ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව


"සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ය. 
එම පනතට විරෝධය පළ කරමින් ෆෙඩරල් පක්ෂ අනුගාමිකයින් ගාලු මුවදොර පිටියේදී සත්‍යග්‍රහයක් දියත් කළහ. අවසානයේ සිදු වූයේ සාමකාමී සත්‍යග්‍රහයට සිංහල දේශප්‍රේමීන්ගෙන් පහර එල්ල වීමය.

1956 ජූනි 04 වැනිදා රාජ්‍ය භාෂා පනතේ විවාදය ඇරඹිණ. එහිදී විරුද්ධව අදහස් දැක්වූ කොල්වින් ආර් ද සිල්වා මහතා තනි භාෂා ප්‍රතිපත්තියක් හරහා රට දෙකඩ වීමේ අවදානමක් ඇති බව පවසන විට ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී චෙල්වනායගම් මහතා , දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට පත් නොකරන්නැයි සිංහල නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය භාෂාව සටන් පාඨය කරගෙන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා බලයට පත් වන්නේ මේ පනතට මාස දෙකකට පෙරය. උපතින් සිංහල ක්‍රිස්තියානි පවුලකින් පැවත ආ හෙතෙම දේශපාලනයට පිවිසෙන්නේ බුද්ධාගම වැළඳ , යුරෝපීය ඇඳුම් අතහැර රෙද්ද බැනියම ද ඇඳගෙනය. රාජ්‍ය භාෂා පනත හරහා සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව කරන ඔහු තම දූවරු දෙදෙනා කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ද පුතණුවන් කොළඹ රාජකීය විද්‍යාලයට ද යවා අධ්‍යාපනය ලබා දුන්නේය.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ එදා රාජ්‍ය භාෂා පනතට එරෙහිව ගාලු මුවදොර සත්‍යග්‍රහයක යෙදී පහරකමින් තම විරෝධය පළ කළ දමිළ විරෝධතාකරුවන් ය.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ පැරණි පාර්ලිමේන්තු පරිශ්‍රයට නුදුරින් හොංකොං දේශය මූලික වූ අභිනව ෂැන්ග්‍රි ලා හෝටලය ඉදිරිපස සිට එදා භාෂා පනතට එරෙහිව සත්‍යග්‍රහ සිදු වූ ගාලු මුවදොර දෙස බලා සිටින එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව ය.
Photo Credit : Arosha Mihiran
කොල්වින් සහ චෙල්වනායගම් ප්‍රතිමා දක්නට නැති නමුත් ඔවුන් විනිවිද දුටු අනාගතය අප ඉදිරියේ වර්තමානයේ ගිනි ලෙස පුළිඟු දැල්වෙයි.
දේශපාලනික වාසි උදෙසා තමන් කැපූ මරුවළ පරම්පරා ගණනකට විවර කර , නමුත් තම සුතඹුවන්ට පමණක් එය මගහැර යන්නට දිරි දුන් මිනිසුන් අද ගල් පිළිම වී බලා හිඳී. ඒ අතීතයෙන් උපන් භස්මප්‍රචන්න ජාතවේදයන් වරින් වර , තැනින් තැන නැගී - ඉපිළී රටක් දවාලන අයුරු ඔබට නොදැනේද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. අපේ ආතා බණ්ඩාරනායක උන්නැහේට චන්දය දී ඒ ගැන ජීවිත කාලෙ පුරාම පසුතැවිලි විය.

    ReplyDelete
  2. ඔබ හරි.බණ්ඩාරණායක වැනි ඉතිහාසයේ අදූරදර්ශීම, ආත්මාර්ථකාමීම චරිත තම හිස්මුදුනේ තබාගෙන
    වඳින උදවිය බොහොමයක් අදටත් ඉන්න එක ඉතාම කණගාටුවට කාරණයක්.මගේ අදහස ඔහු පමණක්
    නෙමෙයි අපේ ඊනියා ඉතිහාසය පුරාවට වැඩියක්ම හිටියෙත් (ඉන්නෙත්),පිදුමට ලක්වෙන්නෙ, ප්‍රතිමා හදා, මල්මාලා පළඳවල, වසරකට වරක් ගුණ සිහිකරන්නෙ ඔය වගේ චරිතවලම තමයි.

    ReplyDelete