සිබිල් නැන්දාට අනූවයි

හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය. උළුවස්සට උස කොණ්ඩා විලාසිතාවකින් සැරසී රූ රැජණක් වන්නට හදන උසින් අඩු මිතුරිය ගැන ලියූ කුසුමලතා ඇය ය. කොණ්ඩය කැපූ මිතුරියන්ට මහත්තයා යැයි අමතන , ඇට මාල දැමූ මිතුරියන්ට කෝවිලේ සාමියැයි සිතා ගරු කරන විපරීත නැන්දම්මා කෙනෙක් සිටි අසරණ කුසුමලතා ඇය ය.
වරෙක ඇය "රසවතී" ය. කකුලේ ඇමට්ටියට බඳින්නට ගෙනා බැලතණ වලින් මැල්ලුම් හදා මේසයට යවන - රෑට කන්නට තිබූ කූරිඥ්ඥං කොළ මැල්ලුම කකුලේ බඳින ගිමාරා ය. ඇහිබැම ගලවමින් හැඩවන නෑනාට පැය හයක් අවුවේ හිටි විට තිරිහං වෙනවා යැයි කෙම් කියන ගිමාරා ය.

අසූව දසකයේ අග භාගයේ වනිතා විත්ති සඟරාව යකුන් නැටූ පිටියක් බඳුය. එහෙන් විකාර කරන කමලා කෙප්පසිංහ ය. මෙහෙන් හැම දෙයකටම හොට දමන මඩගොඩ ඉස්කෝලේ හාමිනේය. කිවුලට් යනුවෙන් අලුත් " සාය - කලිසමක්" හැඳ ගත් කොකනදවතී ය. මේ සියල්ලම බලා සිටින මැදහත් කුසුමලතා ය.
මාතෘකාව සිබිල් වෙත්තසිංහ ය. තහනම් වචන කුඩ හොරා ය. නෝමා කොන්කුවර් ය. අත රඳවා සොලවන දාදු කැටය සිබිල් වෙත්තසිංහය. සර්පයා සැඟව සිටින්නේ ළමා චිත්‍ර වලය. ඒවායේ නැවතී යළිත් පහළට වැටීම ඔබේ වැඩකි. ඉතිහාසයේ ඉණිමංය. ඒවා දැක දැකම නොනැගීම ද ඔබේ කැමැත්තය.


ඩී බී ධනපාල , මීමන ප්‍රේමතිලක සහ එඩ්මන්ඩ් රණසිංහ සමග එදා පුවත්පත් කලාවේ පුරෝගාමී සාහිත්‍යවේදිනියක හුදු ළමා චිත්‍ර ශිල්පිනියකටම ලඝු කිරීම අපේ වැරැද්දය.
නමුත් එදත් අදත් සිබිල් සිබිල්ම ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. "කකුලේ ඇමට්ටියට බඳින්නට ගෙනා බැලතණ වලින් මැල්ලුම් හදා මේසයට යවන - රෑට කන්නට තිබූ කූරිඥ්ඥං කොළ මැල්ලුම කකුලේ බඳින ගිමාරා ය"
    මේ කතාව කලින් බ්ලොග් එකක තිබිලා කියෙව්වා.
    ඒවා ලියපු පොතක් තියේද මල්ලී?

    ReplyDelete
  2. සිබිල් නැන්දා එක්ක දැමු ෆොටෝව බුකියෙ දැක්කා.
    ඒ බර්ත් ඩේ එක දා වෙන්ටැ..

    ReplyDelete