ඕමාර් ඛයියාම් ගේ කවියක් වැරදි ලෙස ආදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.
ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා බවද පැවසුවේය. පසුකාලීනව තක්ෂිලාව පෙනෙන මායිමේ තානායම් පොළට වී බිඳුණු ප්‍රේමයක් වෙනුවෙන් හැඬූ අයුරු කා හටත් මතක ඇතැයි සිතමි. නුහුරු නුපුරුදු රහස එලෙස මධුවිතෙන් පොඟවා මිරිකා හළේයැයි කරුණාසේන ජයලත් ට කවුරුන් හෝ බැණ වැදුණාදැයි නොදනිමි. අමතක කළ යුතු නැත. සුගත් අදටත් ජීවමානය.
උසස් පෙළ කාලයේ අප පාසලේ දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා වූයේ ශාන් පරාක්‍රම නම් අයියා කෙනෙකි. ඔහු වැඩි කතා බහක් නැති කෙනෙක් බවත් කිසිවක් බැරෑරුම් ලෙස නොගන්නා කෙනෙක් බවත් තවමත් මතකය. අවසානයේ දී ශාන් පරාක්‍රම උසස් පෙළ විභාගයට මාස ගණනක් තිබියදී හදිසි අනතුරකින් මිය ගියේ මරදාන දුම්රිය පොළෙහි ධාවනය වන දුම්රියකින් , වෙනත් නවතා තිබූ දුම්රියකට මාරු වන්නට යාමේදීය. ඔහු අප පාසල් දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා බව ඒ දුම්රිය දැන නොසිටින්නට ඇත. දැන සිටියා නම් කුමකින් කුමක් වන්නේදැයි අනුමාන කළ නොහැකිය. කුඩා කාලයේ අපගේ දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා මරදානේ දී දුම්රියකට හසුව මිය ගිය බව හොඳින්ම දැන සිටින අප අදටත් මරදාන දුම්රියපොළ මග නොහැර දුම්රියේම ගමන් කරමු.
ඛයියාම් වරෙක මෙසේ ලීවේය.
පුරවනු දිවි කුසලානය නැවතද,
කාලය පා යට ගලනුය නොනැවත,
මළගිය ඊයේ, නූපන් හෙට දින,
ගැන නොතැවී දිවි විඳිනුය අද දින,
සුගත් වීරසේකර වරෙක මෙසේ පැවසුවේය.
අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න...
ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?
බොහෝ දෙනෙකුට ඇත්‍තේ ඛයියාම් විසින් උත්කර්ෂයට නැගූ මධු බඳුන හිස් කර දැමීමේ පවසක්ම නොව , එදා සුගත් ඇසූ පැණයට අදටත් පිළිතුරක් නොමැති වීමේ වේදනාව බව වටහා ගන්නා තුරුම ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය ; මම සුගත් ට ප්‍රේම කරමි.
0 comments:
Post a Comment