ඩයන් ගෝමස් : පරාජයට අවජාතක වන්නට නොම දී දූපතකටම ජයග්‍රහණයේ පීතෘත්වය උරුම කිරීම


2008 බීජිං ඔලිම්පික් උළෙලේ බොක්සිං ෆ්ලයිවේට් බරපංතිය සඳහා සුදුසුකම් ලද අනුරුද්ධ රත්නායක වෙනුවෙන් එදා මෙදා තුර ඉතිහාසයේ පළමු ක්‍රීඩක කේන්ද්‍රීය පූර්ව ප්‍රචාරක සහ අභිප්‍රේරක මෙහෙයුම දියත් කළේ ඩයන් ගෝමස් ය. එම ප්‍රචාරණය කෙතරම් සාර්ථක වී ද යත් එවර ඔලිම්පික් උළෙලේ අනුරුද්ධ රත්නායකට කුමක් වේ ද යන්න බොහෝ දෙනාගේ සිත තුළ කුකුසක් ඇති කරන්නට සමත් විය.
නමුත් අනපේක්ෂිත ලෙසින් අනුරුද්ධ රත්නායක පළමු වටයේදී ම බ්‍රසීල ක්‍රීඩකයෙක් වෙතින් දරුණු පරාජයක් ලැබීය. ඉන් පසුව ඩයන් ගෝමස් ට අනුරුද්ධ රත්නායක ට සහ ඔවුන් ගේ සහායකයින්ට ලාංකිකයන්ගෙන් හිමි වූ ප්‍රතිචාරය කුමක් දැයි අමතක වන්නට තරම් කාලයක් ගෙවී ගොස් නැත.
වසර දහයක් ගෙවුණු තැන පොදුරද මඬුලු ක්‍රීඩා ඉතිහාසයේ මුල් වරට ලාංකීය බොක්සිං ක්‍රීඩිකාවක් පදක්කමක් තහවුරු කරගත් අතර ඇය නමින් අනූෂා කොඩිතුවක්කු ය. ඇය පවසන්නේ තමා මේ ගමන පැමිණියේ ඩයන් ගෝමස් නම් වූ මිනිසාගේ ධෛර්යය නිසාම බව ය. අවසන් පූර්ව වටයේ ඇයගේ ප්‍රතිවාදිනිය වන ලෝක සූර මේරි කොම් පිළිබඳ සිනමා නිර්මාණයක් ද බිහි ව ඇති අතර අපේ රටේ අනූෂා ද ඒ හා සමාන ඇගයුමකට ලක් විය යුතුව තිබුණු බවත් අනූෂා ට හිමි විය යුතු නිසි අවධානය නොලැබුණු බවත් මේ දිනවල අසන්නට ලැබෙන සුලබ කරුණකි.
ඩයන් ගෝමස් ;
2008 බීජිං වලින් පදක්කම් සිහිනය මියෙන්නට නොදී ; 2018 තෙක්ම එය ට පණ දී රැකගෙන සිටියාට හෘදයාංගම ස්තුතිය පළ කරන්නේ අතීතය අමතක සහ වර්තමානයෙන්ම යැපෙන ලාංකීය ක්‍රීඩා ලෝලී ප්‍රජාව වෙනුවෙනි.
ගිලෙනවාට වැඩි පහසු පිහිනීම බව පසක් කළ ඔබට මෙසේ සුබ පතමි.
දැල් වූ පහන් දැල් වී තිබේවා !

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment