ කාලේ නි. අධ්‍යක්ෂ ජනරාල් හිටිය ලූෂන් බුලත්සිංහල මහත්මයත් මට හුඟක් සහාය වුණා. මට පූර්ණකාලීන සේවයට එන්න ආරාධනා ලැබුණත් සභාපති තුමන් සහ අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්ගේ ආරාධනය මත මම පූර්ණකාලීන සේවකයෙක් විදියට එකතු වෙන්නේ උපාධිය නිම කළාට පස්සේ.
09. ඔබ දෙමළ සාහිත්‍යය සහ මුස්ලිම් සාහිත්‍යය සිංහලට නගන්නට පුරෝගාමී වූ කෙනෙක්. ඒ ගැන මතකය අවදි කරමුද ?
යුද්ධය උග්‍ර තත්ත්වයට පත් වෙලා , උතුර සහ දකුණ අතර අනවබෝධ තත්ත්වයක් වර්ධනය වුණු කාලයක් තිබුණා. මම කල්පනා කළා මගේ දෙමළ භාෂා දැනුම භාවිතා කරන්න. ඒ කාලේ සිංහල කවි ලියන්න ඕනෑ තරම් අය හිටිය නිසා මට තවත් සිංහල කවියෙක් වෙන්න උවමනා කළේ නෑ. මම ප්‍රමුඛත්වය දුන්නේ දෙමළ කවි සිංහලයට නගන්න. මට කලින් පරාක්‍රම කොඩිතුවක්කු "ඉන්දු සහ ලංකා" සහ "පිබිදෙන පැය" හරහා ඒ මෙහෙවර ආරම්භ කරලා තිබුණා. තවත් කීප දෙනෙක් ඒ ගමනට එකතු වෙලා තිබුණා. එම්.එච්.එම් ශම්ස් තමයි මට දෙමළ සාහිත්‍ය ගැන උනන්දුවක් ඇති කළේ. "ලක්දිව" පත්තරේට මම පරිවර්තනය කරපු දෙමළ කවි "සහෝදර පියාපත්" නමින් සිංහලයටත් "අර්ධ දරුවා" නමින් ලාංකික මුස්ලිම් ලේඛකයින්ගේ දෙමළ කෙටිකතා සිංහලයටත් නැගුවා."අසල්වැසියාගේ සාහිත්‍යය" කෘතියේ සාකච්ඡා කළේ දෙමළ සාහිත්‍යයේ විවිධ දිශානතීන් ගැන. "දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සලකුණ ජෙයපාලන්" නමින් මම මුද්‍රණය කළේ විශ්ව විද්‍යාලයේ මම කරපු උපාධි නිබන්ධනය. මම හිතන්නේ ඒක තමයි ලංකාවේ දෙමළ කවියෙක් ගැන සිංහලෙන් ලියවුණු එකම ශාස්ත්‍රීය ග්‍රන්ථය.
10. ජෙයපාලන් ගැන ශාස්ත්‍රීය කෘතියක් සම්පාදනය කළ ඔබ මුල්ම ගී පද සරණිය වූ " පැහැසර අරණක" කෘතිය එල් සුබ්‍රමනියම් නමින් පුද කරනවා. ඒ ඇයි ?
එල් සුබ්‍රමනියම් කියන්නෙත් , ජෙයපාලන් කියන්නේත් වර්ගවාදය හෝ , යුද්ධය නිසා මේ රටට අහිමි වුණු සම්පත්. ජෙයපාලන් අදටත් ලංකාවෙන් පිටත ජීවත් වෙන ජාත්‍යන්තරයම දන්නා හඳුනන ප්‍රකට කවියෙක්. එල් සුබ්‍රමනියම් ලංකාවට අහිමි වෙන්නේ 1958 යාපනයේ කලබල වලින්. අද වෙනකොට ඔහු ඉන්දියාවේ මුල්පෙළේ සංගීතඥයෙක් වුණත් ඔහු ගැන සඳහන් කරනකොට ශ්‍රී ලංකාව ගැන සඳහන් නොවෙන තරම්.
11. දෙමළ කවියේ අද තත්ත්වය ඔබ දකින්නේ කෙලෙසද ?
යුද්ධයේ උත්සන්න මොහොත සහ සමාප්තිය එක්ක දෙමළ සංස්කෘතික ව්‍යාපාරය සමතලා වෙනවා. මිලිටරි මර්දනය එක්ක හිතට එන දෙවල් ලියන්න පුළුවන්කම ලැබුණේ නැහැ. සෙල්වි , රාජිණී තිරණාගම මරපු හැටි අපි කතා කළාට දකුණෙන් එල්ල වුණු මර්දනය ගැන කතා කරන්නේ නෑ.
දෙමළ කවියන්ගෙන් සමහර පිරිසක් කැනඩාව , ජර්මනිය , ස්විට්සර්ලන්තය වගේ රටවල් වල ඉඳගෙන ජගත් දෙමළ කවිය පෝෂණය කරනවා. සමහරු අකාලයේ මිය ගියා, සමහරු ඝාතනය වුණා. තවත් සමහරු නිෂ්ක්‍රීය වුණා. මේ අතරේ සමහර මුස්ලිම් කවියන් ඉදිරියට එමින් පවතිනවා.
යුද්ධය ඉවරවෙලා අවුරුදු හයක් හතක් ගියත් අලුත් බීජ රෝපණය වෙලා නැහැ. තැනින් තැන රිකිල්ලක් දෙකක් මතු වුණාට ඒවාට දෙමළ සාහිත්‍ය පෝෂණය කරන්න තරම් හයියක් නැහැ. අතුරුදන් වූ නෑදෑයින් , සාංකාව , සංහාරය , අහිමිවීම , පුද්ගල අත්දැකීම් වගේ ඒකාකාරී මාතෘකා යටතේ ඒ අය හුදෙකලා සටනක නිරත වෙනවා මිසක් පශ්චාත් යුධකාලීන දෙමළ කවියක ප්‍රභාව දකින්නට නැහැ. මේ දේට දකුනේ අප සියලු දෙනාගේම හෘද සාක්ෂිය ද වග කිව යුතුයි.

සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ | ඉරිදා ලක්බිම | මංජුසාව | 2018 ජූලි 01
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Hello Sahan, I'm a very good fan of you. I followed you on facebook and most of the time I logged in only to check your profile. But I can't see you anymore as I have deactivated my facebood. I found you here but I noticed that you don't update this very often. I read all the articles in here and they are well-written as well as contain sound advise if one can understand. LOL... It's great if you can upload whatever you write on facebook here as well. please. thank you

    ReplyDelete
  2. මට හෙට උසස්පෙළ පටන් ගන්නවා. ඒත් මේක දැක්කම කියවන්න හිතුනා. ස්තූතියි

    ReplyDelete