නොවැම්බර් 05 : ඉරාන විප්ලවකාමී සිසුන් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනී


වසර 38 ට පෙර අද වැනි දවසක ඉරාන විප්ලවකාමී ශිෂ්‍යයින් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.
එම දිනය ඉරානයේ ඉරණම වෙනස් කළ දිනයයැයි වර්තමානයේ සිට අතීතාවලෝකනයේ යෙදෙන්නේක්ට පැවසිය හැකි වේ. සමස්ත ඉරානයේම ජීවන රටාව , හැඩය වෙනස් කළ සංස්කෘතික විප්ලවයක බිහිදොර වන්නේ මේ සිදුවීමය.
1979 ජනවාරි 16 වැනිදා විප්ලවයේ පීඩනය හමුවේ ඉරානයේ පාලක "ෂා" ලෙස කිරුළ දරා සිටි මොහමඩ් රීසා පාලවි ඉරානයෙන් පලා යයි. 1941 වසරේ සිට තිස් අට වසරක් ෂා වරයා ලෙස ඉරානය පාලනය කළ ඔහු ඉරාකයේ බැග්ඩෑග් නුවරට ළඟා විය. ඉරානයේ රාජාණ්ඩු පාලනයට නැවතීමේ තිත තබන මේ සිදුවීමත් සමග රටේ පාලනය පැවරෙන්නේ අගමැති ප්‍රමුඛ විපක්ෂය වෙතය.
1979 පෙබරවාරි 01 වැනිදා අයතුල්ලා කොමෙයිනි වසර පහළොවක පිටුවහල නිමා කරමින් ඉරානයට ළඟා විය.1964 නොවැම්බර් මස 04 වැනිදා වයස 62 ක් වූ කොමෙයිනි තුර්කියෙන් ඇරඹූ පිටුවහල නිමවන්නේ වයස 77 ක් වූ පසුවය. තම දේශපාලනික සතුරා වූ ෂා රටින් පලාගිය පුවතත් සමගම එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයකින් ඉරානය බලා එන අයතුල්ලා කොමෙයිනි කෙටි කලක් තුළ එරට අනාගතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වේ.
1979 ඔක්තෝබර් 22 වැනිදා ඇමරිකානු ජනපති ජිමී කාටර් විසින් - මොහමඩ් රීසා පාලවි හෙවත් ඉරානයේ අවසන් ෂා වරයා හට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමරිකාවට පිවිසීමට අවසර ලබා දෙන්නේ මාස ගණනක කඹ ඇදීමකින් අනතුරුවය. David Newsome නම් අන්වර්ථ නාමයකින් රෝහල්ගත කරන මොහමඩ් රීසා පාලවි හට වැළඳී තිබුණේ පිළිකාවකි.
ෂා ; මොහමඩ් රීසා පාලවි ප්‍රතිකාර සඳහා ඇමරිකාවට පැමිණ ඇති බව සැලවූ වහාම විප්ලවකාමීන් විසින් මෙහෙයවනු ලැබූ ශිෂ්‍ය ප්‍රජාව නොවැම්බර් 04 වැනිදා ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනී. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ මොහමඩ් රීසා පාලවි නැවතත් ඉරානයට භාර දිය යුතු බවය. අයතුල්ලා කොමෙයිනිද මෙම ශිෂ්‍ය මෙහෙයුමට තමාගේ සහාය පල කරන බවට නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
සියලුම සාකච්ඡා අසාර්ථක වන අතර නොවැම්බර් 06 වැනිදා අයතුල්ලා කොමෙයිනි ප්‍රමුඛ විප්ලවකාමීන්ට රාජ්‍ය බලය පවරමින් ඉරාන අගමැති ඉල්ලා අස් වේ.
1979 නොවැම්බර් 17 වැනිදා කොමෙයිනි ගේ අණ පරිදි ප්‍රාණ ඇපකරුවන් අතර සිටි සියලුම කාන්තාවන් සහ කළු සම්භවයක් ඇති අප්‍රිකානු - ඇමරිකානුවන් නිදහස් කෙරිණ. ප්‍රාණ ඇපකරුවන් ගණන 90 සිට 53 දක්වා අඩු විය.
මේ වන විට ඉරානය විසින් ඇමරිකාව සහ සෝවියට් දේශය සමග තිබූ සියලුම යුධ ගිවිසුම් අහෝසි කර තිබූ අතර ඇමරිකාව එරට තුළ ඉරාන වත්කම් සහ දේපොළ සියල්ල රාජසන්තක කිරීමට පියවර ගෙන තිබිණ.        

1979 දෙසැම්බර් 15 වැනි දා ඇමරිකාවෙන් පැනමාව බලා පිටත් වන මොහමඩ් රීසා පාලවි 1980 මාර්තු මාසයේ දී ඊජිප්තුව වෙත ළඟා විය. එනුමුදු ඔහුව ඉල්ලා ප්‍රාණ ඇපයට ගත් ඇමරිකානුවන් තවමත් ඉරානයේ ය. නිදහස ලබා නැත.
1980 අප්‍රේල් 25 වැනිදා ඇමරිකාවේ ගැලවුම් මෙහෙයුම් ප්‍රයත්නයක් අසාර්ථක වන්නේ සොල්දාදුවන් 08 දෙනාටම මරු කැඳවමිනි. ඇමරිකානු හෙලිකොප්ටර් යානය මගී ප්‍රවාහන ගුවන් යානයක ගැටීමෙන් අනතුරට ලක් විය.
1980 ජූලි 11 දා එක් ප්‍රාණ ඇපකරුවෙක් රෝගී තත්ත්වය මත නිදහස් කරන අතර ඒ අනුව ඉරානය තුළ සිටින ප්‍රාණ ඇපකරුවන් ගණන 52 බවට පත් වේ.
1980 ජූලි 27 වැනිදා ඉරානයේ අවසන් ෂා වරයා ; මොහොමඩ් රීසා පාලවි තම උපන්බිම සහ රාජධානියෙන් විප්‍රවාසීව ඊජිප්තුවේ දී මිය ගියේය.
අනතුරුව ඇල්ජීරියානු මැදිහත්වීම් යටතේ ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා ඇරඹිණ. රාජසන්තක කළ සියලුම ඉරාන දේපළ නිදහස් කරන පොරොන්දුව සහ ෂා ගේ දේපළ, වත්කම් සියල්ලම නැවත ඉරානයට භාරදෙන පොරොන්දුව මත ප්‍රාණ ඇප කරුවන් නිදහස් කිරීමට අයතුල්ලා කොමෙයිනි එකඟ විය.
1981 ජනවාරි 21 වැනිදා ; එනම් දින 444 ට පසුව ප්‍රාණ ඇපකරුවන් 52 ක් ඇමරිකාව වෙත ළඟා වේ.
ඉරානයේ අවසන් ෂා වරයා ; මොහමඩ් රීසා පාලවි පළවා හැර අයතුල්ලා කොමෙයිනිගේ පදයට නැටූ ඉරාන ශිෂ්‍යයින් උදාකරගත් ඉරාන දේශය ඔබ මා ඉදිරියේ ජීවමානව පවතී.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment